නිරෝගී කෙස් කළඹක් සඳහා පිළිපැදිය යුතු කරුණු

මැයි 21, 2021

කාන්තාවන්ගේ පංච කල්‍යාණය පිළිබඳව කතා කරන විට දිගු කෙස් කළඹ එහි එක් අංගයකි. සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත් දිගු කෙස් කළඹ නිරෝගීව පවත්වාගෙන යා යුතු ය.

 

කාන්තාවන් තම කෙස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබීම මත දේශීය හා විදේශීය සමාගම් විවිධ නම්වලින් ආලේපන නිපදවා තිබේ. තවත් නිපදවමින් ද ඇත.

එම ආලේපනවලට ලැබෙන වෙළෙඳ ප්‍රචාරය නිසා බොහෝ දෙනෙක් කිසිදු සොයා බැලීමක් නොමැතිවම මෙම රසායනික ඖෂධ භාවිතයට ගෙන තාවකාලිකව අලංකාර වී රෝග රැසක අයිතිකරුවන් බවට පත්වෙයි.

හිසට හෝ හිසකෙස්වලට රසායනික ඖෂධ මඟින් නිපදවනු ලබන කුමන හෝ ද්‍රව්‍යයක් භාවිතා කිරීම මඟින් මොළයට හා ඇස්වලට අහිතකර බලපෑම් ඇති කරන බව තේරුම් ගත යුතු ය.

හිසට පමණක් නොව මොළයේ ශෛල වර්ධනයටත් ඇස්වල පෙනීම දිගු කාලයක් ආරක්ෂාකර ගැනීමටත් එකල ඖෂධීය කොළ, පොතු, මුල් ආදිය යොදා ගනිමින් හිස ගැල්ලුම් දැමීම සිදු කෙරුණි. ආයුර්වේදය සතු එවැනි ප්‍රතිකාරවලට යොමුවන අය අද දකින්නට නැත.

සැර සබන් වර්ග, ෂැම්පු වර්ග භාවිතයෙන් හිසකෙස් ඉක්මනින්ම ගැලවීයාමට ඉඩ ඇත. හිස කෙස් නිරෝගීව මෙන්ම පැහැපත්ව තබා ගැනීමට දෙහි, උළුහාල්, ගොඩපර තැම්බූ වතුරෙන් සතියකට හෝ දෙසතියකට වරක් හිස සේදීම කළ යුතු ය. එමෙන්ම කෝමාරිකා, සමන්පිච්ච අඩංගු තෙල් වර්ගයක් හිසෙහි ආලේප කිරීමද සුදුසු ය. එහි ඇති ප්‍රසන්න සුවඳ කෙස් කළඹ සුවඳවත් කරයි.

හිසකෙස් පිරිසුදු කර කන්ඩිෂනර් (ඛ්ධදඤඪබඪධදචප) කිරීමද වැදගත් වෙයි. කෝමාරිකා, වැල්දොඩම් අඩංගු කන්ඩිෂනර් භාවිතයෙන් හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය ලැබෙයි.

හිසකෙස් අගින් කැපීම හිසකෙස් ඉක්මනින් වැඩීමට හේතුවක් නොවෙයි. හිස කෙස් වැඩෙන්නේ අප ගන්නා ආහාර අනුව බව සිතට ගන්න.

ගොටුකොළ, මුඟුණුවැන්න, නිතර ආහාරයට එක්කර ගැනීම හිසකෙස් වර්ධනයට මෙන්ම නිරෝගිමත් බව රැක ගැනීමට ඇති දිව්‍යමය ඖෂධයන්ය.

රාත්‍රියේ නෑමද, තද අව් රශ්මියද හිසකේසවලට හානි කරය. රාත්‍රියේ නෑමෙන් හිසේ තෙත් ගතිය හේතුවෙන් සෙම්ප්‍රතිෂ්‍යාව, පීනස වැලඳීමට ඉඩ තිබේ. නෑමෙන් පසුව හිසකෙස් බ්‍රෂ් කිරීමද නොකළ යුතු ය. හිස කෙස්වලට හානිවන ලෙස පිස දැමීම ද නොකළ යුතු ය. කෙස් ස්ප්‍රේ කිරීම මගින් ද වියළි ගතියක් ඇතිවෙයි.

හිසේ වියළි ස්වභාවය නැති වී ලස්සන කෙස් කළඹක් සඳහා රෝසවතුර කෝප්පයක් දාස් වතුර කෝප්පයක් සාස් පානකට දමා රත්කරන්න. ඉන් පසු හොඳින් මිශ්‍රකර එයට ඔලිව් තෙල් මේස හැන්දක් දමන්න. ඉන් පසු ලිපෙන් බා මද රස්නය තිබියදී බිත්තර ගෙඩි දෙකක කහමද මිශ්‍ර කරන්න. හොඳට නිවුන පසුව හිසේ අතුල්ලා නාන්න. මෙයින් හිසේ වියළි බව නැති වී යයි.

වායුගෝලයේ ඇති දූවිලි හිසමත පතිතවීමෙන් හිස අපිරිසුදු වෙයි. යතුරපැදිවල, වීදුරු ආවරණ නොමැති වාහනවල ගමන් කිරීමෙන් ද හිස මත දූවිලි අංශු තැන්පත් වෙයි. එවැනි අවස්ථාවලදී හිස පිරිසුදු කර ගැනීම කළ යුතු ය.

හිස පීරීමට ගන්නා පනාව පිළිබඳව ද ඔබ සැලකිලිමත් විය යුතු ය. එය නිතර සෝදා පිරිසුදු කර ආරක්ෂිතව තැබිය යුතු ය. නොඑසේ නම් කෘමි සතුන් මඟින් පනාව හරහා විෂ සහිත දේ හිස් කබලට හා හිසකෙස්වලට එක්විය හැකි ය.

නිදන කොට්ටය නිසාද හිසකෙස්වලට විවිධ ආසාදන ඇතිවීමේ අවදානම පවතියි. මේ හෙයින් දින දෙකකට වරක්වත් කොට්ටය අව්වේ තැබිය යුතු ය. ඉන් විවිධ කෘමීන්ගෙන් හා දූවිලිවලින් ආරක්ෂා කර තැබීමද හිසට හා හිසකෙස්වලට ඇතිවන ආසාදන වළක්වා ගැනීමට ද හැකි ය.

මාස හයකට වරක්වත් හිස සම්බාහනය කිරීම ද හිසකෙස් නිරෝගී කර ගැනීමට හේතුවෙයි.

 

වෛද්‍ය ප්‍රසාද් දේශපි‍්‍රයගේ කෘති ආශ්‍රයෙන් සැකසූයේ

 

ආරච්චිකට්ටුව සමූහ,

අතුකෝරළ යූ. ගුණපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.