අධික හිසරදයට හා ඉරුවාරදයට ප්‍රතිකාර විධි

ජූලි 16, 2021

“බෙලි කොළ පාවට්ට කොළ ගෙන සමසමව කොටා

එම කුඩු දමා අරගෙන ගිණිකබල වටා

දුම් අල්ලන්න කැක්කුම යයි ඉවත ගටා

ගලවා සිටිය හැක හිස බැඳ තිබෙන ජටා”

 

වශයෙන් බෙලි කොළ, පාවට්ටා කොළ සම සමව ගෙන කොටා එම කුඩු ගිනි කබලකට දමා දුම් ඇල්ලීමෙන් අධික හිසරදය නැතිවී යයි. ඊටම සුදුහඳුන්, ගම්මිරිස්, වියළි කහ, වියළි ඉඟුරු එක පමණ ගෙන කුඩුකර පොට්ටනිකර තල තෙල් දමා පොඟවා පත්තුකර නිවා ඉන් පිටවන දුම් නාසයට උරන්න. විනාඩි ගණනකදී හිසරදය සම්පූර්ණයෙන් සුව වේ. ඊටම බෙලි කොළ, කොත්තමල්ලි සමඟ තම්බා වේදු පාන්න. ඊටම වදකහ සහ හීන් අරත්ත අල උණු වතුරෙන් අඹරා නලලේ පැලැස්තර දමන්න. ඊටම වදකහ සහ හීන් අරත්ත අල, උණු වතුරෙන් අඹරා නළලේ පැලැස්තර දමන්න. ඊටම කහ කුඩු සහ ඉඟුරු කුඩු සම ප්‍රමාණයෙන් ගෙන ඇල්දියෙන් තලපයක් සේ අඹරා පැලැස්තරයක් දමන්න.

ඊටම සැවැන්දරා මුල්, දුම්වැටි ආකාරයට සකස් කර ධූම පානය කරන්න. හිසරදයට හා හිස බර ගතියට ගුණයි. ඊටම නික දළු ඇල් දිය සමඟ සිනිඳුවට අඹරා පැලැස්තරයක් ලෙස නළලට දමන්න. ඊටම සුදුහඳුන්, අමු ඉඟුරු, සුදුලූනු සමවගෙන ඇල්දියෙන් ගලගා නළලේ ගෑමෙන් එවෙලේම හිසරදය සුව වෙයි. ඊටම කූරමුල්, අබ, ඉඟුරු එක පමණ ගෙන ඇල්දියෙන් අඹරා නළලේ ආලේප කරන්න.

ඊටම

“වැටකොළු මුල් එකහ අත්ත

දේවදාර කොහොඹ පොත්ත

කොට්ටන් මුල් එදියමිත්ත

අඹරා ගා රදය නැත්ත”

වශයෙන්, වැටකොළු මුල්, අත්කහ, දේවදාර, කොහොඹ පොතු, සුවඳ කොට්ටන්, දියමිත්ත මුල් ආදිය ගෙන ඇල් දියෙන් අඹරා නළලේ ආලේප කිරීමෙන් හිසරදය දුරු වෙයි.

ඊටම වදකහ, වියළි ඉඟුරු තනකිරෙන් ගලගා නළලට පැලැස්තරයක් දමන්න. ඊටම දෙපය රස්නය ඇති වතුරට දමා හිස පහතට වැටෙන සේ සිටින්න. ඊටම වියළි ඉඟුරු කුඩුකර ගෙන කෙසෙල් ගෙඩි සමඟ කන්න.

ඊටම “කූරමුල් අබ ඉඟුරු

එක පමණ ගෙන ඇඹරූ

නළල ලේපය මහරු නසී හිසරද රුදුරු”

වශයෙන්, කූරමුල්, අබ, ඉඟුරු යන තෙවගය ඇල්දියෙන් අඹරා නළලේ තැබීමෙන් හිසරදය සුවවන බවයි.

ඉසිලිය නොහැකි හිසේ රුජාවට (අධික ලෙස මහන්සිවීම හෝ තද අව්වේ ගැවසීමෙන්) මී මල් හොඳින් කොටා ගත් ඉෂ්ම නස්න කරන්න.

පොල්පලා මුල් අඹරා නළල මත ආලේප කරන්න. නැතහොත් පොල්පලා මල් ඇල්දියෙන් අඹරා නළල මත පැලැස්තරයක් දමන්න.

දරුණු හිසරදයට තෙලක්

“තරුණිය බැමිතිරිය බිගුවල කිඹුල් වැනා

තිපලය තිකුළු තිපුටා තිගරු දෙක තුනා

සදුනය තිල තයිල ගිණිකර පත්ම මෙනා

සිසිලයකර රදව මුදුනින් බැහැරවනා” වශයෙන්.

තරුණිය - කෝමාරිකා, බැමිතිරිය- ලුණුවිල, බිගුවල - කීකිරිදිය, කිඹුල්වැනා - කිඹුල්වැන්න, මේවා කොටා යුෂ ගෙන කල්කය වශයෙන් තිපල් - අරළු, බුළු, නෙල්ලි, තිකුළු - ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, තිපුටා - තිරස්සවාළු, හීං එන්සාල්, මුං ඇට, තිගරු - කුරුඳු පොතු, කොල්ලන් කොළ, සදුනය සුදුහඳුන්, තිල තෛල - තල තෙල්, මේවා කලඳ බැගින් ගෙන කුඩුකර ඉහත කී යුෂට දමා තල තෙල් බෝතලයක් ද එම යුෂට දමා සමපාකයට තෙල සිඳ හිස ගල්වන්න. ප්‍රතිශ්‍යාවට ඇතිවන හිසේ කැක්කුමට මේ තෙල් හිසට දැමීම අගුණ බව සැළකිය යුතු යි.

දරුණු හිසරදයට ආලේපයක් - මානෙල් අල, සුවඳ කොට්ටන්, වැල්මී, ඉරමුසු මුල්, බෙලි මද, සියඹලා යන මේ සියල්ල තල තෙලින් අඹරා නළල මත ආලේප කිරීමෙන් දරුණු හිසරදය සුව වේ.

හිස රදයට නෂ්‍යයක් - මී ඇටය මදයත් සමඟ ගම්මිරිස් ඇට තුනක් තනකිරෙහි පොඟවා සිහින්ව අඹරා තන කිරටම දියකර නැවත තුනී රෙදි කඩකින් පෙරා නෂ්‍ය කරනු. සෙම වැගිරී ගොස් දිගු කලක් පැවති හිසරදය සුව වේ.

හිසේ කරකැවිල්ලට - හාතාවාරිය අල, බැවිල මුල්, මුද්දරප්පලම්, නෙල්ලි කලං 3 බැගින් ගෙන පත අට එකට සිඳ ගිතෙල් දමා බීමට දෙන්න.

සෙමෙන් හටගන්නා හිස රුජාවට කෂායක් - ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි සමව ගෙන උණු වතුරින් අඹරා පෙරා සීනි දමා නෂ්‍ය කරනු.

පිතෙන් හටගන්නා හිස රුජාවට - අරළු, බුළු, නෙල්ලි, වියළි කහ, බිං කොහොඹ, කොහොඹ කොළ කලං එක බැගින් ගෙන වතුර පත හතර පත භාගයට සිඳුවා පෙරා සීනි දමා එකවර පානය කරන්න.

අධික උෂ්ණ කාලවලදී ඇතිවන දැරිය නොහැකි හිසේ රුදාවට හා ඒ හේතුවෙන් වන ආහාර අපි‍්‍රයතාව හා ශරීර අප්‍රාණිකත්වයට -

නෙළුම් අල කිහිපයක් ගෙන හොඳින් තම්බා ගෙන එය තල තෙලින් මෘදු ද්‍රාවණයක් ලෙස අඹරා හිසේ රුදාව ඇති අයගේ නනළලේ ආලේප කරන්න. නෙළුම් අල වල ඇති සීතල ගතිය හා ඖෂධීය ගුණය නිසා හිසරුදාව මොහොතකින් සුව වෙයි.

හිසේ දැවිල්ල, හිස් හොරි, හිසරදය, හිස කැසීම, හිස කෙස් කළුවීම, සහ පීනසට අගමුල නැති වැල් මුළුමනින්ම ගෙන වියලා කොටා කුඩුකර තල තෙල් දමා කකාරා පෙරා හිස ගල්වන්න.

ඉස් හොරි සඳහා නික කොළ තැම්බූ ජලයෙන් හිස සෝදන්න.

හිස කැක්කුම් හා සෙම් රෝගවලට නස්නයක් - මී අරටු, සහිඳලුණු, සහ වදකහ, ගම්මිරිස්, මී ඇට මද, සහ තිප්පිලි සමව අරගෙන සියුම් කුඩක් වනතුරු අඹරා ගන්න. එම චූර්ණයෙන් ස්වල්පයකට උණු වතුර ස්වල්පයක් මිශ්‍ර කර නස්න කරන්න. ඊටම මී ඇට මද, මුකුණුවැන්න ඉෂ්මෙන් අඹරා නස්න කරන්න. ඔළුව කැක්කුම් හිසේ වේදනා දුරු කරවයි. හිසේ වේදනාවට දුම්මෑල්ල මල් අඹරා නළලේ ආලේප කරන්න.

 

ඉරුවාරදයට ප්‍රතිකාර

සූරියකාන්ත මල්, ඇට එම කොළ යුෂින් අඹරා පැලැස්තර එළන්න. ඊටම සියඹලා කොළ කොටා තිරිවාණා ගල් කුඩු සමඟ පොට්ටනි බැඳ කබලේ රත්කර තවන්න. ඊටම ඔළිඳ කොළ ඉෂ්ම දෙහි ඇඹුල් ඉෂ්ම සමඟ කකාරා තල්ලේ ගාන්න. කුප්පමේනිය කොළ යුෂ නෂ්න කරන්න. ඊටම සුදුලූනු, ගස්ලබු, එකට කොටා ඉෂ්ම මිරිකා බිංදු කිහිපයක් නෂ්න කරන්න. ඊටම කුඹුරු ඇට මද, මුරුංගා පොතු, අමුකහ, සමව ගෙන අඹරා පාන්කඩේ ඔතා පත්තු කොට දුම් නාසයට උරන්න. ඊටම කුරුඳු පොතු, අංකෙන්ද පොතු, දෙහි ඇඹුලෙන් අඹරා නළලේ ආලේප කරන්න. ඊටම කළු උක් පැණි, පිරිසුදු තල තෙල්, තේ හැඳි එක බැගින් ගෙන මිශ්‍රකර හිරු නැග එන්නට මත්තෙන් නස්න කරන්න. ඊටම එළ කටරොළු දළු කිහිපයක් ගෙන හොඳට අඹරා පිරිසුදු රෙදි කඩකට දමා මිරිකා එම යුෂ බිංදු 4 - 5 ක් පමණ ගෙන ඊට තල තෙල් ස්වල්පයක් දමා නස්න කරන්න. ඊටම සුදුලූනු තල තෙල් මුසුව අඹරා මදක් රත්කර නාසයට උරනු.

ඊටම සුදුලූනු, සවිඳලුණු, තල මී පැණියෙන් අඹරා නළලේ ආලේප කරන්න. ඊටම ඉල්ල කොළ, මැල්ල කොළ, උළුහාල්, කිතුල් හකුරු, පොල් කිරි යොදා කැඳ පානය කරන්න. ඊටම වදකහ, මා වී කුඩු, වියළි ඉඟුරු, වේලා කොළ සමව ගෙන ඇඹුල් දොඩම් යුෂින් අඹරා නළල ගල්වනු. ඊටම වදකහ, මුරුංගා මුල්, සුවඳ කොට්ටම්, වියළි ඉඟුරු, ගම්මිරිස් සමව ගෙන උණු වතුරින් අඹරා නළල ගල්වනු.

ඊටම වෑවර වතුªරට සීනි ටිකක් දමා දියකර එයින් නෂ්‍ය කරන්න. ඊටම එළකටරොළු කොළ යුෂ දිය සමඟ මිශ්‍රකර මිරිකා නස්න කරන්න. ඊටම නික කොළ තල තෙලෙන් පැසවා නස්න කරන්න. ඊටම ලිප මැද තිබෙන රතුපාට වූ අළු මේස හැන්දක් පමණ ගෙන ගම්මිරිස් ඇට 15 ක් කුඩුකර එයට දමා පැසුණු දෙහි ගෙඩියක ඇඹුල් වත් කරන්න. එවිට පෙන දමා උතුරනු ඇත. එය තරමක රෙදි කැබැල්ලක ගා නළලේ එළන්න.

ඊටම සූරියකාන්ත මල් ඇට එම කොළ යුෂින් අඹරා පැලැස්තරයක් නළලේ දමන්න. ඊටම කීකිරිඳිය යුෂ එළකිරෙන් පැසවා නස්න කරන්න. ඊටම සුදුලූනු අඹරා තල තෙලින් කකාරා එම අංශයට නස්න කරන්න. ඊටම සියඹලා කොළ කොටා තිරිවානා ගල් කුඩු සමඟ පොට්ටනි බැඳ කබලේ රත්කර නළල තවන්න.

ඉරුවා රදයට නෂ්‍යයක් හා ආලේපයක් - එළ කටරොළු කොළ කොටා දිය නුමුසුව මැඩ ගත් යුෂ නෂ්‍ය කරනු. ආලේපයක් වශයෙන් ඇඹුල් දොඩම් ගෙඩියක ලෙල්ලේ පැඟිරි ස්වල්පයක් මැඩගෙන කුකුළු පිහාටුවකින් කණ තුළ ආලේප කරනු. දරුණු ඉරුවා රදය සුව වේ. සූර්ය කාන්ත මල් සහ ඇට එම ඉෂ්මෙන් අඹරා හිස ගල්වන්න.

නළල රදේට - ගොටුකොළ, උඳුපියළිය, තල, කොට්ට පොල්, උක් සකුරු කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා ගිතෙල් ගා තවන්න.

 

 

ආයුර්වේද වෛද්‍ය

ප්‍රභාත් සී. ගමගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.