බොහෝ දෙනකු පීඩා විඳින ගැස්ට්‍රයිටීස්

ඔක්තෝබර් 1, 2021

ගැස්ට්‍රයිටිස් රෝගයේ අපහසුතාවන්ගෙන් මිඳීමට භාවිතා කළ හැකි අත්බෙහෙතකි. කොත්තමල්ලි, සූදුරු, ඉඟිනි ඇට, මුං ඇට, කබලේ බැද තම්බාගත් වතුර පානය කිරීම යහපති. ඉන් පිපාසය, දාහය දුරු කරගත හැකි ය.

 

සමාජයේ බොහෝ දෙනෙක් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පෙළෙති. හෙළ වෛද්‍ය විද්‍යාව මෙය අම්ල පිත්ත රෝගය ලෙස හඳුන්වයි. මෙම රෝගය කෙරෙහි මිනිසුනන්ගේ ඇවතුම් පැවතුම් බලපානු ලැබේ.

 

උෂ්ණාධික ආහාර පාන හා ශාරීරික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පිත් රසායනයේ උෂ්ණාධික බව හේතු වේ. ඉන් අම්ලකර වායුව අධිකව දහනය වීමෙන් යකඩ ධාතුව ඇතුළු ශරීරයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අහිමි වෙයි. සප්ත ධාතු දුරවලවී විවිධ දෝෂ ඇති කරනු ලැබේ. මේ නිසා ශරීරයේ විවිධාකාර රෝග ජාලයක් ඇති වන්නේ ය.

පවතින ශාරීරික පසුබිම මුල් කොට ගෙන නිරතුරුව අජීර්ණ වැනි උදර රෝග ඇති වේ.පසුව ආමාශ දාහය හෙවත් ගැස්ට්‍රයිටිස්වලට ගොදුරු වෙයි.

දැඩි ශාරීරික අපහසුතාවයක් දැනෙන මෙම රෝගය හෙළ වෛද්‍යවරු ප්‍රධාන කොට දෙකට වර්ග කරනු ලැබේ.

ඌර්ධවගත් අම්ල පිත්තය

අධෝගත අම්ල පිත්තය

 

මෙම රෝගයට ගොදුරු වූවන් නිතර වමනය කරනු ලබයි. නිල්, කළු හෝ කහ පැහැය නැතහොත් රතු පැහැයට වමනෙ කරනුයේ ඌර්ධවගත අම්ල පිත් රෝගයට ගොදුරුවූවන්ය. අධෝගත පිත් රෝගය වැළඳුණු රෝගීන් නිරූපනය කරන ලක්ෂණ මෙසේ ය.

 

රෝගී ලක්ෂණ

කල්පනාව මද ගතිය, ශරීර දාහය, පිපාසය, සිරුරේ රතු ලප නැගීම, ආහාර අරුචිය, දහඩිය දැමීම, දැඩි උදර දැවිල්ල, මලපහ අධික දුගඳකින් යුක්තවීම, ශරීරය කහ පැහැයක් ගැනීම යන්නය.

අම්ල පිත්තය ශරීරයට කරන තවත් රෝගී බලපෑම් ගණනාවකි. පෙකනිය යට කැක්කුම, හිසරදය, අජීර්ණාබාධ, බඩ පිපීම, ආමාශගත තුවාල, කැසීම සහිත සමේ රෝග, අර්ශස්, ඉදිමුම, වේදනාව උගුර තොලකට වියළීම, ලේ සීදම් යාම, ගනු ලබන ආහාර නොදිරවීම, ඉන් කිහිපයකි. මෙයට අමතරව අම්ල පිත් රෝගයට ගොදුරු වූ කාන්තාවන් සුවිශේෂී බලපෑමක් වේ. එනම් අම්ල පිත් බලපෑමෙන් ගර්භාෂගත රෝග ඇති කරයි.

අම්ල පිත් බලපෑමෙන් තවත් රෝග කීපයකට තල්ලුවන බව හෙළ වෛද්‍යවරු පෙන්වා දෙති. මෙම රෝග නිසා ආමාශයේ උපදින විෂ වාතය හේතුකොට ගෙන සන්ධිගත ඉදිමුම් ඇතිවේ. මෙය ගැස්ට්‍රයිටීස් ආමවාතය ලෙස හඳුන්වයි. අම්ල පිත්ත රෝගය හේතුවෙන් ලේ විෂ වෙයි. ඉන් වකුගඩු පීඩාවන් ඇති කරනු ලැබේ. මුත්‍රාශයේ ගල් ඇතිවීමෙන් තුනටියේ දැඩි වේදනාවන් ඇති කරයි. මෙහි තවත් දිගුවක් ලෙස මල බද්ධ තත්ත්වයන් ඇතිවේ. යෞවනියන්ගේ පිත්තාශයේ ගල් ඇතිවීමට හේතුවෙයි. එය පිත්තාශ්මරි රෝගය ලෙස හඳුන්වනු ලැබේ.

මෙම රෝගය මූලික අවස්ථාවේම සුවපත් කරගත යුතු ය. මේ සඳහා පාරම්පරික වෛද්‍යවරු අගනා ප්‍රතිකාර සිදුකරයි. සමහර ගුරු කුල වෛද්‍යවරු ඔසු මිශ්‍ර කෙම් ක්‍රම භාවිතා කරයි. බොරලැස්ගමුව මංසන්ධියේ විසූ ජෝර්ජ් වෙද මහතා චූර්ණයක් භාවිතා කරයි. එය රැයක් පුරා නැවුම් මැටි බඳුනක ජලය සමඟ තැබිය යුතු ය. පසුදා අලුයම රතුසීනි ස්වල්පයක් එක්කර පෙරා බ්‍රහ්ම මුහුර්තියෙන් කතා නොකොට පානය කළ යුතු ය. එයාකාරයෙන් දෙදිනක් පානය කිරීමෙන් ගැස්ට්‍රයිටීස් සුවවේ. මෙවැනි ඔසු වැඩියෙන් ජනගත කළ යුතු කාලය උදා වී ඇත.

 

රෝගයෙන් මිදීමට

මෙම රෝගයෙන් මිදීමට සෞම්‍ය ආහාරපාන භාවිතා කළ යුතු ය. ගොටුකොළ, තම්පලා, තිබ්බටු හාතාවාරිය, ඉරමුසු, ලුනුවිල, රසකිඳ කොළ, කීකිරිඳිය, දියමිත්තා කොළ, කෝවක්කා, පතෝල, වැටකොලු, කොහිල, නෙලුම් අල, පිපිඤ්ඤා, පිටි අඩු වට්ටක්කා, කැකිරි, පොල්පලා සුදුසු අයුරෙන් ආහාරපාන ලෙස ගත යුතු ය.

මෙම රෝගයෙන් දුක් විඳින්නන් ලබා නොගත යුතු ආහාර පෙළකි. පාන්, විස්කෝතු, තැඹිලි, යෝගට්, පැණිබීම, තෙල් කෑම, මිරිස්, අධික ලුණු ඇඹුල්, අච්චාරු යන ආහාර පානවලින් වැළකිය යුතු ය. කේන්තිය, මානසික ආතතිය, වේදනා, බියවීම් යන ඇවතුම් පැවතුම්වලින් මිදීමට අවශ්‍ය වේ. තැන්පත් සිතින් සැහැල්ලුවෙන් නිරතුරුව පැවතිය යුතු ය. කායික ප්‍රතිකාර මෙන්ම මානසික සුව පැවැත්මද රෝග නිවාරණයට හේතු වේ.

ගැස්ට්‍රයිටිස් රෝගයේ අපහසුතාවන්ගෙන් මිඳීමට භාවිතා කළ හැකි අත්බෙහෙතකි. කොත්තමල්ලි, සූදුරු, ඉඟිනි ඇට, මුං ඇට, කබලේ බැද තම්බාගත් වතුර පානය කිරීම යහපති. ඉන් පිපාසය, දාහය දුරු කරගත හැකි ය.

මෙම රෝගය විධිමත් ප්‍රතිකාර මඟින් දුරුකර ගත යුතු වේ. නිවැරදි උපදෙස් පමණක් ලබාගැනීමට බුද්ධිමත් විය යුතු ය. රත්කර නටවාගත් ජලය නැවුම් මුට්ටයක බහා සිසිල් කර පානය කිරීම හොඳ ඔසුවකි. ඉන් සෑම අම්ල පිත්ත රෝගයකටම ගුණයක් ලබාගත හැකි වේ. මේ සඳහා සුදුසුකම්ලත් හෙළ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම බුද්ධිමත් පියවරකි.

 

වෛද්‍ය

ලක්ෂ්මන් වසන්ත රුක්මාල්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.