දණහිසේ වතුර පිරෙන රෝගය සුව කළ හැකිද?

දෙසැම්බර් 3, 2021

ප්‍රමේහ ගණයට වැටෙන මෙම රෝගය ආමය මුල්කරගෙන හටගන්නා බව කිවමනාය. මෙම රෝගය විශේෂයෙන් වයස අවුරුදු 40 ඉක්ම වූ කාන්තාවන්ට වැලඳීමේ ප්‍රවණතාවය වැඩිය.

දණහිසේ වතුර පිරීමෙන් පෙළෙන විට තදබල වේදනාවක් ඇතිවෙයි. ඇඟ රිදීම, උණ ගැනීම හටගනී. නියමාකාර ලෙස ප්‍රතිකාර නොලැබුණොත් දණිස් හන්දිය කොරවීම සිදුවීම පමණක් නොව ඇවිදීමට හිඳ ගැනීමට පවා අපහසු වේ. ටික ටික කල්යාමේ දී රෝගියා ඔත්පළවීමට සිදුවේ. මෙම රෝගය අතිශයින්ම හිංසාකාරිය. මෙම රෝගයට හේතු ගණනාවක්ම බලපායි. කුඩා කල වැටීමෙන්, තැල්මක් ඇතිවීම හෝ එසේ නොමැති නම් ආමවාතය, රක්තවාතය, මධුමේහය හෝ අධික තරබාරුව, බකල ගතියක් හෝ පැවතුණහොත් දණහිසේ වතුර පිරීමට එවැනි හේතුකාරණා විය හැකි ය. ස්ථුල බව අඩු කරගන්න.

මෙම රෝගයේ මූලික ලක්ෂණය වන්නේ දණහිස අවට ඉදිමීමයි. එවිට නිතර උණ ගතියක් ද ඇතිවෙයි. දණහිස නැවීම අපහසු වීම, සිද්ධ වේ. ටික දිනක් යනවිට එතැනට වතුර එක් වෙයි. වතුර ඒ මේ අතට සෙලවෙන බව රෝගීහු පවසති. මේ තත්ත්වය මත වැඩි දෙනකු වතුර ඉවත් කර ගැනීමට රෝහල් ගත වෙයි. රෝහල් ගතවී වතුර ඉවත් කර ගත්ත ද නැවත නැවත වතුර පිරීම සිද්ධ වේ. යළිත් වතුර ඉවත්කර ගත් විට දණහිසේ ආවරණකලාව වියළෙන්නට පටන් ගනී. එවැනි අවස්ථාවකදී රෝගියට ඇවිදීමට බැරිව කොරවෙයි.

මෙම රෝගය නිෂ්ඨාවට සුවකළ හැක්කේ ආයුර්වේද වෙදකම මඟිනි. බටහිර වෛද්‍ය ක්‍රමයේ ක්‍රියාව වන්නේ දණහිසේ පිරෙන වතුර ඉවත් කිරීමයි. ආයුර්වේද වෙදකමේ වතුර ඉවත් කිරීම නොව එයට හේතුවූ රෝග නිදානයට ප්‍රතිකාර කිරීමයි. රෝගයට නොව රෝග කාරණයට ප්‍රතිකාර යෙදීම මඟින් රෝගයට සහනයක් ලබා දී රෝගියා වේදනාවෙන් මුදවා ගැනීම සිදු කරයි. මෙම රෝගය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ‘කොෂ්ඨක ශීර්පය” නමින් හඳුන්වයි.

මෙම ‘කොෂ්ඨක ශීර්ෂය” රෝගයට ප්‍රතිකාර කිරීමේ දී බාහිර හා අභ්‍යන්තර වශයෙන් ක්‍රම දෙකකින් චිකිත්සාව සිද්ධ කරනවා. බාහිර වශයෙන් තෙල් ගෑම, මැල්ලුම් හා පත්තු දැමීම ද සිදු කරනවා. ආයුර්වේද ප්‍රතිකාර මඟින් සිද්ධ වන්නේ සිදු කරන්නේ ද නැවත නැවත වතුර පිරීම නවතාලීමයි. මෙවැනි ප්‍රතිකාර ලබා ගන්නා රෝගියා ද ආහාර විහරණවලින් ප්‍රවේසම්වීමෙන් රෝගී තත්ත්වයෙන් මිදීමට හැකි වෙනවා.

රෝගියාට බඩ වියළීම වේ නම් ඒ තත්ත්වය මඟ හරවා ගැනීමට රක්තවාතයට ඉතාම හොඳ අරළු, බුළු, නෙල්ලි, දුම්මැල්ල, රසකිඳ, කොහොඹ පොතු, රත්හඳුන්, ඇහැළපොතු, මදටිය දහය පමණ ගෙන 8 - 1 ට සිඳ පත බාගය බැගින් උදේ සවස ගැනීම යෝග්‍යය. කසාය හයක් පමණ ගැනීම ප්‍රමාණවත් වේ. මෙම කසාය පානය කර දින දෙකකට පසු දෙවෙනි කසායද ගත යුතු ය.

ඉරමුසු, තීරැස්සවාලු මුල්, මුද්දරප්පලම්, වැල්කහඹිලියා මුල්, සෙනෙහෙකොළ, කටුකරෝසන, පාවට්ටා මුල්, කොහොඹ පොතු, අරළු, වියළි කහ, වෙනිවැල් ගැට, නෙරෙංචි, කලං එක බැගින් ගෙන 8 - 1 සිඳ පෙරා උදේ සවස දෙවේලට ගන්න. කසාය 6 - 7 සෑහේ. මෙම බෙහෙත් බොන අතරේ මස්, තෙල් බැදුම්, අන්නාසි, තක්කාලි, බලමාළු, මුරුංගා වැනි සැර සහිත ආහාරවලින් වැළකීම වැදගත්. එසේම සීතල ජලය පානය සීතල වතුර නෑම අගුණය.

මුත්‍ර දෝෂ, ශරීරයේ ලේවල සීනි ඇති රෝගීන් නම් දක්වා ඇති නිෂ්පාදිත ඖෂධ වර්ග දෙක බෝතල් භාගය බැගින් ගෙන දෙක එකට මිශ්‍රකර රාත්‍රී කෑමට පෙර මේස හැඳි 2 ක් ගැනීම සුදුසුය. උදේ 10 ට සහ රාත්‍රී 10 ට චන්ද්‍රප්‍රභා ගුලි 1 ක් නීරමුල්ලිය හෝ පොල්පලා තැම්බූ වතුර සමඟ ගැනීම ගුණදායකය.රෝගියාගේ බඩ වේලීම තිබේනම් රාත්‍රී කෑමෙන් පසු සුකුමාර චූර්ණය හෝ සුරේචනී කල්කය රෑට රෑට ගැනීම හොඳය.

බාහිර ප්‍රතිකාර ලෙස දණහිස ඉදිමී රත් පැහැ ගැන්වී තිබේ නම් වේදනාව පවතී නම් කිසිසේත් තැවීම් තදින් ඇතිල්ලීම් නොකළ යුතු ය. තදබල ඉදිමීමක් ඇත්නම් පුපුල කොළ අමුකහ ලුනු ස්වල්පයක් පැසුනු පොල් ටිකක් වනේ කොටා මලවා දින 6 ක් බැඳීම සුදුසු ය. උදේ බැඳ සවස ලිහා දැමිය යුතු ය.

වෙළඳ පොළේ ඇති නිෂ්පාදිත ආයුර්වේද ඖෂධයක් වන ලාක්ෂාදී ලේපය මී පැණියෙන් අනා ආලේප කරන්න. බෙලිකොළ, සියඹලා කොළ, පාවට්ටා කොළ සමවගෙන තම්බා මඳ රශ්නය තිබියදී සේදීම කළ යුතු ය. ඉන්පසු පිණ්ඩ තෙල ගා පිරිමදින්න. මෙම ප්‍රතිකාරවලින් පසු දවල් කාලයේ දී ක්‍රේප් පටියකින්ද දණහිස ඔතා දණහිස දිග හැරෙන සේ විවේකව සිටින්න. බර ආහාරවලින් වළකින්න. රාත්‍රී ආහාර නැවත රත්කර කෑමෙන් වළකින්න. හැකිනම් උදේ ආහාරයට කොළ කැඳ හෝ සුදුලූනු යෙදූ ලුණු කැඳ පානයට ගන්න. මේ අනුව මානසික සුවයෙන් දවස ගෙවන්න. මානසික ආතතිය දුරුකර ගැනීම මේ ලිපිය මා ලියන්නේ රෝගීව වේදනා විඳින අපේ රටේ මව්පිය ඇතුළු සහෝදර ජනතාව වෙනුවෙනි. ඔබගේ රෝග තත්ත්වය ගැන මා දැනුම්වත් කරන්නේ නම් මා කෘතඥ වෙමි.

වෛද්‍ය

එන්.කේ.එස්. කුලසූරිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.