දරුවන්ගේ කායික මානසික හා බුද්ධිවර්ධනයට බාධාවන පෝෂණ ඌණතාවය

පෙබරවාරි 18, 2022

දරුවන්ගේ ක්‍රියාශීලිත්වයට බෙහෙවින් බලපාන හේතුවක් වන්නේ යකඩ බහුල ආහාර නොගැනීමයි. මෙ නිසා කායික මානසික හා බුද්ධි වර්ධනයට එය බෙහෙවින් බලපායි. මෙම තත්ත්වයට එක් හේතුවක් වන්නේ පෝෂණ ඌනතාව යි. පෝෂණ ඌනතාවයි. පෝෂණ ඌනතාවය ඇතිවන්නේ යකඩ බහුල ආහාර මෙන්ම විටමින් සී අඩංගු ආහාර නිසිපරිදි ශරීරයට නොලැබී යෑමෙනි.

ඉන් මිදීමට නම් යකඩ හා විටමින් අඩංගු ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ සඳහා එළවළු හා පලතුරු වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතුය. අද සමාජයේ සමහර දෙමාපියෝ දරුවන්ට එළවළු පලා වර්ග අඩුවෙන් හා බත් වැඩිපුර දීමට පුරුදුව සිටිති. ඒ තත්ත්වය මඟ හරවා ගත යුතුය. ශරීරයට නිසි පෝෂණයක් නොලැබීමෙන් යකඩ ඌනතාවය ඇතිවේ. එය දරුවාගේ වැඩීමට ද යම්බාධාවක් ඇතිවේ. වැඩිහිටියන් හා දෙමාපියන් දරුවන්ගේ එදිනෙදා ආහාර ගැන සැලකිලිමත් නොවුණහොත් දරුවන්ට මන්දපෝෂණයෙන් පෙළීමට ද සිදුවේ.

දරුවකු වැඩෙන අවස්ථාවේ දී යකඩ බහුල එළවළු දියයුතුය. යොවුන්විය සමඟ වැඩිවියට පත්වන ගැහැනු දරුවන්ට ද යකඩ අවශ්‍යතාවය නොඅඩුව තිබිය යුතුය. මාසික ශුද්ධිය ඇතිවීමේ දී ශරීරයෙන් පිටවන රුධිරය නිසා හීනවන ශරීර ශක්තිය වර්ධනය වීමටත් යකඩ අවශ්‍යතාවයක් පවතී. එය සපුරා ගැනීම සඳහාත් පෝෂ්‍යදායී ආහාරවේලක් ගත යුතු ය. එසේ නොවුණහොත් යකඩ ඌනතාවයට මුහුණපෑමට සිදුවේ. යකඩ ඌනතාවය ඇති වූ විට ප්‍රධාන වශයෙන් කායික ක්‍රියාවලියට බාධා ඇතිවේ. ඉතා ඉක්මනින් වෙහෙසට පත්වේ. අලස බවක් ඇතිවේ. කිසිදු ක්‍රියාශීලිත්වයක් නොපෙන්වයි. ශරීරයට අප්‍රාණිකත්වයක් ඇතිවේ. නිතරම පසුබෑමට ලක්ව සිටීමට හිත් වේ. මතක ශක්තියද බෙහෙවින් අඩු වේ.

ගර්භිණී මව්වරුන්ට යකඩ ඌනතාවය ඇති වූ විට වෙනත් රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවධානය බොහෝය. ශරීරයේ ඇට මිදුලුවල සාමාන්‍ය තන්තු අවසන්වීමෙන් යකඩ ඌනතා නීරක්තිය ඇතිවේ. මෙසේ යකඩ ඌනතා නීරක්තිය ඇතිවීමට වැඩි අවදානමක් ඇති අය වන්නේ ගර්භිණී කාන්තාවන් හා කිරිදෙන මව්වරුන්ය. ළදරුවන් හා යෞවන වයසේ පසුවන වයසේ පසුවන ළමයින්ය. එමෙන්ම පුරුද්දක් වශයෙන් වසර ගණනාවක් පුරා යකඩ බහුල ආහාර වන මස්, මාළු හා එළවළු කෑම අඩු කිරීමෙන් ද නීරක්තියට පත් වේ. ශාරීරික හා මානසික වර්ධනය නිසි පරිදි සිදුවීමට අළසබවෙන් තොර ක්‍රියාශීලි ජීවිතයක් ගෙන යෑමට මතක ශක්තිය ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට නිසි පෝෂ්‍ය ආහාර ලබාගත යුතුය. ගැබිනි සමයේ ඇතිවන සංකූලතා අඩුකර ගැනීමට නම් සිරුරට අවශ්‍ය යකඩ නොඅඩුව ලබාගත යුතු ය. එසේ සිරුරට අවශ්‍ය යකඩ නොමැති වූ විට උපත් බර අඩු දරුවන් බිහිවේ. දරුවන්ගේ වර්ධනය ද බෙහෙවින් අඩුවේ. දරුවන් රෝගාබාධවලට ලක්වීම ද වැළැක්විය නොහැකිය.

සුළු කරුණකදී වුවද විඩාවට පත්වේ. කාර්යක්ෂමතාවය නොමැතිවේ. මේ නිසා අන් අය හා එක් නොවී තනිව සිටීමට උනන්දු වේ. මොනයම් කටයුත්තකටවත් ඉදිරිපත්වීමට කැමැත්තක් නොදක්වයි. එමෙන්ම යකඩ ඌනතාවය නිසා සිරුර බෙහෙවින් දුර්වල තත්ත්වයට පත්වේ. හිස කැරකැවිල්ල හිසරදය මෙන්ම හතිය ද ඇතිවේ. උස් බිමක් හෝ පඩි පේළියක් නඟින විට ක්ෂණිකවම වෙහෙසට පත් වේ. කාර්යක්ෂම භාවය අඩුවීම නිසා කම්මැළිකමට පත් වේ. ඉන් වැළකීමට නම් යකඩ බහුලව ඇති තෙල් නැති මස් මාළු, කොළපාට පලාවර්ග, සාරණ, මුරුංගා කොළ, කතුරුමුරුංගා කොළ, තම්පලා, නිවිති ආදී පලා වර්ගත් ආහාරයට ගත යුතුය. යකඩ බහුලව ඇති සාරණ ආහාර එක්කර ගැනීම වඩාත්ම සුදුසුය. සාරණ ග්‍රෑම් සියයක යකඩ මිලි ග්‍රෑම්. 38.5 ද නිවිති ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 10 ද කතුරු මුරුංගා කොළ ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 7.0 ද ගොටුකොළ ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 68.8 ද කංකුං ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 3.7 ද, මුකුණුවැන්න ග්‍රෑම් සියයක යකඩ මිලි ග්‍රෑම් 16.7 ද ඇත.

ඊට අමතරව දෙහි ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 2.3 ද පිපිඤ්ඤා ග්‍රෑම් සියයක මිලිග්‍රෑම් 1.5 ද ඇත. යකඩ අන්තර්ගත පලතුරු ගැන සලකා බැලීමේ දී දිවුල් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 0.6 ද පේර ග්‍රෑම් සියයක යකඩ මිලි ග්‍රෑම් 1.4 ද දොඩම් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 0.3 ද පැපොල් ගස්ලබු ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 0.5 ද කෙසෙල් ග්‍රෑම් සියයක යකඩ මිලි ග්‍රෑම් 0.9 ද ඇපල් ග්‍රෑම් සියයක යකඩ මිලි ග්‍රෑම් 0.9 දෙළුම් ග්‍රෑම් සියයක යකඩ මිලි ග්‍රෑම් 1.79 ද රට ඉඳි ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 0.9 ද අලිගැටපේර ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 0.7 ද රඹුටන් ග්‍රෑම් සියයක යකඩ ග්‍රෑම් 0.7 ද තිබේ.

තම්බන ලද සහල් ග්‍රෑම් සියයක යකඩ මිලි ග්‍රෑම් 2.8 කැකුළු සහල් ග්‍රෑම් සියයක යකඩ 3.1 ද ඇති අතර සෝයා බෝංචි ග්‍රෑම් සියයක යකඩ ග්‍රෑම් 11.5 වියළි හාල්මැස්සන් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 7.3 ඇති අතර කිකිළි බිත්තරයක යකඩ 2.1 හා ගවමස් ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 0.3 ඇත. පරිප්පු, මුං ඇට, කඩල, කව්පි, සුදුලූනු, කරපිංචා, කොත්තමල්ලි, අඹ, අන්නාසි, කොමඩුවලත්, දෙහි, සියඹලා, තක්කාලි යකඩ අන්තර්ගතව ඇත.

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.