සතුරකු මෙන් මනුෂ්‍යයාට හානිකරන අර්ශස්

අප්‍රේල් 29, 2022

ආහාර මාර්ගයේ අපර කොටස විද්‍යාවේ දී ගුද මාර්ගය ලෙස හඳුන්වනු ලබනවා. වර්තමානයේ පුද්ගල ශරීරයේ මෙම කොටසේ බොහෝ රෝග සංඛ්‍යාවක් හටගනු ලබයි. මෙම ප්‍රදේශය අඟල් 4 1/2ක පමණ කොටසකි. මෙහි හටගන්නා රෝග කිහිපයක් දෙස අවධානය යොමු කිරීමේදී ඉන් ප්‍රධාන ලෙස දැක්විය හැකි රෝගයකි, අර්ශස් රෝගය. ඒ අතරම ඊට අමතරව, භගන්දර රෝගය, පරිකර්තිකා රෝගය, ගුද භ්‍රංස, ගුද කන්ඩු, ගුද පාක, පිළිකා යන රෝග ද දැකිය හැකිය.

මෙයින් ප්‍රධානම රෝගය වන අර්ශස් රෝගය අද සමාජයේ බොහෝ පිරිසක් අතර දක්නට ලැබේ. මෙය ආයුර්වේදය තුළ ඉතාම පැහැදිලිව ශ්ලෝකයකින් හඳුන්වා දී ඇත.

“අරිවත් ප්‍රාණාත් ශෘනාති – හිනස්කි ඉති අර්ශඞ

එහි තේරුම ‘සතුරකු මෙන් මනුෂ්‍යාගේ ප්‍රාණයට හානිකරන රෝගය අර්ශස් වේ’ යන්නයි. මෙය ආයුර්වේදයට අනුව මහා රෝගයකි. ආයුර්වේදය තුළ මෙය පාලනය කළ හැකි රෝගයක් වේ.

අර්ශස් රෝගය හටගැනීමට හේතු

දීර්ඝ කාලීන මලබද්ධය, අන්ත්‍රයේ පවතින රෝග තත්ත්වයන්, දීර්ඝකාලීනව ආසනවල හිඳගෙන වැඩකිරීම, ශරීරයේ අධික ස්ථුලතාවය, මානසික ආතති කාරණා, ගර්භණී අවස්ථාවේදී ද ඇතිවීම සිදුවන අතර පාරම්පරික හේතු ද බලපායි.

රෝගය ඇතිවන බවට පෙර ලක්ෂණ (පූර්ව රූප)

බඩපුරවා දැමීම, ආහාර දිරවීම අඩුවීම, දැවිල්ල, පිපාසය, කකුල්වල වේදනාව, පාද පණ නැතිවීම, ශරීර ශක්තිය නැතිවීම වැනි ලක්ෂණ ඇතිවේ.

අර්ශස් ප්‍රභේද පහතින් දක්වා ඇති අතර ප්‍රභේද මඟින් රෝග තත්ත්වයන් හඳුනා ගැනීම හා රෝගයට ප්‍රතිකාර කිරීමේ පහසුව ඒ මඟින් බලාපොරොත්තු වේ.

1.දෝෂ අනුව

1. වාතජ 2. පිත්තජ 3. කඵජ 4.ත්‍රිදෝෂජ 5. රත්තජ 6. සහජ

2.ස්වභාවය අනුව

1. ශුෂ්ක අර්ශස් 2. ස්‍රාවී අර්ශස්

3. ස්ථානය අනුව

1. බාහ්‍ය අර්ශස් 2. අභ්‍යන්තර අර්ශස්

4. චිකිත්සාව අනුව

1. භේෂජ සාධ්‍ය 2. ක්ෂාර සාධ්‍ය

3. අග්නි සාධ්‍ය 4. ශස්ත්‍ර සාධ්‍ය

 

අර්ශස් රෝගයෙන් වැළකීමට කළ හැකි දේ

මලපහ කිරීම උදේ නියමිතව පුරුද්දක් කරගන්න. උදේ හැකිනම් සිසිල් ජලය වීදුරුවක් පානයකර වැසිකිළියට යාම පුරුද්දක් කරගන්න.

තන්තු බහුල එළවළු, කොහිල, කෙසෙල්මුව, කෙසෙල්බඩ වැනි ආහාර එක්කර ගන්න. තම්පලා, සාරණ, කංකුං, මුකුණුවැන්න, ගොටුකොළ, රතුලූනු, ගැටතුඹ ඉතාම හොඳ ආහාර වේ.

පෙනෙල කැඳ වර්ග, කරල්සැබෝ කොළ කැඳ, ගොටුකොළ කොළ කැඳ, මුකුණුවැන්න කොළකැඳ වර්ගවලට හුරුවෙන්න. දිනපතාම භාවනා කරන්න.

ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, අච්චාරු, අන්නාසි, රඹුටන් වැනි ආහාරවලින් ඈත්වන්න. දිනපතා ව්‍යායාම්වල නිරතවන්න. යෝග අභ්‍යාස ඉතාම හොඳයි.

ක්ෂණික ආහාර, කෘත්‍රිම පිටිකෑම වර්ග, බේකරි නිෂ්පාදනවලින් හැකිතාක් ඉවත්වන්න. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය නවත්වන්න. දුම්පානය ද අහිතකරය. අධිකව වෙහෙසවීම අර්ශස් රෝගීන්ට හානිකරය.

අර්ශස් රෝගයේ ප්‍රතිකාර

අලුතින් හටගන්නා අර්ශස් පහසුවෙන් සුවකළ හැකිය. කල්ගතවන විට අර්ශස් සුවකිරීම අපහසු වේ. ඒවගේම වෙනත් රෝග ඇතිවීම ඇතිකරයි. භගන්දර පරිකර්තිකා වැනි තත්ත්ව ද අර්ශස් නිසා ඇතිවේ. ලේ යන අර්ශස් නිසා රක්තහීන තත්ත්වයන් ඇතිවීම සිදුවේ. මේ සියල්ලටම වඩා මානසිකව රෝගියා අපහසුවට පත්වේ.

ආයුර්වේදයේ අර්ශස් ප්‍රතිකාර කිහිපයකට දක්වා ඇත.

1.භෙෂජ මඟින් – ඖෂධ යොදාගෙන කරයි

2.ක්ෂාරජ චිකිත්සා මඟින් , 3. අග්නි ප්‍රතිකාර මඟින් 4.ශස්ත්‍ර ප්‍රතිකාර මඟින්

ඖෂධ ප්‍රතිකාර මඟින් කල්නොගිය අර්ශස් සුවකරයි. මෙහිදී බාහිර ඖෂධ හා අභ්‍යන්තර ඖෂධ උපයෝගි කර ගනී. කෂාය වර්ග, ගුලිවර්ග, කල්ක වර්ග යොදාගෙන කරයි. විශේෂයෙන් රත් අර්ශස් ප්‍රතිකාරයේදී කරල්හැඹ කෂාය භාවිතා වේ. ඒ වගේ චිරබිලිවාදී ක්වාතය, කෂාය භාවිත කරයි. ලේ යන විට දෙළුම් ලෙලි කෂාය ද භාවිතා කරයි. ඒ වගේම චූර්ණ වර්ග ඉතා හොඳින් භාවිත කළ හැකිය. සම්පාදිත චූර්ණ ලෙස ධාත්‍රී චූර්ණය, සුකුමාර චූර්ණ භාවිත කරයි. සමහර තැවීම් වර්ග, තෙල්වර්ග ද අර්ශස් රෝගයේදී රෝගියාට සහන ඇති කිරීමට උපකාරි වේ. සර්වවිෂාදී තෛලය, අර්ශස් තෙල්වර්ග, නීල්‍යාදී, පිණ්ඩ තෛල වර්ග ද භාවිත කරයි. තැවීම් පොට්ටනි සඳහා වියළි කහ, තිත්ත වැටකොලු අඹරා තැවීම කරයි. එසේම. රතුලූනු, උඳුපියළිය සියඹලා කොළ කොටා පොට්ටනි බැඳ තැවීම ද සිදුකරයි. දුම් ඇල්ලීම අර්ශස්වලදී ඉතාම ගුණදායකය. වරාකොළ දුම, දුම්මල දුම ද ඉතාම හොඳයි. ආලේප ලෙස වියළි කහකුඩු, දළුක් කිරෙන් අඹරා ගැල්වීම මඟින් ද සහනයක් ලබාගත හැකිය. නමුත් මේවා කළ හැක්කේ අර්ශස් වර්ගය නියමාකාරයෙන් ආයුර්වේද වෛද්‍යවරයකු නිර්ණය කිරීමෙන් පසුය. හොඳින් අර්ශස් වර්ගය හඳුනා නොගෙන ආලේප වර්ග හෝ ප්‍රතිකාර නොකළ යුතුය.

ක්ෂාර ප්‍රතිකාර ඉතාම ප්‍රතිඵලදායකය. එමඟින් ඇතිවූ අර්ශස් කපා දැමීම ඖෂධ මඟින් සිදු කෙරේ. ක්ෂාර නූල්, පාතනය ආදි ක්‍රම බොහෝමයක් ඇත.

අග්නි ප්‍රතිකාර ද ඉතාම සාර්ථකය. එමඟින් ඇතිවූ අර්ශස් කීලය විනාශ කළ හැකිය.

ශස්ත්‍ර මඟින් කපාදැමීම සිදුකරයි. එය ද සාර්ථකය. මේ කුමන ප්‍රතිකාර කළ ද රෝගියාගේ පැවැත්ම අනුව අර්ශස් රෝගය නැවත ඇතිවීම පාලනය කළ හැකිය.

වෛද්‍ය

අභයතිලක දේවගිරි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.