ඇතුවත් බැරි නැතුවත් බැරි නිවුන් ස හෝදරයෝ

මැයි 6, 2022

 

ආහාර පාන ගැනීමේ දී ගුණයට වඩා රසයට වහල් වූ ජාතියකි ශ්‍රී ලාංකිකයෝ. බටහිර ජාතීන් මේ තත්ත්වයෙන් මිදී පෝෂණ ගුණයෙන් යුත් ආහාර ගැනීමට පෙළඹී ඇත. කුඩා අත දරුවන්ට කිරි හෝ කැඳවර්ගවලට ලුනු, සීනි වර්ග එකතු නොකර පෙවීමට නිර්දේශකර ඇත. රසය ගැන වැටහීමක් නැති දරුවා එය ආසාවෙන් පානය කරයි. කල්යත්ම ලුණු, සීනි රසකාරක එක් කිරීමෙන් ඔවුහු රසයට වහලුන් බවට අනිවාර්යෙන්ම පත්වෙති. එතැන් පටන් එය ලෙඩ රෝගවලට අතවැනුමක් වනු ඇත.

 

අද ලෝකයේ ආහාර නිෂ්පාදනයේ දී සීනි, ලුණු නැතිවම බැරිය. එහෙත් මේ දෙවර්ගය ඇතුවත් බැරිය. නැතිවත් බැරිය. අප ආහාරය රස ගන්වන ප්‍රධාන රසකාරය ලුණු ය. මේ ලුණු අනාදිමත් කාලයක සිට මිනිසා පාවිච්චි කර ඇත. සෝඩියම් ක්ලෝරයිඩ් යන රසායනික නාමයෙන් හඳුන්වන ලුණු ශරීරයට අවශ්‍ය සෝඩියම් සංඝටකය ලබා දෙයි. සෝඩියම් නිසි ප්‍රමාණයක් ශරීරයට නොලැබුණහොත්, ශරීර අප්‍රාණික බව, මාංශ පේශි වේදනාව, කෙණ්ඩා පෙරළීම ඇතිවේ.

ලුණු ප්‍රමාණාත්මකව ගතයුතු රසකාරකයකි. එය වැඩිපුර ආහාරයට එක්කර ගතහොත් විවිධ රෝග ඇතිවේ. අධි රුධිර පීඩනය, හෘද රෝග, වකුගඩු රෝග, අක්මාගත රෝග ඇතිවීමේ අවධානම වැඩිවේ. මෙවැනි රෝග ඇති රෝගියා වෛද්‍ය උපදෙස් අනුව ලුණු ගැනීම කළයුතුය. ලුණුවලින් ශරීරයට ලැබෙනුයේ සෝඩියම්ය. ටින් ආහාර හා ඇසුරුම් කරන ලද ආහාරවල ඇති ලුණු ප්‍රමාණය සඳහන් කර ඇත. සෝඩියම් ග්‍රෑම් 4ක ලුණු ග්‍රෑම් 10ක් ඇති බව දැනගත යුතු ය. ආහාර ග්‍රෑම් 100ක ලුණු ග්‍රෑම් 1.25ක් ඇත්නම් එය ලුණු අධික ආහාරයකි.

එමෙන්ම ආහාර ග්‍රෑම් 100ක ලුණු ග්‍රෑම් 1.25 ට අඩු නම් එය ලුණු අඩු ආහාරයක් ලෙස සැලකේ. කුඩා දරුවන්ට සහ වැඩිහිටි අයට අධික ලුණු සහිත ආහාර සුදුසු නැත. වැඩිපුර ලුණු ආහාරයට ගැනීමෙන් ශරීරය තුළ ඇති කැල්සියම් බහිස්‍රාවය සිදුවේ. මුත්‍රා මඟින් කැල්සියම් ඉවත්වේ. එවිට කැල්සියම් අඩු වී වෙනත් රෝග හටගැනීම සිදුවේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා අයඩින් අවශ්‍ය වේ. අයඩින් ඌනතාවය නැති කිරීමට ලුණුවලට අයඩින් එක්කර ඇත. සමහර ගෘහිණියන්ගේ නොදැනුවත්කම නිසා ලුණුවලට එක්කර ඇති අයඩින් ප්‍රමාණය විනාශ වේ. සුදු පැහැති බෝතල්වල සහ පොල්කටුවල ලුණු දමා එයට ජලය මිශ්‍රකර ලිප ළඟින්ම තබා ඇත. රස්නය නිසා අයඩින් විනාශ වේ. ලුණු ගබඩා කළ යුත්තේ අඳුරු පැහැති බෝතල්වලය. සමහර ගෘහිණියන් ලුණු පාවිච්චියට පෙර සෝදයි. එවිට අයඩින් දියවී යෑමෙන් අයඩින් ඌනතාවය ද ඇතිවේ.

ලුණු ආහාර පිසීමෙන් පසු අවසානයට ආහාරයට එක්කළ යුතු ය. නැතිනම් අයඩින් වියෝජනය වී ගුණ නැතිවේ. අප ආහාරයට ගන්නා අච්චාරු, කරවල, ලුණු මිරිස්, ලුණු දෙහි, බදින ලද ඇට වර්ගවල ලුණු අධිකය. මේවා ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු ය.

ලුණු හා බැඳුණු තවත් රසකාරකයකි, සීනි. පැණි රස නැතිවම බැරිය. සීනි (සුක්රෝස්) ආහාර නිතර ගැනීමෙන් විවිධ රෝගාබාධ ඇතිවේ. සීනි නිසා අධික කැලරි ප්‍රමාණයක් ශරීරගත වීමෙන් ශරීරයේ බර වැඩිවේ. සීනි ලේවලට එකතු වීමෙන් මධුමේහය (දියවැඩියාව) ඇතිවේ. මේ කාලයේ උත්සව නිසා සීනි පරිභෝජනය අධිකය. චොක්ලට්, අයිස්ක්‍රීම්, කොකාකෝලා, පලතුරු කේක්, සීනි තවරන ලද බිස්කට් ආහාරයට ගැනීම වැඩිවී ඇත. මේ නිසා කුඩා කල සිටම දියවැඩියාවට ගොදුරුවිය හැකි නිසා ප්‍රවේශම් විය යුතු වේ.

සීනි පරිභෝජනයේ දී ආහාර ග්‍රෑම් 100 ක සීනි ග්‍රෑම් 10ට වැඩි නම් අධි සීනි ආහාරයකි. ආහාර ග්‍රෑම් 100ක සීනි ග්‍රෑම් 2ට අඩුනම් සීනි අඩු ආහාරයක් ලෙස සැලකේ. ප්‍රධාන කෑම වේල් අතරතුර සීනි භාවිතය අඩුකර ගත යුතු ය. අතුරුපස ලෙස සීනි ආහාරයක් ගතහොත් දත්මැදීම කළ යුතු ය. නැතිනම් දත් දිරායාමට හේතුවේ. ඔබට චුවින්ගම් අවශ්‍ය නම් සීනි රහිත ඒවා පාවිච්චි කරන්න.

සීනි සහිත ආහාරවලට ඉක්මනින් බැක්ටීරියා එක්වීමේ ප්‍රවණතාවය වැඩිය. ඒ මඟින් විවිධ රෝග සෑදිය හැක. සීනි, ලුණු නිවුන් සහෝදරයන් ද අපට ඇතුවත් නැතුවත් බැරිය. ප්‍රවේශමෙන් පරිභෝජනය තුළින් ඔබ රෝගවලින් ආරක්ෂා වනු ඇත.

 

 

මාතර මාකඳුරේ

වෛද්‍ය ඒ. සූරියබණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.