කෝවිඩ් තාමත් ඉවර නෑ

මැයි 6, 2022

 

චීනයේ ප්‍රාන්ත කිහිපයක් වහලා

නවතම ප්‍රභේදයක් යළිත් චීනයේ

අපේ රටටත් බලපෑම වැඩියි

 

චීනයේ ෂැංහයි නුවර හා බීජිං නුවර කෝවිඩ් 19 වෛරසය යළිත් ව්‍යාප්තව ඇති බවත් මේ වන විට චීනයට අත්වන මේ අවදානම් ඉරණම වළක්වා ගැනීම සඳහා කෝවිඩ් පැතිරීම වළක්වා ගැනීමට දැඩි පියවර ගෙන ඇති බවත් විදෙස් පුවත් වාර්තා කරනු ලබනවා.

 

එනිසා අර්ධ වශයෙන් මෙම නගර අගුලු දැමීමත් මහා පරිමාණයෙන් පී.සී.ආර් කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීමටත් චීනය දැන් කටයුතු කර තිබෙනවා. චීනයේ පැතිරී යන මේ නව කෝවිඩ් රැල්ල හා භයානක නව ප්‍රභේදය පිළිබඳ මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති මේ නව කෝවිඩ් ප්‍රභේදය පෙර පැවැති කෝවිඩ් ප්‍රභේදයට වඩා භයානක බවයි පැවසෙන්නේ. මිලයන 25ක පමණ ජනතාවක් වෙසෙන මෙම ෂැංහයි නුවර වසර දෙකකට ආසන්න කාලයක් තුළ ප්‍රථම වතාවට චීනයේ කෝවිඩ් මරණ සංඛ්‍යාව දෛනික පදනමින් ඉහළ යමින් පවතී. පසුගිය අප්‍රේල් 17 සිට, කෝවිඩ් ආශ්‍රිත මරණ 51ක් වාර්තා කර ඇත.

මෙම තත්ත්වය සුළු ලෙස තැකිය නොහැක. මේ වන විට අපේ රට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබු‍ණ ද ශ්‍රී ලංකාවේ අපට ද මේ නව කොරෝනා වෛරසය ප්‍රභේදයෙන් දැඩි බලපෑමක් සිදුවන්නට ඇති ඉඩකඩ වැඩිය. තැන තැන රංචු ගැසීම් අරගල රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින්නේ කොරෝනා වෛරසයේ බලපෑමෙන් ඇති වූ බැරෑරුම් තත්ත්වය අමතක කර දමමිනි. කොරෝනා වෛරසය සඳහා සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි පවත්වා ගැනීම අතීශය වැදගත් ය.

කොරෝනා වෛරසය

කොරෝනා වෛරසය යනු ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන බෝවන වෛරසයකි. මෙම අතිභයානක කෝවිඩ් දහනවය වෛරසය අපේ සිරුරට ඇතුළු වන්නේ ශ්වසන මාර්ගය ඔස්සේ සහ ස්පර්ශ මාර්ගයෙනි.

කොරෝනා වෛරසයේ භයානකකම වන්නේ, වෛරසය ශරීරගත වුවත් සමහරුන්ට එය මතු නොකොට ශරීරයේ පැවතීමයි. කොරෝනා වෛරසය ශරීර ගත වන්නන්ගෙන් සියයට පනහකට, හැටකට පමණ දෙනාට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.

කොරෝනා පැතිරීම

මේ වන විට අප රටේ ද මේ කෝවිඩ් දහනවය වෛරසය පැතිරයාම අඩුවෙමින් පවතී. එහෙත් රට පුරා කොහෙන් හෝ එක්කෙනා දෙන්නා තවමත් සොයා ගැනීමට හැකිවී තිබේ. එය හොඳ තත්ත්වයක් නොවේ. මේ වෛරසය ඇඳුමින් පැළඳුමින් බඩුබාහිරාදියෙන් මෙන්ම මුදල් අත පත ගෑමෙන් ද පැතිරයා හැකි බව පෙන්වා දී ඇත. දූෂිත වූ පරිසරයේ හමන සුළඟට ඕනෑම අවස්ථාවක කෝවිඩ් දහනවය රෝගය පතුරුවා හරින්නට හැකියාව පවතී. මේ භයානක තත්ත්වයෙන් මිදීමට මුඛවාඩම් පැලඳීමටත් නිතරම අත් සෝදා පිරිසුදු කර ගැනීමත් වැදගත්ය. මේ වෛරසය වැඩියෙන් බලපෑම් කරන්නේ සමාජයේ කණ්ඩායම් ගැසී කථා බස්කර කර සිටින අයට මෙන්ම දුරස්ථභාවය ගැන නොතකා සිටිමින් මුඛවාඩම් නොදමා සිටින අයටය.

ප්‍රතිකාර හා ආහාරපාන

මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා නොගත් මෙම රෝගයෙන් ගැලවීමට ඇති මඟ වන්නේ හැකිතාක් දුරට ප්‍රවේසම් වීමෙන් හා ප්‍රතිශක්තිය වඩන ආහාරපාන ගැනීම පමණි. බොහෝදුරට ශීත කළ ආහාර පානවලින් වැළකීම හොඳම ප්‍රතිකාරයයි. යහපත් ශ්වසන පුරුදු නිරන්තරයෙන්ම අනුගමනය කිරීමෙන් රෝගය වළක්වාගත හැකියි. ඕනෑම වෛරසයක් ශරීරගත වීමෙන් මිදීමට ශරීර ප්‍රතිශක්තිය තිබිය යුතුය. එය හොඳ තත්ත්වයක තබා ගැනීම අවශ්‍යම වේ. ඒ සඳහා පෝෂ්‍යදායි සමබර ආහාර වේලක් ගත යුතු වේ. එය තුන්වේලටම ගැනීම නීරෝගිතාවයට බෙහෙවින් උපකාරී වේ.

ගතයුතු පානවර්ග

එමෙන්ම ශරීරයේ විජලනතාවය ඇති නොවීමට නිතර නිතර පාන වර්ග ද ගත යුතුය. නිතර නිතර උණුකරන ලද ජලය පානය කිරීමටත් ලුණු මිශ්‍රකරන ලද ජලයෙන් හා දෙහි මිශ්‍ර කරන ලද උණු ජලයෙන් උගුර සේදීමත් කහ ස්වල්පයක් උණු ජලයට යොදා උගුර සේදීමත් වඩාත්ම සුදුසුය. ශරීරයට ඇතුළුවන වෛරස උගුරේ රැඳී සිට ශ්වසන මාර්ගයට යන බැවින් මේ තුළින් ඒවා බොහෝදුරට වැළකේ.

විෂබීජ නාශක ආහාර

ප්‍රබල විෂබීජ නාශකයක් වන කහ ආහාර ද්‍රව්‍ය සකස් කිරීමේ දී යොදාගත හැකිය. එය කිරි හොද්දට, පරිප්පුවලට, එළවළුවලට ආදී සෑම ආහාරයකට යොදාගත හැකිය. වාතය සමනය කිරීමේ ගුණදායක ඖෂධයක් වන කහ ශරීර ප්‍රතිශක්තියට මෙන්ම අක්මා රෝගීන්ට ද ගුණදායකය. සුදුලූනු ව්‍යාංජනයක් ලෙසත් ව්‍යාංජන රසවත් කිරීමට ගන්නා කුළුබඩුවක් ලෙසත් සිරුරට අවශ්‍ය ඛනිජ රාශියක්ම ඇත. ශරීරය තුළ පවතින විෂ ගතිය ද ඉවත් කිරීමේ හැකියාවක් ඇති සුදුලූනු මතක ශක්තිය වැඩි කිරීමටත් ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් හැකියාවක් ඇත. රතුලූනුවල සිරුරේ ප්‍රතිශක්තිය වැඩිකරීමේ බලයක් පවතී. ශක්තිය ප්‍රෝටීන් මේද, ඛනිජ,කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්,පොටෑසියම්, සෝඩියම්, සෙලනියම් වැනි පෝෂ්‍යපදාර්ථ බහුලව අඩංගු වේ. ස්වල්ප වශයෙන් පවතින විටමින් බී, ඒ සහ සී ද අඩංගු වේ. ශීත රටක ශීත කාලයට ඔරොත්තු දෙන කොරෝනා වෛරසය ගැන දැනුවත්ව කටයුතු කිරීමෙන් එය වළක්වා ගත හැකිය. සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිශක්තිය සවිමත් නම් බියවිය යුතු නැත. අපි ආහාරයට එක්කරන කුළුබඩුවල ප්‍රතිශක්තිය ඉහළ නංවන විශේෂ ගුණයක් පවතී. පැණි රසයෙන් යුත් පලතුරුවලින් ද සිදුවන්නේ ප්‍රතිශක්තිය ඇති කිරීමයි. දෙළුම් ඇට, ගස්ලබු, ගෝවා, ධාන්‍යවර්ග වැනි තන්තු ආහාර, ආහාර පිසීමේ දී අධික ලෙස තැම්බීමෙන් ප්‍රතිශක්ති ගුණය අඩු වේ.

තල, කුරක්කන්, මුරුංගා, උඳු, ගස්ලබු , ඇපල් ආදී එළවළු පලතුරු ද ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට ක්‍රියා කරයි.

 

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්.පී. රාජපුර

සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.