ගිනිගත් මිනිස් සිත් සුවපත් කරන ගම්මඩු දෙවොල

මැයි 20, 2022

අප පරිණාම ධර්මය සමඟ බැඳී සිටින බැවින් මිනිස් වර්ගයා දිනෙන් දින නව ලොවක් කරා දියුණුව සොයා යා යුතුව ඇත. එය සාධාරණීයයි. එහෙත් එම ගමන පූර්වාදර්ශයෙන් තොරව තම අනන්‍යතාවය අමතක කොට යා යුතු නැත. එසේ ගියහොත් ඉන් ලැබෙන පලවිපාක එතරම් සුබදායක නොවනු ඇත. එබැවින් කාලාන්තරයක් තිස්සේ පැවත එන අප සංස්කෘතික ඇවතුම් පැවතුම් අමතක කොට නවීන විද්‍යාවේ පමණක් එල්බගෙන අගමුල නොදැන ගියහොත් අප වැටෙනුයේ අවපාතයකට ය. අප සතු පැරණි ආකල්ප ක්‍රියාදාමයන් පවත්නේ දීර්ඝකාලීනව ලද අත්දැකීම් මත මිස අද මෙන් මාසයක් දෙකක් තුළ කරන ලද පරීක්ෂණවල නොවේ.

එබැවින් පැරණි වූ පළියට යමක් ඉවත නොදමා ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. අප මෙසේ පවසනුයේ මිනිස් මනසට සහනයක් ලබා දෙන, මනස සුවපත් කර යහමගට යොමු කරන, බලි තොවිල් යාග හෝම වැනි ගුප්ත විද්‍යාත්මක දෙය දෙස වපර ඇසින් බලා අවතක්සේරු කිරීමට වර්තමාන සමාජය යොමු ව ඇති බැවිනි. එනිසා ඒ ගැන යමක් පැවසිය යුතුව ඇති බැවිනි. අපගේ ආදිවාසීන්( වැදි ජනයා නොව) මෙම ගුප්ත විද්‍යාත්මක නිගමනයන්ට එළඹ ඇත්තේ අද මෙන් විද්‍යාත්මක කාරක භාණ්ඩ මත නොව මිනිස් මනස මුල් කරගෙනය. අධිමානසික බලය මතය. එවන් වූ අගනා ක්ෂේත්‍රයක් අවතක්සේරුවට ලක් කරමින් හෙළා දකිනුයේ ඒ අංශය පිළිබඳ අබමල් රේණුවකිවත් දැනුවත්ව නොවේ. බලි, තොවිල්, යාග හෝම රැකගැනීම සඳහා කිසිදු ක්‍රියා මාර්ගයක් ද ගෙන නැත. එබැවින් වසර දහස් ගණනක් පැවති එම ගුප්ත විද්‍යාව සහ ඒ හාබැඳී ඇති කලාත්මක බව අද වියැකී යන්නේය.

පවිත්‍රත්වයේ ඳෙවඟන

ඒ පිළිබඳව යමක් විමසා බැලීමට අදහස් කළෙමු. මෙහිලා වැදගත්ම ශාන්තිකර්මයකි ගම්මඩුව. ජනතාවගේ පොදු සහභාගිත්වයෙන් සිදු කෙරෙන ගම්මඩු, දෙවොල් මඩු ආදී ශාන්ති කර්ම තුළින් ලැබෙන මානසික සුවතාව, සහනය වර්තමාන මනෝ විද්‍යාව තුළින් ලැබෙනු ඇතැයි කිසිසේත් නොසිතේ. අපේ මෙම පැරැණි යාග හෝම තුළින් යම් යම් ස්වභාවික බලවේගයන් මිනිස් සිතට ඇතුළු වී මානසික සුවයක් සැනසිල්ලක් ලබාදේ. වර්තමානයේ කලබලකාරී අසහනකාරී වටපිටාවකට යටව ජීවත්වන මිනිස් සිතට තාවකාලිකව හෝ සන්සුන් බවක් ලැබීම ඉතාම වැදගත්ය. අප විමසීමට ලක් කරන ගම්මඩු ශාන්තිකර්මය අපේ ඉතිහාසයට මෙන්ම භාරත දේශය හා සම්බන්ධය. මෙම ශාන්තිකර්මයට මූලික වන්නේ පත්තිනි දේවියයි. දකුණු ඉන්දියාවේ උපත ලද පත්තිනි දේවිය පවිත්‍රත්වයේ දෙවඟන ලෙස ද පතිවෘත්තාව සංකේතය ලෙස ද සැලකෙන පූජනීය කාන්තාවකි. තම සළඹ පිළිබඳ ප්‍රශ්නයක දී මධුරාපුර ගිනි තැබීමට පවා ඇයට හැකිවිය. මලෙන්, අඹෙන්, ගින්නෙන්, පිණිබිඳුවෙන්, ආදී වශයෙන් ඈ සත් වරක් උපත ලබා ඇත. මෙසේ භාරතයේ උපත ලදුව එහි වූ අයහපත් විෂමතාවයන් නිසාවෙන් සමීප දිවයින වූ ශ්‍රී ලංකාවට ඇය පැමිණ ඇත. එසේ පැමිණි ඇය වාස භූමිය ලෙස තෝරාගෙන ඇත්තේ කැලණි ගඟ අසබඩ වූ නවගමුව ප්‍රදේශයයි. එම ප්‍රදේශයේ ජනතාව ඇය ඉමහත් භක්තියෙන් යුතු ව පිළිගත් අතර පත්තිනි දේවියගේ ගුණ ප්‍රදේශය පුරා ව්‍යාප්ත විය. ක්‍රම ක්‍රමයෙන් මෙරට ජනතාවගේ ජන ජීවිතය හා බැඳුණු පත්තිනි දේවිය ඇදහීම ස්ථාවර වූයේ එතරම් බලයක් මෙම කාන්තාව හා සම්බන්ධව තිබුණු බැවිනි. මෙරට ව්‍යාප්ත වූ කිරි අම්මාවරුන්ගේ දානය (කිරි දානය) නම් ශාන්ති කර්මය ද පත්තිනි දේවිය මුල් කරගෙන ආරම්භ වූවකි. සෙත් ශාන්තිය ආශිර්වාද ලබා දෙන ගම්මඩු ශාන්තිකර්මය ප්‍රභවය වූයේ ම පත්තිනි දේවිය මුල් කොටගෙනය. එමෙන්ම එම යාතුකර්මය ගාල්ල මාතර ප්‍රදේශවල ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගියේය. එහි සත්‍යතාවයක් යහපතක් පිළිබඳ සංකල්පය සැබෑ බවට පත්වත්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම ගම්මඩු මංගල්‍යය ස්ථාපිත විය. මුල් අවධියේ ගම්මඩුව නම භාවිතයට ගැනුණේ ගම්වාසීන් රාශියක් එක්ව මෙම යාගය පැවැත් වූ බැවිණි. පසුව පුනාමඩුව, දෙවොල්මඩුව වැනි නාමයන් භාවිතයට ගෙන ඇත. විශේෂයෙන්ම දෙවොල්මඩුව යන්න මේ වන විටත් භාවිතයට ගෙන ඇත්තේ සාධාරණ හේතු ඇතිවය. ඒ පසුකාලීනව දෙවොල් දෙවියන්ට ගම්මඩුවේ වැදගත් තැනක් හිමි වූ බැවිණි. එම පුරාවෘත්තය ද වැදගත්ය.

දෙවොල් දෙවියන්

භාරතයේ ස්වර්ණකුදුප්පර නුවර (දකුණු ඉන්දියාවේ) ස්වර්ණසිංහ නම් රජෙක් විය. ඔහුගේ පුතුන් හත් දෙනකු එරටින් පිටුවහල් කර ඇත. පිටුවහල් කරනු ලැබූ ඔවුන් සමුද්‍රයාත්‍රාවේ හි යෙදෙන විට අහම්බෙන් හැමූ සුළි කුණාටුවකට හසු විණි. ඒ අවස්ථාව වන විට ඔවුන් සිටියේ ශ්‍රී ලංකාවට සමීප මුහුදේ බැවින් තමන්ට මෙරටට ගොඩ බැසීමට සුදුසු ස්ථානයක් ගැන විමසිලිමත් වෙමින් ඒ ඒ ස්ථාන කරා ගොස් ඇත. එහෙත් එවකට මෙරට බලවත්ව සිටි පත්තිනි දේවිය ඔවුනට ගොඩබැසීමට ඉඩ දුන්නේම නැත. අවසානයේ දකුණේ ජන ශුන්‍ය ප්‍රදේශයක් වූ වේරගොඩට සමීපවීමට ඔවුහු සූදානම් වූහ. ඒ බව දුටු පත්තිනි දේවිය ඒ අසල ගිනි කඳු හතක් මවමින් එයට ද බාධා කළාය. කුමාරවරු පසු බැස්සේ නැත. ඔවුහු ගිනිකඳු පාගා විනාශ කළහ. අවසානයේ ඒ අසල වූ සීනිගම නම් ප්‍රදේශය සිය වාසස්ථානය කරගත්හ. මෙම කාර්යයෙහි ලා ප්‍රමුඛ වූයේ දෙවොල් සාමි නම් පුද්ලගයෙකි. පසුව ඔහු දෙවොල් දෙවියන් බවට පිළිගැණිනි. එමෙන්ම ප්‍රදේශවාසීහු ඔහුගේ දක්ෂතා සහ වීර්යය හා හපන්කම් අගය කරමින් ඔහු දේවත්වයෙන් පිළිගත් බව සඳහන්ය. මේ දෙවියන්ගේ විශේෂත්වය නම් වරදකරුවන්ට දඬුවම් ලබාදීම තම කාර්යය ලෙස ක්‍රියාත්මක කිරීමයි. එබැවින් ජනතාව තමන්ට වරද කළ අයගෙන් පළිගැනීම සඳහා සීනිගම දේවාලයට ගොස් කන්නලව් කරයි. කාලයක් ගතවන විට මෙම දෙවොල් දෙවියන්ගේ බලය ඉක්මනින් ව්‍යාප්ත විය. පත්තිනි දේවියටත් වඩා වැදගත් තැනක් ඔහුට හිමිවිය. ඒ සමඟම කතරගම දෙවියන්ගේ සම්බන්ධයක් ද ඇතිවිය. පත්තිනි ඇදහිල්ලේ දී මෙම දෙවිවරුන් දෙපළ ද ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇත. ඒ අනුව ශාන්තිකර්මය සඳහා මඩුව තැනීමේ දී එහි ඇතුළත තොරණ පත්තිනි දේවියට බැඳෙන අතර දෙවොල් දෙවියන් හා කතරගම දෙවියන් සඳහා පිටත තොරණ් දෙකක් බැඳේ.

ශීලා වික්‍රමසේකර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.