දරුවන්ගේ කායික මානසික හා බුද්ධි වර්ධනයට බලපාන පෝෂණීය ආහාර

සැප්තැම්බර් 9, 2022

 

මේ දිනවල කිරි, බිත්තර, මස්, මාළු මිලෙන් ඉහළය. එනිසා පෝෂණීය ආහාර වේලක් සැමදෙනාටම ලබා ගැනීමට නොහැකිය. කිරි, බිත්තර, මස්,මාළු මඟින් ලැබෙන යකඩ හා ප්‍රෝටීන් - එළවළු, පලතුරු හා පලාවර්ගවලින් ලබා ගත නොහැකිද? මේ ඒ පිළිබඳව ලියැවෙන ලිපියකි.

 

පෝෂණ ඌනතාවයක් ඇතිවන්නේ යකඩ බහුල ආහාර ප්‍රමාණවත්ව නොලැබීමෙනි.

එමෙන්ම විටමින් සී අවශ්‍යතාවය ද බොහෝ ය. එය සපුරාලීමට නම් විටමින් සී අඩංගු හා යකඩ අඩංගු ආහාර වන එළවළු හා පලතුරු මෙන්ම පලාවර්ග ද ආහාරයට යුතු ය. වර්තමාන සමාජයේ වැඩි දෙනෙක් එළවළු පලතුරු පලාවර්ග අඩුකර බත් හා ක්ෂණික කෑමට පුරුදුව සිටිති. ඉන් ශරීරයට අවශ්‍යවන පෝෂණයක් ලැබෙන්නේ නැත. මේ නිසා දරුවන්ට ද පෝෂණයෙන් යුත් ආහාර වේලක් ලැබෙන්නේ නැත. මේ තත්ත්වය නිසා ඇතිවන යකඩ ඌනතාවයෙන් ඇතිවන නීරක්තිය ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

 

විශේෂයෙන් වැඩිහිටියන් යෞවනයන්ට වඩා දරුවන්ට ඇතිවන මන්දපෝෂණය නිසා ඔවුන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට එය බලපායි. මේ නිසා දරුවන්ට ඇතිවිය හැකි යකඩ ඌනතාවය ගැන දෙමාපිය වැඩිහිටියන් සැලකිලිමත් විය යුතුය. දරුවකු වැඩෙන අවස්ථාවේදී ශරීරයට යකඩ අවශ්‍යතාවය බෙහෙවින් පවතී. වැඩිහිටියෙකුට වුවද යකඩ ඌනතාවයෙන් පෙළෙන විට ප්‍රධාන වශයෙන් කායික ක්‍රියාවලියට බාධා පැමිණේ. ඉතා ඉක්මනින්ම වෙහෙසට පත්වේ. අලස බවෙන් කාලය ගත කෙරේ. වෙන්වී සමාජයට නොඒමේ ගතියක් පවතී. මතකශක්තිය ද අඩුවීමෙන් ගෙදරදොර ප්‍රශ්න ඇති කෙරේ. අනෙකුත් අයට ද මේ තත්ත්වය පැවතිය හැකි ය. බොහෝ විට යකඩ බහුල ආහාරවන මස්, මාළු, එළවළු ආහාරයට ගැනීම අඩුවීමෙන් ද නීරක්තියට පත්වේ.

ශාරීරික හා මානසික වර්ධනය ඇතිවීමට ආහාරය බෙහෙවින් උපකාරී වේ. ශරීරයට අවශ්‍ය යකඩ නොලැබුණහොත් රෝගාබාධ වැළඳීමේ හා ක්‍රියාශීලිත්වයෙන් කටයුතු කිරීමේ හැකියාවද නොමැති වේ. ශරීර ශක්තිය ද දුර්වල වන අතර හිසරදය, හිස කැරකැවිල්ල, හතිය, තෙහෙට්ටු ගතිය මෙන්ම පඩිපේළියක් නැඟීමේදී මෙන්ම උස් බිමකට නැඟීමේ දී පවා දැඩි වෙහෙසගතියක් ඇතිවේ. මේ තත්ත්වයෙන් වැළකීමට නම් ආහාරයට යකඩ බහුල මස්, මාළු ලබාදිය යුතුය. නමුත් මේ දිනවල පවතින අධික මිල නිසා ඒවා පරිභෝජනය අඩුව පවතී. මේ නිසා මේ පෝෂණය ලබා ගැනීමට

කොළපාට පලාවර්ග සාරණ, මුරුංගා කොළ, කතුරුමුංගා කොළ, තම්පලා, නිවිති ආහාරයට දියයුතුය. සාරණවල ග්‍රෑම් සියයක යකඩ මිලිග්‍රෑම් 38.5 ද නිවිතිවල යකඩ මිලිග්‍රෑම් 10 කතුරුමුරුංගා කොළවල යකඩ මිලිග්‍රෑම් 7.0 ගොටුකොළවල යකඩ මිලිග්‍රෑම් 68.8 කංකුංවල යකඩ මිලිග්‍රෑම් 3.7 මුකුණුවැන්නවල යකඩ මිලිග්‍රෑම් 16.7 ඇත. ඊට අමතරව දෙහිවල යකඩ මිලිග්‍රෑම් 2.3 ද පිපිඤ්ඤාවල යකඩ මිලිග්‍රෑම් 1.5 ද වේ.

වෙළෙඳ පොළෙහි සොයාගැනීමට තරමක් අපහසු ලුණුවිල ප්‍රබල ඖෂධීය එළවළුවකි. ධාරණ ශක්තිය හා ස්මරණ ශක්තිය වර්ධනය කිරීමේ තත්ත්වයක් ලුණුවිලවල ඇත. එබැවින් දරුවන්ට කුඩා අවධියේ සිටම ලුණුවිල ලබාදීම ගුණදායකය. ලුණුවිල ආහාරයට ගැනීමෙන් ස්නායු ශක්තිමත් කරවයි. මතක තබාගැනීමේ ශක්තිය ඇති කරලයි. ආහාර රුචිය ඇති කරයි. රුධිරය පිරිසුදු කරයි. දහඩිය පිටකරන අතර සම පැහැපත් කරයි. කතුරුමුරුංගා කොළයේ දුර්වලතා මෙන්ම ඇස්වල දුර්වලතා නසන අතර ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට හා බුද්ධි වර්ධනයට ද හේතුවේ. කැල්සියම් කතුරුමුරුංගා මස් මාළු අඩුව පිරිමහන ප්‍රබල ඖෂධයකි. ප්‍රතිශ්‍යාවටත්, පීනසටත් ගුණදායකය. මුරුංගා කොළ මැල්ලුම දරුවන්ගේ අස්ථි වර්ධනයට මාංශ පේශි වර්ධනයට හා අවශ්‍ය ප්‍රෝටීන් ලබාදීමට හැකියාව පවතී. විටමින් ඒ, විටමින් බී, විටමින් බී2, විටමින් බී3 හා විටමින් සී යන පදාර්ථ අන්තර්ගතය. මුරුංගා කොළ ග්‍රෑම් සියයක පෝෂණීය තත්ත්වය ශක්තිය කිලෝ කැලරි හැට හතරක් ප්‍රෝටීන් ග්‍රෑම් නමයක් ද ජලය ග්‍රෑම් හැත්තෑ අටක් ද මැග්නීසියම් මිලිග්‍රෑම් එකසිය හතළිස් හතක් ද පොටෑසියම් මිලිග්‍රෑම් තුන්සිය තිස් හතක් ද විටමින් මයික්‍රොග්‍රෑම් තුන්සිය හැට අටක් ද යකඩ මිලිග්‍රෑම් හතරක් ද පවතී. දොඩම් ගෙඩියක ඇති විටමින් සී ප්‍රමාණය මෙන්ම හත් ගුණයක් මුරුංගා කොළවල ඇත.

ශරීර සෞඛ්‍යයට බලපාන ආහාර අතර ධාන්‍ය වර්ග එළවළු හා පලතුරු ඉතා වැදගත් ය. ඛනිජ එන්සයිම විටමින් වැඩි එළවළු පිස ගැසීමේ දී විටමින් විනාශ නොවන අයුරින් පිසගත යුතුය. සලාද කොළ අමුවෙන් පිළියෙල කොට ආහාරයට ගැනීමෙන් සියලු පෝෂ්‍ය කොටස් සිරුරට ලැබේ. උදෑසන ආහාර වේලෙන් පසු පලතුරු ආහාරයට ගැනීම ඉතාම ගුණදායකය. ශරීර ශක්තිය වර්ධනය වීමට සීනි සැපයීමට පලතුරුවලට හැකියාව ඇත. විටමින් අඩංගු හොඳම ආහාරය වන්නේ ද පලතුරුය. පලතුරු කෑමෙන් ස්නායු ප්‍රබෝධමත් වේ. ජීර්ණය පහසු කරයි. ශරීර විෂ ගතිය ද නැසේ. සිරුරේ නීරෝගිකම රැක ගැනීම සඳහා මේදය, ප්‍රෝටීන්, විටමින් ආදී පෝෂණ පදාර්ථ සහිත ආහාරය අවශ්‍යමය. අස්ථි සහ පේශි ක්‍රියාකාරිත්වයට එය බෙහෙවින් අවශ්‍ය වේ. ආහාර වේලට කුඩා මාළු ලබාදීමෙන් කොලෙස්ටරෝල් අඩු කරයි. එමෙන්ම ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් කාබෝහයිට්ඩ්‍රේට් සහ විටමින් ද ලබාදෙයි. නීරෝගිතාවය රැක ගැනීමට බත් අඩුවෙන් ද එළවළු හා පලාවර්ග වැඩියෙන් ද ගත යුතු අතර කෙසෙල් වැනි පලතුරක් ගැනීම සුබදායකය.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.