ඔබටත් කොලෙස්ටරෝල් ද?

ඔක්තෝබර් 14, 2022

සිරුරේ වර්ධනයට හා ශක්තියට විවිධ සංඝටක අවශ්‍ය වේ. ඒවා සිරුරට ලැබෙන්නේ අප ගන්නා ආහාරවලිනි. එම නිසා සිරුරේ නීරෝගිතාවය උදෙසා සිරුරට ශක්තිය ගෙන දෙන ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය.

 

එහෙත් බොහෝ දෙනකු තෙල් මිශ්‍ර තෙල් බැදුම් ආහාර කෑමට වැඩි රුචිකමක් දක්වයි. මෙවැනි ආහාරවලින් සිදුවන්නේ සිරුරෙහි වැඩි මේදයක් ඇතිවීමයි. අවශ්‍ය පමණට වඩා එසේ මේදය එකතු වුණොත් අනතුරුදායක තත්ත්වයකි. තරුණ වයසේ දී මෙන්ම ගර්භණී අවස්ථාවේදීත් යම් ප්‍රමාණයකින් මේදය අවශ්‍යයි. ඒ තුළින් සිරුරට අවශ්‍ය ශක්තිය ගෙන දෙයි. බොහෝවිට කොලෙස්ටරෝල් වැඩිවීමක් දක්නට ලැබෙන්නේ ඇඟ නොවෙහෙසන රැකියාවල නිරතවන නිතර තෙල් මිශ්‍ර හා තෙල්බැදුම්වලටත් මස්වලට ලැදි බවක් දක්වන අයටයි. කොලෙස්ටරෝල් වැඩි වුණාම සුළු වැඩක වුවද නිරත වූ විට දැඩි මහන්සියක් ඇති වේ. ඇඟපත වේදනාවට පත්වේ. අත් පා හිරිගතියක් ඇතිවේ. අත්වලට ඉදිකටුවකින් අනිනවා මෙන් දැනේ. හති ගතියක් මෙන්ම දණහිස්වල වේදනාවක් ඇති වේ.

වෙනත් රෝග මෙන්ම අධිරුධිර පීඩනය ද හටගනී. මෙවැනි රෝග ලක්ෂණ ඇතිවීම කොලෙස්ටරෝල් තත්ත්වය ඉහළයෑමෙන් ඇතිවන රෝගී තත්ත්වයන් බව දැක්විය හැකිය. එබැවින් අතපසු නොකර රුධිර පරීක්ෂණයක් කරවා කොලෙස්ටරෝල් තත්ත්වය ගැන දැන ගැනීම වඩාත්ම සුදුසු ය.

සාමාන්‍යයෙන් අවුරුදු තිස්පහකට වැඩි අය මාස හයකට වරක් හෝ අඩුම තරමින් වසරකට වරක් හෝ රුධිර පරීක්ෂණයක් කරවා තම නීරෝගිතාවය ගැන දැනුවත් විය යුතු ය. විවිධ අහිතකර ක්‍රියාකාරකම් නිසා ඇතිවන කොලෙස්ටරෝල් තත්ත්වය මැනවින් තේරුම්ගෙන ක්‍රියා කිරීමෙන් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගත හැකි ය. කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන එල්.ඩී.එල්. මට්ටම ඉහළයෑමෙන් සිදුවන්නේ රුධිරය ගමන් කරන නාලවල බිත්ති අභ්‍යන්තරයේ මෙම කොලෙස්ටරෝල් බැඳීමයි. එය සිදුවන්නේ එක්වර නොව ටිකෙන් ටිකයි. එසේ එකතුවන කොලෙස්ටරෝල් නිසා මෙම ධමනි බිත්ති මහත්වී ධමනි බිත්ති කුහර පටුවීම නිසා රුධිරය ගමන් කරන ප්‍රමාණය අඩු නොවී එහි පීඩනය ද වැඩිවේ. මෙය රුධිර පීඩනය ඇතිවීමට ද හේතුවකි. ධමනි බිත්ති කුහරවලින් රුධිරය ගමන් කරන විට රුධිරයේ පවතින ලේ කැටියක් නාලයක සිර වුවහොත් බොහෝ අවදානම් තත්ත්වයකට පත්වේ. යම් හෙයකින් ලේ කැටියක් සිරවීමෙන් සිදුවන්නේ රුධිරය සපයන නාලය සිරවීම නිසා අදාළ මාංශ පේශීන්ට හා ඉන්ද්‍රියයන්ට රුධිරය සැපයීම අඩාල වීමයි. මේ නිසා එම ඉන්ද්‍රියේ ක්‍රියාකාරීත්වයට බාධා වීම නිසා ඉන්ද්‍රියේ කටයුතු නවතී.

මෙලෙස අක්‍රිය වූයේ හෘදය වස්තුවට රුධිරය සපයන නාලයක් නම් ඉන් භයානක තත්ත්වයක් ඇති වේ. එනම් හෘදයාබාධයක් ඇතිවීමයි. මෙලෙස රුධිරය සැපයුමට බාධා වූයේ මොළයට රුධිරය සපයන නාලයක් නම් මොළයේ ශෛල අඩපණ වී ආඝාත තත්ත්වයක් ඇතිවිය හැකි ය. මේ නිසා සිදුවන්නේ කොලෙස්ටරෝල් තත්ත්වය ඉහළයෑම භයානක තත්ත්වයකට පත්වීමයි. කොලෙස්ටරෝල් තත්ත්වය අඩුකර ගත හොත් එය නීරෝගිතාවයට හේතුවකි. ඒ සඳහා කළ යුතු ගත යුතු ක්‍රියාකාරකම් රැසකි. විශේෂයෙන් වයස තිස්පහ පසුවීමත් සමඟ සියලුම සත්ව ආහාර ආහාරයට ගැනීම නිතර කළ යුතු ය. මස් වර්ග නොව මාළු වර්ග ඉතාම සුදුසුය. මින් වඩාත්ම ගුණදායක වන්නේ කුඩා මාළු වන සාලයා, හුරුල්ලා වැනි මාළුන් ය. ඉස්සන්, පොකිරිස්සන් වැනි මාළු ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි වේ. කොලෙස්ටරෝල් සියයට හැටපහක පමණ ප්‍රමාණයක් ශරීරයේ වටිනා ඉන්ද්‍රියක් වන අක්මාව මඟින් නිපදවයි. ඉතිරි තිස්පහක පමණ ප්‍රමාණය අප ගන්නා ආහාර මඟින් එකතු වේ. එබැවින් ශරීරය තුළ කොපමණ කොලෙස්ටරෝල් ඇද්දැයි දැනගත හැකි වන්නේ රුධිර පරීක්ෂණයක් කරවා ගැනීමෙනුයි.

රුධිර පරීක්ෂණයට යෑමට පෙර පැය දාහතරක් ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු ය. එසේ සිට කරනු ලබන රුධිර පරීක්ෂණයෙන් කොලෙස්ටරෝල් තත්ත්වය දැනගත හැකිය. නීරෝගි අයකුගේ එච්.ඩී.අයි අගය තිස්පහකට වැඩි විය යුතු ය. මෙහිදී රුධිරය කාණ්ඩ තුනකින් පරීක්ෂා කෙරේ. මෙහිදී ශරීරයට වඩාත්ම වැදගත් වන්නේ අධිඝනත්ව වර්ගයේ ලිතෝ ප්‍රෝටීන් ය. එච්.ඩී.එල් අගය ද එකසිය හැට නොඉක්මවිය යුතු ය. එයට හේතුව එය ශරීරයට අහිතකර වන බැවිනි. අප එදිනෙදා ගන්නා ආහාරවල කොලෙස්ටරෝල් ජීර්ණය වීමෙන් පසුව රුධිරයට එක්වේ. පසුව එය ක්‍රම ක්‍රමයෙන් ශරීරය තුළ පිහිටි රුධිර නාලවල ඇතුළත බිත්තිවල තැන්පත් වේ. රුධිරයේ කොලෙස්ටරෝල් ඇතිවීම ගැන වැඩිහිටියන් වඩාත්ම ප්‍රවේසම් විය යුතුය. වයස තිහ හතළිහ වූ විට මස් බිත්තර කිරි යන ආහාර හැකිතාක් අඩුවෙන් ගත යුතු ය. මාළු ආහාරයට ගැනීමේ කිසිදු වරදක් නැත. මස් අතරින් කුකුළු මස් එතරම් අගුණ නැත. මේද කොටස් වඩාත්ම ඇත්තේ මී කිරිවලය. කිරිවලින් නිපදවනු ලබන මුදවපු කිරි, යෝගට්, කිරි, බටර්වල ද මේදය වැඩියෙන් පවතී.

බිත්තරවල මේදය පවතින්නේ කහමදයෙහිය. සුදුමදයේ බොහෝදුරට මේදය අඩුය. තෙල් වර්ග යෙදූ ආහාර ගැනීමෙන් ද වැළකිය යුතු ය. පොල්තෙල් හා ෆාම්තෙල්වල එය අඩංගුය. මෙම තෙල් සංතෘප්ත වේ. සංතෘප්ත තෙල් සීතලට මිදේ. එදිනෙදා පහසුවටත් ලෙහෙසියටත් කෑමට ගන්නා පාන්වල සැලකිය යුතු ප්‍රමාණයක් මේද ඇත. කට්ලට්, පැටිස් හා රෝල්ස් වැනි රසකාරක කෑමවල මේදය අධිකය. කේක් සහ පුඩින්වලත් මේදය අධික වන්නේ ඒවාට බිත්තර, කිරි හා තෙල් එක්කර ඇති බැවිනි. පලතුරු සෑම එකක්ම අධික ගුණයෙන් යුක්තය. ඉන් හෘදයාබාධ පවා අඩු වේ. කෙඳි සහිත පලතුරු වඩාත්ම ගුණදායකය. ආනමාලු කෙසෙල්වල මේදය අධිකව ඇත. මුං, කවුපි, සෝයා, පරිප්පු, මෑ, කඩල ඉතාම ගුණදායකය. මැල්ලුම් කොළ වර්ග ප්‍රබල ඖෂධයක්ය. කෝපි පානය හෘදය වස්තුවට එතරම් ගුණදායක නොවේ. කොලෙස්ටරෝල් ඇති බව සනාථ වී ඇත්නම් කෑමෙන් බීමෙන් ප්‍රවේසම විය යුතු ය.

වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අතරම කරපිංචා කොළ කැඳ පානය කිරීම, කරපිංචා කොළ මැල්ලුම ආහාරයට ගැනීම, කොල්ලු තම්බා බීම, සත්ව තෙල් අඩංගු හරක් මස්, ඌරු මස්, එළුමස් ආහාරයට ගැනීමෙන් වැළකීම තෙම්පරාදු කරන ලද ආහාරවලින් වැළකී සිටීම ද ව්‍යායාම්වල නොයෙදීම, ශරීරය වෙහෙස කරන ක්‍රියාකාරකම්වල යෙදීමත් මේදය වැඩිවීමට හේතු වේ. කැරට්, තුඹ, දඹල, ඇබරැල්ලා, අළු කෙසෙල් වැනි එළවළුත්, ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා, සාරණ වැනි පලා වර්ගත් කුඩා මාළු වර්ගත් වගේම පලතුරුත් ආහාරයට ගැනීම ගුණදායකය.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන - එස්.එස්.එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.