ඔබටත් හතියද?

නොවැම්බර් 18, 2022

හතිය හෙවත් ඇදුම රෝගය ජනතාව අතර වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන රෝගයකි. කර්මාන්තශාලා බිහිවීමත් සමඟ පරිසරය දූෂණය වීමත් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වීමත් අපේ රටේ මෙම රෝගය වර්ධනය වීමට හේතු වී ඇත. කාර්මීකරණය වන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයකි, ඇදුම රෝගය. ඇදුම බෝවන රෝගයක් නොවේ. රෝගියා පීඩාවට පත් කරන දුක්බරදායක රෝගයකි.

 

ඇදුම රෝගයේදී හුස්ම පිට කිරීමට අපහසු වීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. ශ්වසන ව්‍යුහාව ආශ්‍රය කරගෙන හටගන්නා රෝගයකි. නාස් කුහරයෙන් ආරම්භ වී පෙණහලුවලදී ශාඛා උප ශාඛාවලට බෙදී වායු කෝෂවලින් කෙළවර වන ගමන් මාර්ගය ශ්වසන ව්‍යුහාවට අයත් වේ. මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝග කීපයක්ම තිබේ. එබැවින් එම රෝග වෙන් කර හඳුනා ගැනීම වැදගත් වේ.

ඇදුම රෝගය විවිධ නම්වලින් හැඳින්වේ. එනම් ඇදීම, ඊලේ, මූහරෝගය, ඉලප්පුව, ශ්වාසය, හතිය වශයෙනි.

මෙම රෝගය සඳහා නුසුදුසු ආහාර වනුයේ අධික ශීතල ආහාර ගැනීම (බණ්ඩක්කා , නිවිති, මෑ කරල්) බර ආහාර ගැනීම (මී කිරි, උඳු) රළු ආහාර ගැනීම (කුරහන්, කඩල, වැනි ධාන්‍ය) ශීත කරන ලද බීම වර්ග සහ ශීත කරන ලද ජලය පානය කිරීම

මානසික හේතු ද මේ රෝගය සඳහා බලපායි. බයවීම, ශෝකය, ආදරය, අවධානය අඩුවීම වැනි මානසික හේතු ඇදුම රෝගය ඇති අයට බලපායි.

ඇදුම රෝගයේදී ඇතිවන ප්‍රධාන ලක්ෂණ වන්නේ කැස්ස, හුස්ම පිටකිරීමට අපහසු වීම, පපුවේ බර බව, ඝන උකු කැඩී නොයන සෙම සුළු ප්‍රමාණයක් පිටවීම.

මේවාට අමතරව වෙනත් රෝග ලක්ෂණ කිහිපයක්ද අපට දක්නට ලැබේ.

වෙනත් රෝග ලක්ෂණ වන්නේ, ප්‍රතිශ්‍යාව, පපුවේ ගුරු ගුරු ශබ්දය, කෙටි හුස්ම අපහසුවෙන් ගැනීම, හුස්ම පිටකිරීම සඳහා දීර්ඝ වේලාවක් ගතකිරීම, අධික පිපාසය, රෝගියාට තමාගේ කටයුතු කරගැනීමට නොහැකිවීම, සෙම පිට වූ පසු මඳ සුවයක් දැනීම, උගුර කැසීම, කතා කරන විට අපහසු බව, නින්ද නොයෑම, ඇස් ඉදිමීම, නළලට දහදිය දැමීම, තොල කට වියළීම, විටින් විට පිබින්නාක් මෙන් හුස්ම ගැනීම නිසා සිරුර ගැස්සීම වේ.

රෝගය ඇතිවීම වළක්වා ගැනීමට පිළිපැදිය යුතු කරුණු

දුම් හා දූවිලි බැදීමෙන් වැළකීම

ගෙවල් දොරවල් අතුපතු ගෑම කරනවා නම් නාසය හා මුඛය ආවරණය කරගැනීම

සීතල දේවල් පරිහරණයෙන් වැළකීම

වායුසමනය කරන ලද කාමරවල සිටීම හා එවැනි රථවාහනවල ගමන් කිරීමෙන් වැළකීම

සීතල සුළං වැදීමෙන් වැළකීම

අවේලාවේදී නෑමෙන් වැළකීම

නිදිමැරීමෙන් වැළකීම

පිනිබෑමෙන් වැළකීම

අධිකව වෙහෙසීමෙන් වැළකීම

මල මුත්‍රා වේග දැරීමෙන් වැළකීම

මානසික පීඩාවලින් වැළකීම

ගැඹුරට හුස්ම ගැනීමට හා පිටකිරීමට පුරුදු පුහුණුවීම ආදිය මගින් රෝගය නැවත ඇතිවීම බොහෝ දුරට ඔබටම වළක්වා ගත හැකිවේ.

 

ඔබ ඇදුම රෝගියෙක් නම් මෙම ආහාර ගැනීමෙන් රෝගය ඇතිවීම හෝ වැඩිවීම සිදුවන්නේ නම් එම ආහාර ගැනීමෙන් වළකින්න

ඉස්සො, කකුළුවෝ, පොකිරිස්සෝ, බලයා ආදී මාළු වර්ග

ශීත කළ පාන වර්ග

ඌරු මස්, හරක් මස්, වැනි මස් වර්ග

ආහාරය රසවත් කරන ජෑම්, අච්චාරු, චට්නි වැනි ආහාර වර්ග

අන්නාසි, වැල්දොඩම් වැනි පලතුරු වර්ග

බණ්ඩක්කා, අළු පුහුල්, තක්කාලි, නිවිති, අර්තාපල් වැනි එළවළු වර්ග

තිරිඟු පිටි, අල වැනි පිෂ්ඨය අධික ආහාර

රෝග තත්ත්වය පාලනය කිරීම

රෝගය වැලඳීගෙන එනවිට උණුසුම් වතුර පානය කිරීම

උණු වතුර හුමාලය නාසයට ඇල්ලීම

ඉඟුරු,කොත්තමල්ලි තම්බා උණුසුම්ව පානය කිරීම

රෝගය ඇතිවිට හැකි පමණ විවේක ගැනීම

හිත පිරිසුදුව ප්‍රබෝධවත්ව තබා ගැනීම

රාත්‍රි කාලයට සැහැල්ලු ආහාරයක් ගැනීම සුදුසුය.

නිදාගැනීමට පැය භාගයකටත් පෙර රෝගියාගේ ඇඳේ ඇතිරිලි ආදිය වෙනත් අයකු විසින් ගසා පිරිසුදු කර සකස් කර තැබීම

 

ඇදුම රෝගය ඇති වීමට බලපාන හේතු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් එයට බලපාන හේතු පොදුවේ මෙසේ දැක්විය හැකිය.

ආහාර /පාරිසරික /මානසික

ඖෂධ /විහරණ /සහජ

සහජ හේතු

මවුපිය පරපුරේ අය කෙරෙහි ඇදුම රෝගය පැවති විට දරුවන්ටද ඇති වීම

විහරණ හේතු

සීතල ජලය නෑම, අධික ව්‍යායාම කිරීම, අධික වෙහෙසීම, අව්වේ සිටීම, අධික බර ඉසිලීම, මල මූත්‍රා වේග නිසි ලෙස පිට නොකිරීම

ඖෂධ හේතු

සමහර ඖෂධ වර්ග ඇතැම් අයට අසාත්මික වෙනවා නැතිනම් විස වෙනවා ඔබ දැක ඇත. හතිය ඇති වීම, ශරීරයේ පලු ඇති වීම, ශරීරය ඉදිමීම, කැසීම ආදිය ලක්ෂණ ඇතිවේ. මේ ආකාරයට ඖෂධ විෂ වීම හතිය ඇති වීමට මූලික හේතුවකි.

ආයුර්වේද ප්‍රතිකාර

බුද්ධරාජ කල්කය මදටිය ඇට ප්‍රමාණයක් ගෙන ඇඹුල් දොඩම් ඉස්මවලට මී පැණි දමා දියකර බොන්න. මෙය අවුරුදු 12 ට වැඩි අයට පමණක් දෙන්න.

ඇඹුල් දොඩම් ඉස්ම මේස හැඳි 4යි. මී පැණි මේස හැඳි 2 යි. ඉඟුරු ඉස්ම මේස හැන්දයි, සීනි මේස හැන්දයි. මිශ්‍රකර වරින්වර බොන්න. ගැබිනි මාතාවන්ට මෙය සුදුසුය.

තාලිසාදී චූර්ණය මී පැණියෙන් අනා දවසට තුන්වරක් තේ හැඳි 1 බැගින් ගන්න.

කිතෝඵලාදී චූර්ණය තේ හැඳි 1ක් මී පැණියෙන් අනා දවසට තුන් වරක් ගන්න.

රෝගය ඇති වීමට හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන බැවින් කලක් යනවිට තමාට බලපාන හේතුව තේරුම් ගැනීමට සෑම රෝගියකුටම හැකිවේ. ඒ හේතුව තමාට වළක්වා ගත හැකි එකක් නම් එයින් ඈත්වීමෙන් රෝගය බොහෝ දුරට වළක්වා ගැනීමට ඔබටම හැකියාව ලැබෙනු ඇත.

ඔබ ඇදුම රෝගියෙක් නම් මෙම ආහාර ගැනීම හිතකරය

සුප් වර්ග, ලුණු කැඳ, හිතකර එළවළු, බෝංචි, පොළොස්, වැටකොළු, පතෝල, කොහිල දලු, කොහිල අල, අර්තාපල් අල, ලීස්, ගෝවා කැකිරි, හාල්මැස්සන්, කරවල, එළබටු, කොළ කැඳ යකිනාරං කොළ කැඳ ඉතා සුදුසුය. බණ්ඩක්කා, නිවිති, තක්කාලි. සීතල දේවල් නොදා සුප් සාදා බොන්න.

 

උපදෙස්

වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.