නිවැරැදිව කිරි දානයට සූදානම් වෙමු

දෙසැම්බර් 2, 2022

පත්තිනි මෑණියන්ට බාරහාර වීම අතීතයේ සිටම පැවත ආ සිරිතකි. ඒ වෙනුවෙන් පඬුරක්‌ වෙන් කිරීමට බොහෝ මවුවරුන් කටයුතු කරනු ලබයි. ඒ අනුව තම බලාපොරොත්තුව ඉටු වූ පසුව එම බාරය නිදහස් කිරීමට පත්තිනි මෑණියන් සිහි කර කිරි අම්මාවරුන් වෙනුවෙන් දානය දීම අද බොහෝ නිවෙස්වල සිදු කරන අගනා පින්කමක් වෙනවා. මෙලෙස පත්තිනි මෑණියන් උදෙසා සිදු කරන කිරි අම්මාවරුන්ගේ දානය ඉතා පිළිවෙළට, පිරිසුදුව, පැහැදුණු සිතින් සිදු කළ යුතු දෙයකි.

 

මස් මාංස අනුභවයෙන් මෙන්ම අනවශ්‍ය කතාවෙනුත් තොරව කිරි අම්මාවරුනට පිදෙන දානය සූදානම් කිරීමට කවුරුත් වගබලා ගනිති. නමුත් ඒ කටයුතු නිවැරැදිව සිදුකිරීමට දන්නේ ස්වල්ප දෙනෙක් පමණ බව පෙනේ. කිරි අම්මාවරුන්ගේ දානයක් නිවැරැදිව සිදු කරන්නේ කෙසේද? එයට සැකසෙන කැවිලි පෙවිලි මොනවාද ඒවා සිදු කරන්නේ කෙසේද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

කිරි අම්මාවරුන්ගේ දානයට තෝරා ගත යුතු කාන්තාවන් කවුරුන්ද යන්න පෙර ලිපියක දී අප පෙන්වා දුන්නා. ඒ අනුව කිරි දානයට පෙර දින හවස ගෙහිමි කාන්තාව ඒ සඳහා තෝරා ගත් කාන්තාවන්ගේ නිවෙස්වලට ගොස් බුලත් කොළයක් පිරිනමා ආරාධනා කිරීම සිරිතයි.

 

කිරි දානයට සූදානම් වීම

 

නිවෙස සකස් කර ගනිමු

කිරි අම්මාවරුන් වගේම නිවැසියන් නිර්මාංශ වීම පළමුව සිදු කළ යුතු චාරිත්‍රයකි. ගේ සෝදා පිරිසිදු කරගන්න. සුවඳ දුම් අල්ලා නිවෙස සුවඳවත් කරන්න. දානය සඳහා අවශ්‍ය කරන ආහාර වර්ග පිළියෙල කිරීමේ දී ඉතා පිරිසිදුව ඉඳුල් නොකර එම ආහාර සකස් කිරීමද මෙහිදී සිදු විය යුතු ප්‍රධානම කරුණකි. මෙහිදී හැදි කැවුම් ඇතුළු කොකිස් වැනි කැවිලි කිරි දානයට දිනකට පෙර සකස් කිරීම වැදගත් වෙනවා. මෙම දානය සඳහා පිළිගන්වනු ලබන්නේ කිරි ආහාර වීම විශේෂ වෙනවා. දානය නොඉදුල්ව තබාගත යුතු බැවින් එහි ලුණු ඇඹුල්වත් නොබලයි. ඒ වගේම දානය පිසූ භාජන පවා වසා තබා. පිරිසුදු කළ යුතු වෙනවා.

 

කිරි අම්මාවරුන්ගේ දානයට සකස් කරන කැවිලි හා අවශ්‍ය ද්‍රව්‍ය

 

කැකුළු හාල් කිලෝ 7 ක පමණ කිරිබතක් (කිරිබත් කැට 56)

කිලෝ 2 ක කිරියා (කැබලි 56)

කැකුළු හාල් කිලෝ 2 ක හැදි කැවුම්(කැබලි 56)

කෙසෙල් ගෙඩි 56

මීට අමතරව පහත දේවල්ද සුදානම් කරගත යුතුය.

කිතුල් හකුරු කෑලි 8

පඬූරු 8 (කාසි)

බුලත් විට 8

කෙසෙල් කොළ 7

මැටිපහන් 08

කෝපි කෝප්ප 08

කපුරු පෙත්තක්‌

පහන්තිර 16 යි

අම්මාවරුන්ට පිරිකර 07 ක්

පස්මල්

කපුරු පෙති

කිරි උතුරවන්නට මුට්ටියක්

කෙසෙල් කොළ

හඳුන්කූරු

සුවඳ කුඩු

ලොකු බෑග් 7ක්

 

සාමාන්‍යයෙන් මෙම දානය සිදු කළ යුතු දිනයේ ඉර නැගීමට පෙර එනම් උදෑසන 5.00ට පෙරාතුව පටන්ගෙන කපුටන් හැඩීමට පෙර දී අවසන් කළ යුතු යැයි සැලකෙනවා. නිවෙසේ ඉදිරියට පැමිණෙන ප්‍රධාන කිරිඅම්මා සමඟ කිරි අම්මාවරු කවි තාලයට ගායනා කරමින් ඔවුන් නිවෙස ඉදිරිපසට පැමිණෙයි. නිවෙසට ගොඩ‍වන තැන දොර අසල තබා ඇති දෙහි බෑයක් සමඟ කහ මිශ්‍ර වතුර භාජනයෙන් මුවදෝවා ගෙන නිවෙසට ඇතුළුවීම කිරි අම්මාවරුන්ගේ සිරිතයි. එම අවස්ථාවේදී කට සෝදා ගැනීමට වතුර වීදුරුව බැඟින්ද ඔවුන්ට ලබා දීම චාරිත්‍රයකි. ප්‍රධාන කිරි අම්මා නි‍වෙසට ඇතුළු වන්නේ පත්තිනි සළඹ හා පත්තිනි මැණියන්ගේ පිංතූරයක් රැගෙනයි. මෙහිදී නිවෙසේ පත්තිනි යහන ප්‍රධාන කිරි අම්මා විසින්ම සාදනු ලබයි. ඒ අනුව ප්‍රධාන කිරි අම්මා පත්තිනි මෑණියන්ගේ පින්තූරයක් සහ පත්තිනි සළඹ රැගෙන පත්තිනි යහන මත තබයි. පත්තිනි මෑණියන්ට පූජාව පිළිගන්වන්නේ ප්‍රධාන කිරි අම්මා. පත්තිනි මෑණියන්ට ආරාධනා කිරීමෙන් පසුව පත්තිනි හෑල්ල හඬ නගා ගායනා කරන අතර කිරි අම්මාවරුන්ට දානය පිළිගන්වන්නට පෙර බුදුන් වහන්සේට සහ දෙවියන්ට දානය පූජා කරනු ලබයි. ඉන්පසු පිරුවටය එලූ පැදුරු මත ඔවුන්ට ඉඳගන්නට සලස්වා නිවෙසට පැමිණි අම්මාවරු ඉඳගත් පසූ පළමුව පත්තර කොළයක් ඉදිරියෙන් එලා ඉන්පසූ කෙසෙල් කොළය බැගින් බෙදා ඒ මතට කිරි ස්වල්පයක් ඉසිනු ලබයි. ඉන්පසුව දානය බෙදීම ආරම්භ කරයි.

 

දානය පි‍ළිගන්වමු

කිරිමවුවරුනට දානය පිළිගැන්වීමේදී මුලින්ම‍ කිරිබත් කැබලි හතද ඉන්පසුව කැවූම් හත බැගින් බෙදන්න. පසුව පිළිවෙළින් කිරියා කැබලි 7, කෙසෙල් ගෙඩි 7, හකුරු කැබලි 1, බූලත් විටි 1 හා පඬුරු බෙදා ගෙන යාම සිරිතයි. ඔවුන් පන්සිල් දී අනෙකුත් ආගමික කටයුතු අවසානයේ ඉෂ්ට දේවතාවා වෙනුවෙන් ආහාර කොටසක් වෙන්කරයි. ආහාර ගෙන අවසන් වන විට කිරිමවුවරුන්ට කෝපි කෝප්පයක් පිරිනමන්න. කිරි දානය අවසානයේ කැවිලි වර්ග ගෙන යෑම සඳහා උරවලට දමා ගැනීමට කිරි අම්මලාට උදව් නොකළ යුතුයි. එය කිරි අම්මාවරුන්ගේ දානයේ සිරිතකි. ඉන්පසු එළැඹෙන්නේ නිවැසියන් සඳහා කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදය ලබා දීමයි. මේ සඳහා පොල් තෙල් පහනක් පත්තු කර තැබිය යුතු අතරම එහි පහන් තිර හතක්ද තිර නිවා දැමීමට කිරි පීරිසියක්ද තැබිය යූතුය. ඉන්පසු කිරි අම්මලා දානය පිළිගෙන එක්‌ අතකින් දැල්වූ පහන් තිරයක්‌ රැගෙන ඉතා රසවත්ව මිහිරිව ගීතිකා, හා කාව්‍යයන් කියමින් යාදින්නාවන් සිදුකර සෙත් වඩති. කිරි අම්මාවරුන් පහන් තිර 7ක් පත්තු කරගෙන අදාළ අයගේ හිස වටා යවමින් සෙත් කවි ගායනා කරමින්, ආශීර්වාද කවි ගායනා කර බාරය නිදහස් කරනු ලබයි. ඉන්පසු කිරි අම්මාවරු පිරිත් කියා ප්‍රධාන කිරි අම්මා කොහොඹ හෝ අඹ අතු කෑල්ලකින් නිවස පුරාම කහ මිශ්‍ර කිරි ඉසීම් සිදු කරයි. මුලින්ම ප්‍රධාන කිරි අම්මා පත්තිනි මෑණියන්ගේ රූපය ,සළඹ සහ දානය රැගෙන පිට වූ පසු ඒ පසුපස අනික් කිරි අම්මාවරුන් පසුපස නොබලා නොනැවතී ගමන් කරයි. කිරි අම්මාවරුන් රැගෙන යන ආහාර මල්ල අතේ එල්ලාගෙන නොයයි. එය තම දෙඅත්ල මත තබා පපුවට තුරුළු කරගෙන ගෙන යනු ලබයි. ඔවුන් යනවා යැයි නොකියයි. කිරි අම්මා දානයෙන් නිවැසියන්ටත් ගැබිනි මාතාවටත් කිව නොහැකි සෙතක්‌ සැලසී සියලුම දුක්‌, රෝග පීඩාවන්ගෙන් මිදී ශාන්තිය සැලසේ. වසංගත රෝග බෝ නොවේ.

කිරි අම්මා දානයක දී මවුවරුන්ට පූජා කරනු ලබන කිරියා හදන්නේ මෙලෙසයි.

හෙළ බොදු සිරිතට අනුව කාලයක් තිස්සේ පත්තිනි මෑණියන් වෙනුවෙන් දෙන කිරි අම්මා දානයේදි වැදගත්ම තැනක් ගන්න දෙයක් තමයි “කිරියා”. හරියටම කිරියා හදාගන්න බැරි අයට හරියටම එය සකසන ක්‍රමවේදයයි මේ.

අවශ්‍ය දේ

හාල් පිටි කිලෝ 01

පැණි අඩු කෝප්ප 4

උකු පොල් කිරි කෝප්ප 6 (පොල් ගෙඩි 3ක පමණ ප්‍රමාණවත්)

ලුණු ස්වල්පයක්

කරඳමුංගු කරල් 4

වැනිලා තේ හැඳී 2

 

භාජනයක් ගෙන පැණි, පොල්කිරි, සීනි දාලා හොඳට කලවම් කරන්න. ඒකටම හලාගත්ත හාල් පිටි, ටික ටික දාලා මිශ්‍ර කරන්න. දැන් තමයි මේ මිශ්‍රණය ලිපේ තියන්න ඕන. ලිපේ තියලා මද ගින්නෙ නොකඩවා හැඳී ගාමින් පිස ගන්න ඕන. (මතක තියාගන්න අඩිය අල්ලන්න දෙන්න එපා) මිශ්‍රණය ඝන වුණාට පස්සෙ කෙසෙල් කොළයකට දාලා අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපාගන්න පුළුවන්.

 

ජ්‍යෝතිෂවේදී

ජී.ටී ආරියරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.