අංශභාග රෝගියකු රැකබලා ගන්නා ආකාරය

සැප්තැම්බර් 1, 2023

අංශභාගයේදී මිනිස් මොළයට සිදුවන හානියක් නිසා සිරුරේ එක් අංශයක් අප්‍රාණික වන බව පසුගිය සතියේ අපි කතාබහ කළා. අංශභාගය වැලඳුණු රෝගියකු රැකබලා ගන්නා අන්දම පිළිබඳව අද අවධානය යොමු කරමු.

අංශභාගය සම්පූර්ණයෙන් සුවකළ හැකිද?

අංශභාගය නම කී විටම සිතට බියක් දැනුණද ද කඩිනම් හා නිවැරැදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ තත්ත්වය බොහෝ දුරට සුවකර ගත හැකිය. සුව වීමට ගතවන කාලය හා සුවවන ප‍‍්‍රමාණය රඳා පවතින්නේ මොළයට සිදුවන හානියේ ප‍‍්‍රමාණය, හානිය සිදුවූ මොළයේ ප‍‍්‍රදේශය, මොළයට සිදුවන අනතුරේ ස්වභාවය හා රෝගියාගේ වයස මතය.

අංශභාගයේ සංකූලතා මොනවාද?

ප්‍රධාන සංකූලතාවය නම් ශරීරයේ එක් පැත්තක අවයව අඩපණ වී යාමයි. මුහුණේ පැත්තක් පණ නැතිව ඇදවී කඩා වැටෙන ස්වභාවය, අත් පා අඩපණ වී යාම, කථා කිරීමට අපහසුවීම සහ වචන පැටලීම, ශ්වසන ආබාධ, ආහාර ගිලීමට නොහැකිවීම, සංවේදන නොදැනීම, ඇඳ තුවාල හා මතකය නැතිවීයාම බොහෝ විට දැකිය හැකි සංකූලතා වේ.

මේ සංකූලතා අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

මේ රෝගයට ලක්වූ පසු ඖෂධ ප‍‍්‍රතිකාර, ශල්‍ය ප‍‍්‍රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප‍‍්‍රතිකාරද අත්‍යවශ්‍ය වේ. මේ රෝගයට ව්‍යායාම් ආරම්භ කිරීමට පමා වුවොත් අත් පා වල ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්වීම ප්‍රමාද වීම සිදුවිය හැකිය.

එසේම, රෝගය වැලඳුණු මුල් කාලයේ සිටම රෝගියා නිවැරැදි ඉරියව්වල ස්ථාපිත කර තැබිය යුතුය. මෙමඟින් රෝගියාට ඇතිවිය හැකි සන්ධි දරදඬු වීම, පේශී කෙටිවීම, පා වැටීම හා අසාමාන්‍ය ඉරියව් ඇතිවීම වැළැක්විය හැකිය.

ඒ වගේම මෙලෙස එක්තැන්වී සිටින රෝගියාගේ දෑත් දෙපා ප්‍රාණවත් කිරීම සඳහා තෛල අභ්‍යංග කර පොට්ටනිවලින් තවා සමබරතාව රැක ගැනීමට උදව් දෙන ව්‍යායාම පුහුණු කළ යුතුය. අප්‍රාණික අංශයේ අස්ථි දරදඬු වීම වැලැක්වීමට තෙල්, පත්තු බැඳීම, අංශභාග රෝගීන් සඳහා වන ආවේණික විලාසය මග හැරීම සඳහා වන ව්‍යායාම් මෙන්ම මොළයේ සෛල උත්තේජනය කරන ශීර්ෂ අභ්‍යංග, ශිරෝධාරා, ශිරෝවස්ති වැනි පංචකර්ම ප්‍රතිකාර මඟින් එදිනෙදා දෛනික චර්යාවේ කාර්යයන් නිවැරදිව කිරීමට හා ඇවිදීමට පුහුණු කරවිය හැකිය.

මෙම රෝගීන්ට නිතර ශ්වසන ආබාධ ඇතිවිය හැකිය. රෝගියාගේ පපුව, ගෙල සමඟ හිස ට යටින් කොට්ටයක් තබා එම ප්‍රදේශය ඉහළට ඔසවා සිටින සේ තැබිය යුතුය. එමඟින් රෝගියාට පහසුවෙන් හුස්ම ගැනීමට හැකිවනවා මෙන්ම පෙනහළු තුළ ශ්‍රාවයන් එකතුවීමත් වලක්වා ගත හැකිය. සීරු මාරුකල හැකි ඇඳක් රෝගියා තැබීම සඳහා ඉතාම සුදුසුය.

තවද ගිලීමේ අපහසුතාවය නිසා නාසකා ජඨරීය නාලයක් මඟින් ද්‍රව ආහාර ආමාශය කරා යැවීමට සිදුවේ. එවිට ආහාරවල පෝෂණය පවත්වා ගැනීම හා ශරීරය තුළ ද්‍රව සමතුලිතතාවය පවත්වා ගැනීම පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.

අංශභාග රෝගීන්ට ඇතිවිය හැකි තවත් සංකූලතාවක් තමයි මුත‍‍්‍රා ආසාදන. එම රෝගීන්ගේ ස්නායු ක්‍රියාකාරීත්වයේ ගැටලු නිසා මුත්‍රා පිටවීම නොදැනුවත්වම සිදුවේ.

ඒ හේතුවෙන් මුත්‍රා මාර්ගය හරහා මුත්‍රාශයට බටයක් ඇතුළු කිරීමට සිදුවේ. ආගන්තුක දෙයක් මුත්‍රාශයට ඇතුළු කිරීම නිසාත් අපාන ප්‍රදේශය නිසිලෙස පිරිසිදු නොවීම නිසාත් මුත්‍රා ආසාදන ඇතිවිය හැකිය. වැඩිපුර ද්‍රව ශරීරයට ලබාදීමෙන් හා අපාන ප්‍රදේශයේ පිරිසිදුකම පවත්වා ගැනීමෙන් මුත්‍රා ආසාදන අවම කරගත හැක.

එසේම ඇඳ තුවාල වළක්වා ගැනීමට රෝගියා හා ඇඳ ඇතිරිලි පිරිසිදුව තබා ගත යුතුය. රෝගියා සේදීමෙන් පසු හොඳීන් තෙත මාත්තු කර පීඩන ස්ථාන සම්භාහනය කළ යුතුයි. පැය 2 කට වරක්වත් රෝගියා හැරවීමෙන් රෝගියාගේ ශරීරයේ එකම ස්ථානයකට පීඩනය දැනීම වළක්වා ගත හැකි අතර එමඟින් ඇඳ තුවාල සෑදීම අවම කර ගත හැකිය.

රෝගියාගේ කථනය දුර්වල නම් කථන චිකිත්සක ක්‍රම සඳහා ද යොමුකළ යුතුය.

තවද මානසික තත්ත්වය නඟාසිටුවීම සඳහා පවුලේ සාමාජිකයන්ගේ කැපවීම නොඅඩුව ලැබිය යුතුය. රෝගියාට කැවීම, පෙවීම, පිරිසිදු කිරීම ආදී ක්‍රියා මෙන්ම ආදරය ලබාදීමද ඉතා වැදගත්‍ ය. සිහි තත්ත්වයේ සිටින රෝගියකු නම් ආදරණීය ස්පර්ශයකින්, කාරුණික වදනකින් ඔවුන් බොහෝ සතුටින් තැබිය හැකියි. මේ ආකාරයට නිසි ප්‍රතිකාර හා ක්‍රමවේදයන් ඔස්සේ රෝගියා රැකබලා ගැනීමෙන් අංශභාග රෝගයේ බොහෝ සංකූලතා අවම කරගත හැකි අතරම එමඟින් රෝගියා සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජයට යළි දායාද කළ හැකිය.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.