පණුරෝග නසන අගනා ඔසුව බටකිරිල්ල

දෙසැම්බර් 18, 2020

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදී ළමාරෝග චිකිත්සාව සඳහා ලැබෙනුයේ විශේෂ ස්ථානයකි. එයට හේතුව ළමාරෝග චිකිත්සාව අනෙක් චිකිත්සාවන්ට වඩා විශේෂ තත්ත්වයක් ගනු ලබන හෙයිනි. බාල, තරුණ, මහලු යන ත්‍රිවිධ කාලය අතුරින් බාල කාලය තුළ වැලඳෙන රෝග අතර, බාල කාලයටම ආවේණික රෝගයෝ රාශියකි. එසේම ඒ සඳහා යෙදෙන චිකිත්සාවන් ද විශේෂ විය. මෙසේ බාල කාලය තුළ දක්නට ලැබෙන රෝගාබාධ අතුරින් ‘ක්‍රිමිරෝග‘ හෙවත් පණුරෝග සඳහා විශේෂ තැනක් ලැබිණි. වටපණු,පටිපණු, කොකුපණු, කිරිපණු සහ කසපණු යන ප්‍රභේදයන්ගෙන් නව්‍ය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වනු ලබන ක්‍රිමින් ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ අභ්‍යන්තර හා බාහිර ක්‍රිමි ලෙස ප්‍රධාන ප්‍රභේද 2 කින් ද එයට අමතරව තවත් ප්‍රභේද රාශියකින් ද දක්වයි.

 

වනාන්තරය, බලංගොඩ අවට ප්‍රදේශය, හිනිඳුම, දෙනියාය, මුලටියන ආදී ප්‍රදේශවල “බටකිරිල්ල” ශාකය බොහෝසෙයින් දක්නට ලැබේ. පඳුරු වශයෙන් වැවෙන කුඩා ශාකයක් වන මෙය මීටර් 5ක් පමණ උසින් යුතුව වැඩේ. බොහෝ සෙයින් අතු බෙදෙන ශාකයකි. අතු ඉතා සිනිඳුය.

 

මෙම ක්‍රිමින් සඳහා ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ යෙදෙන චිකිත්සාවේදී යොදා ගනු ලබන ප්‍රධානතම ඖෂධ ද්‍රව්‍යයක් වනුයේ “බටකිරිල්ල”ය. මෙය ශ්‍රේෂ්ඨ ක්‍රිමි නාශක ඔසුවක් ලෙස දක්වා ඇත. ළදරුවන්ගේ වටපණු, කිරිපණු, කොකුපණු, පටිපණු ආදී පණුවන් විනාශ කරන අගනා වටිනා ඔසුවක් වන “බටකිරිල්ල” කොළවල ක්‍රිමි නාශක ගුණයක් ඇති නිසා ගම්බද කාන්තාවන් අත් බෙහෙතක් ලෙස බොහෝවිට මෙය යොදාගනු ලබයි.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සදාහරිත වනාන්තර වල තෙත් ප්‍රදේශයේ සහ ඇළ දොළ දෙපස මීටර් 1000ක් දක්වා ප්‍රදේශවල තරමක් සුබලය.

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශවල බොහෝසෙයින් දක්නට ලැබෙන අතර, කොළඹ දිස්ත්‍රික්කයේ ලබුගම ප්‍රදේශයේ ද, කෑගල්ල ප්‍රදේශයේ සල්ගල අවට, නමුණුකුල කන්ද ප්‍රදේශය, සිංහරාජ

වනාන්තරය, බලංගොඩ අවට ප්‍රදේශය, හිනිඳුම, දෙනියාය, මුලටියන ආදී ප්‍රදේශවල “බටකිරිල්ල” ශාකය බොහෝසෙයින් දක්නට ලැබේ. පඳුරු වශයෙන් වැවෙන කුඩා ශාකයක් වන මෙය මීටර් 5ක් පමණ උසින් යුතුව වැඩේ. බොහෝසෙයින් අතු බෙදෙන ශාකයකි. අතු ඉතා සිනිඳුය. පොත්ත ලා දුඹුරු පැහැතිය. වා සිදුරු සහිතය. ලපටි අතුවල පාදයේ බොහෝවිට පතනශීලී නිපත්‍ර කිහිපයකින් යුතුය. බටකිරිල්ල පත්‍ර ඉලිප්සාකාර හැඩයක් ගනු ලබන අතර, සෙ.මී.3.5 - සෙ.මී.9 දක්වා දිගින් යුතුය. මෙහි හටගනු ලබන මල් සුදු පැහැයක් ගනු ලබයි. දිගටි අණ්ඩාකාර ගෙඩිවලින් යුක්ත වන අතර, ඒ ගෙඩි තුළ බීජ එකක් ඇත.

බටකිරිල්ල ශාකය සඳහා විවිධ භාෂාවලින් යෙදෙන නාමයන්

පොදු සිංහල නාමය:

බටකිරිල්ල නම් වේ.

දෙමළ බසින්: චෙරු චෙම්මටි, චිරුචෙන්නට් යන නාම යෙදේ.

බටකිරිල්ල සඳහා යෙදෙන උද්භිද විද්‍යාත්මක නාමය Erythroxylum mooniihochr වන අතර කුලය Ertthroxylaceae වෙයි.

බටකිරිල්ල ශාකයේ කොළ, දලු සහ මල් ඖෂධ අංග සඳහා ගනු ලබයි.

ඖෂධීය ගුණ කම් මෙහි සෙම් වඩන ගුණ යුතු අතර, වාතය සහ පිත නසන ගුණ යුතුයි. එසේම ග්‍රාහී සහ ලඝු ගුණ යුතුයි.

බටකිරිල්ලවල ප්‍රධාන ක්‍රියා සැලකීමේදී

විශේෂයෙන්ම ක්‍රිමිහර (පණුවන් නසන) ගුණයෙන් සහ රේචන ගුණයෙන් යුක්ත වේ. පණුවන් විනාශ කිරීමේ ශක්තියක් ඇති අගනා වටිනා ඔසුවකි. කුඩා දරුවන්ගේ පණුගායට දෙනු ලබන සැර බෙහෙත් වෙනුවට බටකිරිල්ලවලින් සිදු නොවන අගනා ඖෂධ යෝග සකස් කර ගත හැක.

තවද බටහිර වෛද්‍යවරුන් යොදන ‘සන්ටෝනින්’ නම් ඖෂධය හා සමානවම ගුණ ගෙන දෙන ඖෂධ මෙම බටකිරිල්ල ශාකයෙන් සකස් කර ගත හැක.

ආටමීසියා සීනා සහ ආටමීසියා, මැරිටිමා යන පැළෑටිවලින් සාදනු ලබන ‘සන්ටෝනින්’ නම් ඔසුවට සෑම අතින්ම සමාන ගුණ ගෙන දෙන ඔසු බටකිරිල්ලවලින් සකස් කර ගැනීමේ හැකියාව ඇත. බටකිරිල්ල වල ඖෂධ අංග සහිතව යෙදෙන ඖෂධ යෝග රාශියක් දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේදයේ දක්නට ලැබේ.

පණුවන් වැටීමට

බටකිරිල්ල කොළ, බැදගත් වලඟසාල් සහ ඉඟුරු චූර්ණ කර බැදිහාල් කුඩු දමා පොල්පැණි දමා අනා අග්ගලා සාදා උදේට කෑමෙන් පණුවො වැටෙති. මෙය ගම්බදව බොහෝසෙයින් ප්‍රචලිත

“බටකිරිල්ල අග්ගලා” නම් අගනා ඖෂධහාරයයි.

පණුවන් වැටීමට, ග්‍රහණි, උදරය විශාලවීම හා මාන්දම සමනයට

වලඟසාල්, අරළු, බුලු, නෙල්ලි තිවර්‍ග, අතිඋඩයන්, සුදුලූනු, සූදුරු, අසමෝදගම්, දැත්ත අල, ඇහැල දලු කලඳ බැගින් ගෙන තිරස්සවාලු, බටකිරිල්ල දලු කලං 02 1/2 බැගින් ගෙන මී පැණි සමඟ දීම ඉතා ගුණදායකය.

බටකිරිල්ල දලු වියලා චූර්ණ කර චූර්ණය කලං 6ක් බැඳී හාල් කුඩු කලං 2ක් සමඟ අනා උදේ සවස දින 3ක් කෑමට පසු විරේචන ඔසුවක් ලෙස යෙදීමෙන් වටපණුවන් විනාශ වේ.

වලඟසාල්, අසමෝදගම්, වීපොරි, බටකිරිල්ල කොළ, වියළි ඉඟුරු යන මේවා එක පමණ ගෙන හොඳීන් කුඩුකර එම පිටි එක තරමට ගෙන පොල් පැණි මිශ්‍රකර අග්ගලා මෙන් සාදා උදයට එක බැගින් ළමයින්ට කෑමට දෙනු ලබයි.

බටකිරිල්ල කොළ, වලඟසාල්, උක්හකුරු සමව ගෙන එකට කොටා අග්ගලා සාදා උදය හිස්බඩ කෑමට දීම ඉතා ගුණදායකය.

බටකිරිල්ල කොළ, පොල්හකුරු හෝ කිතුල් හකුරු සමඟ අනා නෙල්ලි ගෙඩියක් පමණ ගුලියක් උදයේ කෑමට දීම ඉතා ගුණදායකය.

බටකිරිල්ල දලු, සුදුලූනු, වදකහ, අසමෝදගම් යන මේවා එක පමණ ගෙන කුඩුකර මී පැණි සමඟ අඹරා වලඟසාල් තැම්බූ වතුරෙන් දීම ඉතාමත් ගුණදායක වේ.

මේ ආදී ඖෂධ යෝගයන් රාශියක් බටකිරිල්ල අඩංගුව ළදරු ක්‍රිමිරෝග වමනය සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෙද්‍ය ක්‍රමයේ දක්නට ලැබේ. විශේෂයෙන් දේශීය වෛදය ක්‍රමයේ බහුල ලෙස දක්නට ලැබේ.

මේ අනුව පැහැදිලි වනුයේ බාලයන්ට වැලඳෙන විවිධ රෝගාබාධ අතර ප්‍රධානතම රෝගාබාධයන් වන ක්‍රිමි රෝග සමනයට ‘බටකිරිල්ල’ වලින් ලැබෙන දායකත්වය ඉතා විශාල බවයි.

වලඟසාල්, අසමෝදගම් වැනි ක්‍රිමි නාශක ඖෂධවලට අමතරව බටකිරිල්ල වලින් ලබා දෙන දායකත්වය අතිශයින් වැදගත් වේ. මෙම බටකිරිල්ල යෙදූ ඖෂධවල ඇති විශේෂත්වය නම් ශරීරයට අහිතකර එමෙන්න රෝගපීඩා බහුල ලෙස ඇති කරන පණුවන් සියල්ල ශරීරයට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් බැහැර කිරීමයි.

මෙවන් විශිෂ්ට ගුණ දෙන බටකිරිල්ල වලින් තවත් ප්‍රයෝජන රාශියක්ම ලබාදෙයි. එනම් ගෘහ අලංකාරය උදෙසා යොදාගත හැකි දර්ශනීය පෙනුමකින් යුතු ශාකයක් නිසා සමහර අය නිවෙස් අසල වැවීමට ප්‍රිය කරයි.

ගම්බද කුඩා දරුවන් උණගසේ බටයෙන් හෝ බටගසේ බටයෙන් තනාගත් සෙල්ලම් තුවක්කු වලින් සෙල්ලම් කිරීමට බටකිරිල්ල ගෙඩි යොදාගනු ලබයි.

හදි හූනියම්, යන්ත්‍ර මන්ත්‍ර, යාගහෝම සහ තොවිල් ආදියේදී ද භාවිතයට ගනු ලබයි.

බටකිරිල්ල ගසේ ගෙඩි ඉදුණු විට ඒවා කෑමට පක්ෂීන් මෙන්ම කුඩා ළමයින් ද දැඩි කැමැත්තක් දක්වයි.

මේ අනුව පැහැදිලි වනුයේ ‘බටකිරිල්ල’ යනු අතිශයින්ම ප්‍රයෝජන ගෙන දෙන අගනා වටිනා ඖෂධ ශාකයක් බවයි. අතීතයේ මෙන්ම වර්තමානයේ ද කුඩා ළමුන් පෙළෙනු ලබන

රෝග අතුරින් ප්‍රධානතම රෝගයක් වන ක්‍රිමිරෝග සහ විශිෂ්ට ගුණ ගෙන දෙන මෙම ‘බටකිරිල්ල’ ශාකය තම ගෙවත්තේ වගා කර ගැනීමට කුඩා දරුවන් සිටින දෙමව්පියන් උත්සුක වන්නේ නම් එමඟින් ලැබෙන ප්‍රයෝජන මිල කළ නොහැකිය. මෙනිසා ‘බටකිරිල්ල’ ශාකයේ ඇති ගුණාගුණ හොඳින් අවබෝධකරගෙන එමගින් ලැබෙන ප්‍රයෝජන නිසි ලෙස ලබාගන්නේ නම් මෙවන් රෝගාබාධ නිවාරණය ඉතා පහසු වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.