ඔසු ගුණ පිරි රසවත් - අඹ

දෙසැම්බර් 25, 2020

බුදුන් විසින් අනුදැන වදාළ සප්තවිධ පාන අතුරින් මුල් තැන අඹවලට හිමිවේ. දෙව් ලොව අමෘත රසයත් මනු ලොව අඹ රසයත් එක හා සමාන බව භාරතීයයන්ගේ විශ්වාසයයි. ඉන් පැහැදිලි වන්නේ අඹ එතරම් ම රසවත් හා මිල කළ නොහැකි වටිනා පලතුරක් බවයි.

Mangifera Indica Linn යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අඹ ප්‍රභේද කීපයක් ලංකාවේ පවති. මී අඹ, බෙට්ටි අඹ, වල් අඹ, පොල් අඹ, කොහු අඹ, ඇටඹ, රට අඹ, ගිරා අඹ, හිනි අඹ, විලාඩ් අඹ, යාපනේ අඹ, කර්තකොලොම් අඹ, අල්පොන්සු අඹ යනාදී වශයෙනි.

කලම් සහ බොජු යන අඹ ප්‍රභේද දෙක ඉන්දියාවේ උත්තර ප්‍රදේශය බිහාර්, පංජාබ් යන ප්‍රදේශවල බොහෝ ප්‍රචලිතය.

ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, ඉරානය, මලයාසියාව, සුමාත්‍රාව, බෙංගාලය, ඇෆ්ගනිස්ථානය ආදී රටවල හොඳින් වැවේ. ඖෂධ සඳහා මුල්, පොතු, දලු, කොළ, මල්, ගෙඩි, ඇට, මද, මැලියම් ප්‍රයෝජනයට ගනි.

ගුණාත්මක අතින් ගත් කල අඹවල ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, පොස්පරස්, යකඩ, කැරොටීන්, තයමින්, රයිබොප්ලේවින්, නියැසීන් හා විටමින් සී වැනි පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අඩංගු වේ. පලතුරක් ලෙස ගත් කල ඉදුණු අඹ තරම් පි‍්‍රය කරන වෙනත් රසවත් පලතුරක් නොමැති තරම්ය.

උදෑසන ඉදුණු අඹ යුෂ වීදුරුවක් පානය කිරීමෙන් ශරීරයට අවශ්‍ය විටම් ඒ, බී ඩී හා සී ප්‍රමාණය නොඅඩුව ලැබෙන අතර රූ සපුව ආරක්ෂා කර ගැනීමට මනා පිටිවහලක් ලැබේ. තවද එහි ඇති කෙඳි ස්වභාවය හේතු කොට ගෙන හොඳින් මල පහ වීම සිදුවේ. එවිට ආහාර රුචිය ඇතිවේ. ඉදුණු අඹ යුෂ ගිතෙල් සමඟ ගැනීමෙන් ශරීර කාන්තිය වැඩි කරන අතර අඹ යුෂ එළකිරි සමඟ ගැනීමෙන් ශරීර පුෂ්ටිය ඇතිවේ. එපමණක් නොව අඹ හෘදයට හිතවත් පලතුරකි. රක්ත හීනතාවයට කදිම ඔසුවකි. ලිංගික දුබලතා සඳහා සුවිශේෂීය.

අමු අඹ ව්‍යාංජනය ඉතා රසවත් ආහාරයකි. මල බද්ධය දුරු කරන අතර ආහාර රුචිය ඇති කරයි. මීට අමතරව අඹ අච්චාරු, අඹ ජෑම්, අඹ චට්නි, අඹ සම්බෝල, අඹ දෝසි, අඹ සිරප්, ලුණු, අඹ ආදී වශයෙන් විවිධාකාර ලෙස ආහාරය පිණිස යොදා ගැනේ.

තවද රක්ත ප්‍රදර, ශ්වේද ප්‍රදර වැනි කාන්තා රෝග සඳහා අඹ ගසේ පොතු සහ අඹ ඇට මද ප්‍රයෝග කරනු ලබයි. වමනය සඳහා අඹ කොළ යුෂ පානය යෝග්‍ය වේ. හික්කාවට අඹ කොළ පිලිස්සූ දුම් ඉරීම සුදුසු වේ. නාසයෙන් ලේ යන අවස්ථාවේදී අඹ ඇට මද නස්න කිරීමද අතීසාර රෝගයේදී අඹ පොතු කෂාය කර බීම ද, කම්මුල්ගායේදී අඹ පොතු ඇල් දියෙන් අඹරා ආලේපයද ගෙඩි පැසවීමට ළපටි අඹ දලු අඹරා ආලේපයද අඹ ඇට තෙල් විදුරුමස් රෝගවලට හා දන්ත රෝගවලට ද, අඹ ඇට මද දියවැඩියා රෝගයට ද යොදා ගැනේ.

නවීන පරීක්ෂණ අනුව නොපැසුණු අඹවල ටැනින් පදාර්ථය අන්තර්ගත නිසා එය අතීසාර, ප්‍රවාහිකා යන රෝගවලට යෙදිය හැක. එසේම අඹ පොතු චර්ම රෝගවලටද ප්‍රත්‍යක්ෂ වේ.

කෙසේ වෙතත් අඹ අධිකව ගැනීමද ශරීරයට හිතකර නොවේ. ඇඹුල් අධික අමු අඹ අධික ලෙස ගැනීමෙන් බඩගිනි අඩුකම, ලේ දෝෂ, නේත්‍ර දෝෂ, විෂම ජ්වර හටගත හැකිය. එබැවින් පමණ දැන ගැනීම සෞඛ්‍යයට හේතු වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.