ඖෂධීය ගුණයෙන් ඉහළ වටිනාකම් ඇති පලතුරු තුනක් උගුරැස්ස, කටු අනෝදා ගස්ලබු

ජනවාරි 15, 2021

ශ්‍රී ලංකාවේ වගා කෙරෙන බො‌හෝ දේශීය පලතුරු වල පෝෂණ ගුණය උසස් මට්ටමක පවතී. එවැනි දේශීය පලතුරු වර්ගවලින් ප්‍රමුඛ ස්ථානයක පවතින පලතුරක් ලෙස උගුරැස්ස නම් කළ හැකිය.

රසයෙන්, ගුණයෙන් අනූන උගුරැස්ස අප රටේ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කළ හැකිය. කටුලොවි ලෙසින් දේශීය බස්වහරින් හඳුන්වන මෙම මාහැඟී පලතුරෙහි ගෙඩි පමණක් නොව කොළ, මුල්, පොතු, ඇට ඖෂධ වශයෙන් රෝග සුව කිරීම සඳහා යොදාගනී. උගුරැස්ස ආහාරයට ගැනීමෙන් රුධිරය පිරිසුදු කිරීම, ආහාර ජීර්ණය පහසු කරවීම, සිරුරේ දාහය සංසිඳුවීම, ආහාර අරුචිය දුරු කර කුසගින්න වඩවාලීම වැනි ප්‍රතිලාභ රැසක් ලැබේ.

සිරුර නැවුම් කරවන සිසිලසකාරකයක් ලෙසින් හඳුන්වන මෙම අද්විතීය පලතුර, විශේෂයෙන් මුත්‍ර රෝගවලට බෙහෙවින් ගුණදායකය. ඊට අමතරව දියවැඩියාව වැනි රෝග සමනය කිරීමට ද, සම පැහැපත් කරවීමට ද බෙහෙවින් මිල කළ නොහැකි දිව්‍යමය ඖෂධයකි. උෂ්ණාධික කාලවලදී සිරුරේ හටගන්නා දාහමය තත්ත්වයන් සමනය කරවීම සඳහා ක්‍රමවේදයක් ලෙස උගුරැස්ස පොතු තැම්බූ ජලය, කොහොඹ කොළ තැම්බූ ජලයට ද මනා ආදේශකයක් වන අතර, දියවැඩියා රෝගීන්ට පානයට වඩාත්ම හිතකරය.

උගුරැස්ස කොළ තැම්බූ ජලයෙන් තුවාල සේදීමෙන් ද එම තුවාල ඉක්මනින් සුවකරගත හැකිය. කොලෙස්ටරෝල් මට්ටම මැනවින් පාලනය කරන නිසා හදවතට ද බෙහෙවින් ගුණදායකය. ඉදුණු උගුරැස්ස යුෂ පානයෙන් සිරුරේ ප්‍රතිශක්තිය මැනවින් වඩවාලන අතර, නිදන්ගත රෝග දුරුකරලීමට ඉවහල් වේ. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අනුව උගුරැස්ස නැතහොත් කටුලොවි දීර්ඝායුෂ ලබාදෙන දිව්‍යමය පලතුරකි. මීළඟට කටුඅනෝදා ඔසු ගුණ විමසමු.

රෝග රැසකට ගුණදෙන, පිළිකා මර්දනය කරන කටු අනෝදා

විද්‍යාත්මක නාමයෙන් ඒදදධදච ර්භපඪජචබච (අනෝනා මුරිකටා) නමින් හඳුන්වන කටු අනෝදා ශාකය දකුණු ඇමරිකාවේ, බටහිර ඉන්දීය දූපත් නිජබිම කරගන්නට ඇතැයි සැලකෙන අතර, කටු අනෝදා, වැලි අනෝදා, මැටි අනෝදා ආදී වශයෙන් වර්ග ගණනාවක් දක්නට ලැබෙනවා. ආර්ථික බෝගයක් වශයෙන් වගා කෙරෙන කටු අනෝදා ශාකයේ සුදුපැහැ මදුළුවලින් යුක්ත ඵලය, කළු පැහැති බීජවලින් සමන්විතයි. මෙහි මදුළු ආහාරයට ගත හැකි සේම, මිහිරි පානයක් ලෙස ද සකසාගන්නට පුළුවන්. නැතිනම් නොඉදුණු කටු අනෝදා පිටි බවට හරවා ආහාර නිපදවාගන්නටත්, වෑංජන සඳහාත් යොදාගන්නට හැකියි.

මේ කුමන ක්‍රමයකට ආහාරයට ගත්තත් කටු අනෝදා ගුණයෙන් ඉස්තරම් වේ. මෑත කාලයේ සිදු කළ පර්යේෂණ වලින් සොයාගෙන ඇති අන්දමට පිළිකා නැසීම් සඳහා භාවිත කරන බටහිර ඖෂධවලට වඩා කටු අනෝදා ඉදිරියෙන්ම සිටියි. මෙය පිළිකා මර්දනයේදී අතුරු ආබාධ වලින් තොර නිරෝගී සෛල විනාශ නොකරන වටිනා ඖෂධයක් බැව් සොයාගෙන තිබෙනවා. ඒ කාබෝහයිඩ්‍රේට්, පෘක්ටෝස්, විටමින් ඛ්, විටමින් ඕ 1 , ඕ 2 බහුල පලතුරක් වන කටු අනෝදාහි පිළිකා නැසීමේ කාරකය වන ‘ඒදදධදචජඪද’ ද අඩංගු නිසයි. එමෙන්ම සීනි හා පිෂ්ඨය අධික නොවන නිසා දියවැඩියාව රෝගීන්ට මේ පලතුර කදිමයි. අනෝදා පානය සැකසීමේ දී සීනි නොයොදා සකස් කරනවා නම් වඩාත් හොඳයි. එමෙන්ම හදවතට හිතකර ඖෂධයක් ලෙස ද

හඳුන්වන්නට හැකි කටු අනෝදා හදවත් රෝග හා රුධිර නාල පද්ධතියේ රෝග වැළැක්වීමට උපකාරි වන මහඟු ඖෂධීය පලතුරක්.

විද්‍යානුකූල පර්යේෂණයන්ට අනුව කටු අනෝදා පිළිකා මර්දන ගුණයෙන් යුතු අතර, පිළිකා මර්දනයේ දී බර අඩුවීම හා හිසකෙස් වැටීම පාලනය කරන ඖෂධයක් ලෙස ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරන, ශරීර ශක්තිය වර්ධනය කරන, ශක්තිජනකයක් ලෙස ද මානසික ආතතිය, ස්නායු දුර්වලතා සඳහා ප්‍රතිකාරකයක් ලෙස ද ධ්දඵධථදඪච හෙවත් නින්ද නොයාමේ රෝගී තත්ත්වයෙන් පීඩාවිඳීන්නන්ට ප්‍රතිකාරයක් ලෙස ද, චර්ම රෝගයන්ට කදිම ඔසුවක් ලෙස ද, කටු අනෝදා හඳුන්වාදීමට පුළුවන. ශරීරය‌ට හිතකර විටමින් වර්ගවලින් යුක්ත කටු අනෝදා ගර්භණී මවුවරුන්ට, කුඩා ළමුන්ට ආහාරයට දීමට හැකි වටිනා පලතුරකි. අභ්‍යන්තර හා බාහිර පරපෝෂිතයන් නැසීමේ ඖෂධයක් ලෙස ද කටු අනෝදා ප්‍රකටය.

ඵලය පමණක් නොව කටු අනෝදා පත්‍ර ද ඉවතලිය නොහැකි ගුණ කදම්භයකින් යුක්තයි. අපි අනෝදා ඵලය පමණක් ආහාරයට ගත්ත ද අනෝදා පත්‍ර තේ ආදී පාන වර්ග නිපදවීමට පවා යොදා ගන්නවා. අනෝදා ශාක පත්‍රයෙන් නිපදවන තේ දියවැඩියාව, පිළිකාව, ආතරයිටිස්, උෂ්ණාධික රෝගයන් සඳහා ද කදිම ඖෂධයකි. එපමණක් නොව විෂබීජ නාශක ගුණයෙන් යුතු

මෙම පත්‍ර තම්බා හිසකෙස් සේදීමට පවා භාවිත කරන්න පුළුවන්. ඉදුණු කටු අනෝදා ගෙඩි වලින් ජෑම් වර්ග, ජෙලි වර්ග, අයිස්ක්‍රීම් හා පාන වර්ග නිපදවාගන්න පුළුවන්.

හෘදරෝග හා පිළිකා මැඬීමට ගස්ලබු

ගස්ලබු අපේ දිවට රස සාගරයක් වගේම සිරුරට ඖෂධාගාරයක් වගෙයි. මළ බද්ධයෙන් මිනිසුන් මුදවා ගන්නවාට අමතරව ඉදුණු ගස්ලබු ගෙඩියකින් අපට ලබාගත හැකි ගුණ අපමණයි. කෙටියෙන්ම කීවොත් ගස්ලබු ගෙඩිය අපේ සිරුරට ආශිර්වාදයක් ව‌ගෙයි. දකුණු මෙක්සිකෝවෙන් ලංකාවට උරුම වුණත් එය අද අපේ ගෙවත්තේ ස්ථීර සාමාජිකයෙක් වෙලා අවසන්.

දියවැඩියාව නිසා හටගන්නා හෘද රෝගවලින් වැළකී සිටීමට ඉදුණු ගස්ලබු කෑමෙන් පුළුවන්. විටමින් සී, විටමින් ඊ සහ බීටා - කැරොටින් යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකවලින් ගස්ලබු ඉතා පොහොසත්.‌ මේ ප්‍රතිඔක්සිකාරක තුන නරක කොලෙස්ටරෝල් නහරවල බැ¼දීම වළක්වනවා. මෙමඟින් හදවත් රෝග පමණක් නොව (ආඝාතය ස්ට්‍රෝක්) වැනි තත්ත්ව ඇතිවීම ද වැළකෙනවා.

ගස්ලබු කෙඳී වලින්ද අඩුවක් නැති පලතුරක්. කෙඳී මඟින් නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා. මෙහි අඩංගු ෆෝලික් මඟින් හෝමොසිස්ටීන් නම් රුධිර වාහිනිවලට හානි කරන ද්‍රව්‍ය ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය කිරීමට ආධාර වෙනවා. ගස්ලබුවල කෙඳී බඩවැලේ පිළිකාකාරක විෂ සහිත දේ ඉවත් කරනවා. ඊට අමතරව මෙහි අඩංගු ෆෝලේට්, විටමින් සී, බීටා කැරොටින් හා විටමින් ඊ යන සියල්ල බඩවැලේ පිළිකා ඇතිවීම අඩු කරන්නට ආධාර වෙනවා.

ප්‍රෝටීන ජීර්ණයට ආධාර වන එන්සයිම ප්‍රදාහ තත්ත්වයන් ද වළක්වන ගස්ලබුවල අඩංගු විටමින් සී, විටමින් ඊ හා බීටා - කැරොටීන් ප්‍රදාහ තත්ත්වයන් වැළැක්වීමට නැතිවම බැරි සංයෝග කිහිපයක් අඩංගුයි. ඇදුම, ඔස්ටියෝ ආතරයිටිස් වැනි ප්‍රදාහ තත්ත්වයන්ගෙන් පීඩා විඳීන අයට විටමින් සී, විටමින් ඊ හා බීටා - කැරොටින් අඩංගු ආහාර ගැනීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. කන් ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි තත්ත්වයන්ට නිතර ගොදුරු වන අයට ගස්ලබු කදිම පලතුරක්. ගස්ලබුවල අඩංගු කෙඳී ගස්ලබු ඇස්වල පෙනීම රැක ගැනීමට ආ‍ධාර වෙනවා. වයස්ගතවීමත් සමඟ ගස්ලබු වැඩිපුර කෑමට එක්කර ගැනීමෙන් රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයෙන් වළකින්න පුළුවන්. විටමින් සී අධික ගස්ලබු වැනි පලතුරු රුමැටොයිඩ්

ආතරයිටීස් රෝගයෙන් අප ආරක්ෂා කරන බව පර්යේෂකයින් වාර්තා මඟින් පෙන්වා දෙනවා.

දුම්වැටි ඇබ්බැහිය නවතයි

දුම් පානයෙන් විටිමින් ‘ඒ’ ඌණතාවයක් හටගන්නා අතර පිළිකා වැනි රෝග ද හටගත හැකියි. සමහරු කොතෙක් දුම්පානය කළත් එතරම් ලෙඩරෝගවලට ගොදුරු නොවන්නේ විටමින් ‘ඒ’ අඩංගු ගස්ලබු වැනි ආහාර වැඩි වශයෙන් කෑමට ගන්නා නිසයි.

ගස්ලබු ග්‍රෑම් සියයක අඩංගු ‌පෝෂක

ජලය ග්‍රෑම් 90 යකඩ මි. ග්‍රෑ. 0. 6

ඇස්කොබික් අම්ලය

මි. ග්‍රෑ. 70

ප්‍රෝටීන ග්‍රෑම් 0. 5 සෝඩියම් මි. ග්‍රෑ. 4

මේදය ග්‍රෑම් 0. 1 තයමින් මි. ග්‍රෑ. 0. 04

කැල්සියම් මි. ග්‍රෑ. 24

රයිබොෆ්ලෙවින් මි. ග්‍රෑ. 0. 04

පොස්පරස් මි. ග්‍රෑ. 22 නියැසින් මි. ග්‍රෑ. 0. 04

හදවතට ආහාර ජීර්ණ පද්ධතියට හිතකර පලතුරු අතර ගස්ලබු පෙරමුණෙහිම සිටිනවා. සමබල පෝෂණයක් අඩංගු පලතුරක් ලෙස ගස්ලබු පෝෂක ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන තිබෙනවා. ඊට හේතු වන්නේ ගස්ලබුවල යහමින් පොටෑසියම් අඩංගු වීමයි. අඹ, කැරට් අධිකව ආහාරයට ගත්විට අත්ල, යටිපතුල කහපැහැ ගැන්වෙනවා සේම ගස්ලබු අධිකව ගැනීමෙන් ද අත්ල, යටිපතුල් කහපැහැ ගැන්වීමට ඉඩ තිබෙනවා. ළපටි, ඉදී නැති ගස්ලබු පමණක් දරුවන් ලැබෙන්නට සිටින අයට අගුණයි. ගස්ලබු ගහේ ආහාරයට ගත හැක්කේ ඉදුණු ගස්ලබු පමණක් නොවෙයි. පැසුණු ගස්ලබු මැල්ලුම මෙන්ම වෑංජන සඳහාද ඉතාම පහසුවෙන් සකසාගන්න පුළුවන්. මෙමඟින් ඔබේ ආහාර වේල රසකරගන්නත් පුළුවන්. ළපටි ගස්ලබු කොළ වාෂ්පයෙන් තම්බා, නිවිති මෙන් කෑමට ගන්නවා. ගස්ලබු ඇට ද කෑමට ගන්න පුළුවන්. තුනපහ රසයක් ගස්ලබු ඇටවල අඩංගුයි. මස් මාංස පිසීමේදී ළපටි ගස්ලබු එක් කිරීමට ගෘහණියන් අමතක කරන්නේ නැහැ. ගස්ලබුවල අඩංගු පැපේන් එන්සයිමය නිසා මාංස ආහාරවල රළු කෙඳී බිඳී මස් මෘදු බවට පත්වෙනවා.

 

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ

වෛද්‍යාචාරිනී,

ධම්මිකා අමරසේකර.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.