අනගි ඔසු

පෙබරවාරි 12, 2021

අප රටේ පමණක් නොව ලොව සෑම රටකම වාගේ ඔසුවක් වශයෙන් ද ආහාරයක් වශයෙන් ද ප්‍රයෝජනයට ගන්නා ලූනු අනගි බෙහෙතකි. බේත් අතුරින් සුදුලූනු මුලටම එන බේතකි.

 

ලසුනං කිමිකුට්ඨාරි සසෙන හා කථවාතජි

සුලග්ගිසාද ගුම්බාරි කාසසාස විසා පහං

පලණාඩු කටුකො වසෙසා වාතාරි සෙමහලො ගුරූ

නාති පිත්තකරො බල්‍යො රත්ත පිත්ත පප සාදනො

 

මෙම සිලෝවෙන් කියවෙන පරිදි ලූනු ගැන මෙසේ ය. සුදුලූනු තෙල් සහිතය. සෙම් වාත දිනයි. කෘමීන් හා කුෂ්ඨ ද රුජා ද, අග්නිමාන්ද ගුල්මද යන මේවාට සතුරුයි. කාස ශ්වාස විෂ දුරු කරයි. රතුලූනු ධාතු පෝෂණය කරයි. කුළු රසද බරද වාතයට සතුරුද සෙම වඩන බව ද බලයට හිතකර ද රත්පිත් පහදවන බවද ඇත්තේ ය. පිත් අධිකව නොවඩයි. පොදුවේ ලුහුනු ගැන බලන විට මධුරද ලුණු රසද ස්වර වැඩීමද ධාතු පෝෂණයද ගුණ වශයෙන් දැක්විය හැකි ය. බරද සාරද බල වඩන බවද තිබේ. බිඳීම් ගැළපීම් කරයි. රත්පිත කෝප කරයි.

සුදුලූනු ලෝකයට ලැබුණ හැටි ගැන භාරතීය කතාවක් තිබේ. එය කෙටියෙන් මෙසේ ය. බොහෝ දුර අතීතයේ ඉන්දියාවේ ඉතා වියළි ප්‍රදේශයක බලගතු නියඟයක් ඇතිවිය. මිනිසුන්ට සතුන්ට ජලය ආහාර ඉතා හිඟ විය. බොහෝ දෙනා ඒ ප්‍රදේශය අත්හැර වෙනත් රටවලට ගියහ. යා ගන්නට බැරි දුර්වල මිනිසෙක් එහි ඉතිරි විය. කෙසේ හෝ ඔහු දිවි ගැට ගසා ගෙන සිටින අතර, අල වර්ග තිබේදැයි බලන්නට පොළොව හෑරුවේ ය. එසේ හාරන විට ඔහුට එක්තරා අල වර්ගයක් හමු විය. ඔහු එය පුච්චා කා බැලුවේ ය. එය ඉතා රසවත් විය. එනිසා ඔහු සෑම දිනම ඒවා අනුභව කළේ ය. මෙසේ සිටින අතර, නියඟය ක්‍රමයෙන් දුරු වී ගියේ ය. එම ප්‍රදේශයෙන් පිට පළාත්වලට ගිය මිනිස්සු ආපසු සිය ගමට පැමිණියහ. එසේ පැමිණ එහි නතර වී සිටි මිනිසා ගැන සොයා බැලූහ. නිරුපද්‍රිතව සුවයෙන් ඔහු සිටිනු දැක පුදුමයට පත්ව ඔබ කෑවේ මොනවාද බීමට වතුර කොයින් ද ආදී ප්‍රශ්න කළහ. එවිට ඔහු එක්තරා පඳුරකට අතද දික්කර එය ගලවා බික් සහිත එම අල වර්ගය පෙන්වා මා ජීවත් වූයේ මේවා ආහාරයට ගැනීමෙන් යයි ඒ මිනිසා කීවේ ය. එවිට රැස් වූ මිනිස්සු ඒවාට සුදුලූනු යයි නම තබා ආහාරයට හා බේත්වලට ගන්ට පුරුදු විය. වර්තමානයේ මෙය අත්‍යවශ්‍ය මහානර්ඝ ඖෂධයකි. එසේම මී පැණි අපට නැතිවම බැරි මහඟු ඔසුවක් බව අපි දනිමු. ඒ නිසා එය ගැන කතා කරමු.

හිනං මධු විසෙ සෙමග හික්කා සොනිත වායුසු

කුට්ඨ මෙහෙ කිමිච්ඡද්දි කාස සාසාකිසාරපි

වණ සොධන සන්ධානං රොපණං වායු කොපණං

ලුඛං කසාය මධුරං ගාහි චක්ඛු පස සාදනං

මධුව විෂ ශ්ලේෂ්ම ඉක්කා, ලේ, පිත් යන මේවාහි පථ්‍ය වේ. කුෂ්ඨ මෙහෙකෘමිජර්දි කාස ශ්වාස අතීසාර දිනයි. වණ ශුද්ධ කර මස් වඩයි. රූක්ෂ කසට මධුර ගුණ ඇත. ඇස් පැහැදවීම කෙරේ යනු ඉහත කී ශ්ලෝකයේ ගුණ ප්‍රකාශයයි. තවද මී පැණි මධුරද ශීතද මෘදු ද වෙයි. තුන්දොස් නැසීමද ශ්වාස කාස කාස වණ නැසීමද කෙරේ. කහට රසද රළු ද වෙයි. ඇසට හිතකරය. මුඛයට පි‍්‍රය බව ද පී‍්‍රතිය ද කෙරේ. රස ධාතුව බල වඩයි. සිනිඳු ද සැරද බර බව ද යන ගුණ ඇත්තේ ය.

බෙලි ඉතා අගනා පලතුරක් මෙන්ම මහඟු ඖෂධයක් ද වෙයි. ළපටි බෙලි කසට ද උෂ්ණ ද වේ. පැසවීම අග්නි දීප්තිය මල බැඳීම තියුණු වා සෙම් පහකිරීම කෙරේ තික්ත හා කුළු රසය ඇත. පැසුණු බෙලි සුවඳ ද මිහිරි ද දොස් බහුල ද වෙයි. මල බද්ධ කරයි. නොදිරයි. අමු බෙලි ගුණ අධිකයි. ඉදුණු බෙලි ප්‍රණීතය. මල බද්ධය දුරු කරයි. බෙලි මෑ සෙම් වාත ආමරුජා නසයි. බෙලි මුල් වාත සෙම වමන රත්පිත යන මේවා නසන්නේ ය.

පොල් අප නිතර ආහාරයට ගන්නා ඉතා වටිනා ගෙඩි වර්ගයකි. ජන ජීවිතයට ඉතා අවශ්‍ය නිසා පොල් ගසට කප්රුක යයි කියති. බර බවද සිනිඳු බවද පිත නසන බවද මධුර හා ශීත බව ද යන ගති පොල් කිරේ ඇත. මාංශ වැඩීමද ශරීර ශක්තියද තර බවද ඇති කෙරේ. මුඛයට

පි‍්‍රයජනකයි. මල මූත්‍රාශය ශුද්ධ කරයි. ලා පොල් මූත්‍ර දෝෂ ද පිත, වමනය, පිපාසය, දාහය හා ආමය ද නැති කරන්නේ ය. රක්තය සහිත පිතින් හටගත් රෝග වහා නසන්නේ ය. විවිධ රෝග පීඩාදියට ගුණදායකය.

ගුණ හතක් ඇති ඔසුවකි එළබටු. අග්නිය වඩන වාතය නසන ලේ හා ශුක්ල වඩන කාස අරුචි පණුදිය නැගීම නසන දෙයකි. ළපටි එළබටු සෙම් පිත් නසයි. පැසුණු එළබටු ක්ෂාර සහිතය. පිත් වඩයි. අඟුරුවලින් පිසන ලද එළබටු මඳක් පිත් වැඩීමද, වා සෙම් මේදස් පහ කිරීම ද කෙරේ. සාරද සැහැල්ලු ද උතුම් ද වෙයි.

කිරි අංගසම්පූර්ණ ආහාරයක් මෙන්ම වටිනා ඔසුවකි. සිනිඳු මධුර ඕජස් වඩන ධාතු වඩන වා පිත් පහකරන පිනවන සෙම් වඩන බර ශීතල යන ගුණ කිරිවල තිබේ. පපුවට පි‍්‍රය බවද නුවණ වැඩීමද රත්පිත් හා වාත පහ කිරීමද ජරාව නැසීමද කෙරේ. මී කිරි අතිශයින් මධුර බවද අග්නිය නසන බවද නිද්‍රා කාරක බවද එහි ඇත. එළකිරි බෙහෙවින් ජීවනීය වේ. රසායනීයයි.

ක්ෂතයන්ටද ක්ෂණීයන්ටද මේධාවටද බලයට ද හිතය. මීකිරි බොහෝ ජඨරාග්නිය ඇති අයටද නිදි නැත්තා වූ අයට ද පථ්‍යයි. බරය. පැන්බීම අඩුවෙන්ද වෙහෙසවීමෙන්ද කුළු තික්ත ශාක වර්ග කෑමෙන්ද සැහැල්ලු වේ. කිරි ඉතා මිහිරි ද සිනිඳු ද උතුම් ද වෙයි. වා, පිත් පහ කරයි. එකෙනෙහි ශුක්ල ඕජස් වඩයි. සියලු ශරීරයන්ට ආත්ම ශක්ති කෙරේ තර කරයි. බල වඩයි. අතිශයින් ධාතු වඩයි. සන්ධි සවි කරයි. වයස ස්ථාපනය කරයි. රසායනීය වේ. විරේක වමන වස්ති යන මේවාට සමාන වෙයි. පරණ උණ, කැස්ස, මුර්ජාභ්‍රම මනසේ රෝග යන මේවාටද ග්‍රහණි පණ්ඩු දාහ පිපාස ළය රෝග ශූල උදාවර්ත ගුල්ම වස්ති රෝග ගුදකීල රත්පිත් අතීසාර යෝනි රෝග විඩා ක්ලාන්ත ගැබ් වෑහීම යන මේවාටද නිතර හිතය. බාල, තරුණ, මහලු අයටද වෑරුණ අයටද බඩගින්නෙන් මෛථුනයන්ගෙන් වැහැරුණ අයට ද කිරි හැම කල්හි අතිශයින් හිතකරය.

එළකිරි බල වඩයි. ජීවත් කරවයි. ආයුෂට හිත ද පුරුෂ බලය ද ඇත්තේ ය. හෘදයට පි‍්‍රය බවද නුවණ වැඩීමද රත් පිත් හා වාත පහ කිරීමද කෙරෙයි. එළුකිරි බරද මධුර ද සිනිඳු ද උෂ්ණ ද වේ. සෙම පිත් ජය ගනී. මව්කිරි ලෝකයේ ඇති උතුම් කිරි වර්ගය බව කිව හැකි ය. මව්කිරි ආත්ම ශක්තියද ආත්මයට හිත බවද ඇත. පුෂ්ටිය ද තෙත් බවද කෙරේ, මව්කිරි තැවීම ගැල්වීම නශ්‍ය කිරීම යන මෙයින් අභිඝාත වාත පිත්ත රෝග ද රක්ත රෝගද ඇස් රෝග ද ජයගනී. දොවා ගත් විගස උෂ්ණ කිරි අමෘතයක් හා සමවෙයි. කිරි යොදය ධාතු පෝෂණය ද වා පිත් දුරු කිරීමද සිනිඳු ද යන ගුණ ඇත්තේ ය.

ගිතෙල්

ඛීරකො උද්ධටං රත්තපිත්ත නෙතෙත සුපූජිතං

සිනෙහෙසු වරං සීතං ඨා පනං වයසොගතං

කිරෙන් නගන ලද වෙඬරු රත්පිත්හිද නෙත් රෝගයන්හිද පසස්නා ලද්දේ ය. ගිතෙල් ඇසට හිත මධුර ධාතු ශක්තිය දෙන ගිනි වඩන ශීත වීර්යය ඇති විෂ හා අශොභාව පාපය පිත වාත යන මේවා පහ කරන දෙයකි. මද වූ වැහීමද බැබළීම ඕජස තේජස මනා බව නුවණ ශබ්දය පරීක්ෂාව යන මේවා ඇති කරනු ලැබේ. ආයු බල ප්‍රඥා දෙයි. බරය. උඩට නැගීම උණ උමතු රුජා බඩ පිරී දැමීම වණ පහ කරයි. අලුත් එළ වෙඬරු මද වඩයි. සිහිල ශරීර වර්ණය බලය අග්නිය යන මේවා දෙනු ඇත. එළඟිතෙල් අතිශයින් ශ්‍රේෂ්ඨ උතුම් දෙයක් වේ. ගව ගිතෙල විශේෂයෙන් ඇසට හිත ද ධාතු පෝෂණද වෙයි. මධුර පැසීම් ද ගිනි වැඩීමද වා, පිත් සෙම් තුන්දොස් නැසීම ද කරන මහඟු ඔසුවකි. මනා බව නුවණ ශුක්ල බැබළීම වැඩිදියුණු කෙරේ. වර්ධනය කෙරේ. පාපය රාක්ෂසය අශෝභන බව දුරලයි. වයස පැවැත්ම ඇති කරයි. බර පිරිසුදු බල වැඩීම වේ. ධාතු ශක්තිය හා ආයු දෙයි. සුවඳ රුචි මනහර සියලු ඝෘතයන්ගෙන් ගුණාධිකද වේ. මී ගිතෙල් පිත ලේ වාත නසයි. සිහිල් වේ. සෙම් වැඩීමද ධාතු පෝෂණය පැසවීමද කෙරේ. බර මධුර බව තිබේ. එළඟිතෙල ගින්න ඇති කරයි. බල වඩයි. ඇසට හිතයි. කැසිමුස ක්ෂය රෝගයන්හි පැසීමෙහි ද හිතකරය. කුළු රසය.

පස් වසර ගෙවූ එළඟිතෙල කෂාය ගුණයට බඳු රසයි. දස වසක් පරණ ගිතෙල ඊට වඩා අධික ගුණ ඇත්තේ ය. අවුරුදු සියයක් තැබූ ගිතෙල කුම්භ සප්පි නම් වේ. ශ්‍රේෂ්ඨය. එම ගිතෙල අපස්මාර රෝගීන්ට ද වියරුහුණුවන්ටද විටෙක මලත් විටෙක ලේත් වෑහෙන ප්‍රබාහිකා නම් අතීසාර රෝගීන්ට ද විෂෙන් පීඩිත වූ අයට ද බෙහෙතකි. සමට වර්ණය ගෙන දී ශරීර සන්තර්පණය ද කෘශ ද කරන්නේ ය.

කිරිවලින් ලබා ගන්නා ගුණදායක මෝරු ඇඹුල් කසට රස ඇත්තේ ය. ගිනි වඩයි. වා සෙම් දිනයි. අර්ශස් ග්‍රහණි කෘච්ඡා කළු උදර ජ්වර අරුචි පිලා ගුල්ම ඝෘතයෙන් ආ ව්‍යාධි විෂ පාණ්ඩු යන මේවාට මෝරු පසස්නේ ය. ශීත කාලයෙහිද අග්නි මාන්දයෙහි ද කථයෙන් වූ රෝගයෙහි ද ස්‍රොතසුන්ගේ නිරෝධයෙහි ද දුෂ්ට වාතයෙහි ද මෝරු යහපත් වේ. වස්ති ශුද්ධ කිරීමෙහි ද පසස්නා ලද බව කිව හැකි ය.

ක්ෂත රෝගයන්ට මෝරු දීම හොඳ නැත. උෂ්ණ කාලයෙහි ද බලහීනයාටද මූර්ජා සීසැරීම් දාහ යන රෝගයන්හිද නොදිය යුතු ය. ශීත කාලයේද අග්නි මාන්දයෙහිද සෙමෙන් උපන් රෝගයෙහි ද මල මූත්‍ර මාර්ග වැළකීමේ දී කිපුණා වූ වාතයෙහි ද මෝරු පසස්නේ ය. යහපත් වේ. කිරෙහිදු හබලපෙති බල වඩය. මල බැඳීම කරයි. සාමාන්‍යයෙන් හබලපෙති බර බවද සිනිඳු බවද සෙම් වැඩීමද ඇති අතර ස්ථුල කරන බවද කිව යුතු ය.

මුදවාපු කිරි (දීකිරි)

මධුර බව ද මුඛයට පි‍්‍රය බවද රුචිය හා බර බවද ඇත්තේ ය. පැසීමේ ඇඹුල් වෙයි. උෂ්ණය ද වාත නසන බවද තර කරන බවද උතුම් බව ද යන ගුණ තිබේ. මී ගවයන්ගේ දී ඉතා ශීතය. රත් පිත් ප්‍රසන්න කරයි. ධාතු පෝෂණය ද පැසීමේ මධුර ද බරද සෙම් වඩන බව ද ඇත්තේ ය. සාමාන්‍ය ගවයින්ගේ දී කිරි වාතය නසයි. රුචිකර බව ද ශීත බවද මධුර ද අග්නි දීපනයද බල වඩන බව ද යන ගුණ තිබේ. බැටළු දී කිරිවල සෙම් වා ක්ෂය රෝග පහ කරන බව ද අර්ශස් ශ්වාස කාස යන මේවාට හිතකර ද අග්නි දීප්තිය ද සැහැල්ලු බව ද ගුණ වශයෙන් තිබේ.

එළු දී කිරේ අර්ශස් සෙම් රෝග යන මේවා පහ කරන ගුණ ඇත්තේ ය. පැසීමෙහි ද රසයේ ද මිහිරි වේ. කසටය වාත පිත්ත නැසීම කරයි. දී කිරේ යොදය බරය. ධාතු පෝෂණය කරයි. ශීත ද තෙල් ඇති කරන බවද සෙම් වඩන බවද ඇත. ස්ථුල කරන වාතය නසන බල වැඩි කරන ගුණ තිබේ.

දැන් අපි වී වර්ග හා ඒවායේ බත්වල ගුණාගුණ කෙටියෙන් විමසා බලමු. හැල්, හැටදා, හැල් වී යනුවෙන් ධාන්‍ය වර්ග භේද තුනකි. ඒවායින් හේමන්ත ඝෘතුවේ හටගන්නා වූ වී ඇල් යයි ද ගී‍්‍රෂ්ම කාල හටගන්නා වූ ඒවාට හැටදා හැල් යයි ද වර්ෂා කාලයේ හටගන්නා වූ වී වර්ග යයිද කියනු ලැබේ. රත් හැල් තුන්දොස් නසයි. ඇස්වලට හිත වේ. මූත්‍ර ද ශුක්ල ද වඩනේ ය. එය පිපාසය නැසීම ද බල ඇති කිරීම ද මුවට පි‍්‍රය බව ද කටහඬ පැහැදිලි වීමද යන ගුණ ඇත්තේ ය. අනෙක් හැල් රත්හැල්වලට වඩා මඳක් ගුණ අඩු ය. හැටදා හැල් තුන් දොස් කෝප කරයි. කලම නම් හැල් තුන්දොස් හා දූෂ්‍ය ලේ නසයි. ඇසට හිත ද කසට සහිත ද වෙයි.

සාමාන්‍යයෙන් හැල්, ජාති, මිහිරි රසයෙන් යුක්ත ය. මහ හැල් රත් හැල්, කල මහ හැල්, සුවඳ හැල් (සුවඳැල්)යනුවෙන් හැල් වර්ග ඇත. වහා ඉදෙන හෙයින් සැහැල්ලු වේ. සිනිඳු ය. මද වඩනේ ය. තුන් දොස් නසන හෙයින් පථ්‍යයි. හැල් වර්ග අතුරින් රත්හැල් උතුම් වේ. පිපාසය, තුන්දොස, මේද දුරු කරයි. පුරීෂ, වාත, මඳ බව කෙරේ රත්හැල්වලට වඩා මහ හැල් අතිශයින් ධාතු පෝෂණය කෙරේ. මද වඩයි. සුවඳ හැල් සැහැල්ලු ද රුචිකර ද වෙයි. කල මහ හැල් සෙම් පිත් නසා අනෙක් හැල් වර්ග ඉහත කී සාලීනට සම ගුණ ඇත. එළ හැටදා හැල් බරද ශීත වීර්යය ද තුන් දොස් නසන බවද යන ගුණ ඇත්තේ ය. කළු සැටදා හැල් පැසවීම රස දෙකින් මඳක් ගුණ අඩු ය. මඳක් රතු වී උෂ්ණ සහිත ද තුන් දොස් ඩහදිය මල මූත්‍ර වැඩීම කෙරේ අධික පිත ඇති කෙරේ. පැසීමෙහි මධුර බව ද දුර්වලකර බවද බර බවද ඇත්තේ ය.

තල ඉතා ගුණදායක කුඩා ඇට වර්ගයකි. පැසෙන කල මිහිරි වේ. සිනිඳු බල වඩන ශීත වීරිය ඇත. ශරීර බල ද ගිනි ද නුවණ ද උපදවයි. හමට ද කෙසට ද හිතය. මූත්‍ර මඳව ඇති කරයි. වාත නසයි. කළුතල අනිත් සියලු තලවලට වඩා ශ්‍රේෂ්ඨය. එළතල මධ්‍යම ගුණයි. තල් වාතය නසන ධාතු හා මාංශ වර්ධනය කරන ගුණ ඇත. කෘමි, කුෂ්ඨ රත්පිත් නසයි. මධුර වෙයි. තල්වල ගුණ සතක් ඇත. ඉදුණු තල් බරය. වෘෂ්‍යය පිත් වඩවයි. පිනවයි.

 

 

 

ඡ්‍යොතිෂවේදී

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.