රුධිර පීඩනයට ගුණ දෙන ඇඹරැල්ලා

මාර්තු 19, 2021

ඇඹරැල්ලා ආයුර්වේද ක්‍රමවේදයේ ඉතා වටිනා ගුණවත් ඖෂධ නිපදවිය හැකි ශාකමය ඖෂධයකි. දේශීය ආහාර ක්‍රමවේදයේ ඉතා රසවත් පලතුරක් වන ඇඹරැල්ලා ගුණදායි වෑංජනයකි. ලොකු කුඩා කවුරුත් එම වෑංජනයට දක්වනුයේ මහත් පි‍්‍රයතාවයකි. එයට හේතුව වනුයේ එයටම ආවේණික රසයක් හා ගුණයක් පැවතීමය.

ඉදුණු ඇඹරැල්ලා භාවිත කර රසවත් ඇඹරැල්ලා ජෑම් සෑදීමටත් පැසුණු ඇඹරැල්ලා භාවිත කර චට්නි, අච්චාරු වැනි අතිරේක ආහාර නිපදවීමටත් ගෘහණියෝ කටයුතු කරති. ඇඹරැල්ලා කෙතරම් අප ජන ජීවිතය හා බැඳී පවතීදැයි කිවහොත් ශ්‍රී ලංකාවේ බොහෝ ගම්වල ගෙවතු හතරකින් එක ගෙවත්තක හෝ ඇඹරැල්ලා ශාකයක් දැකගත හැකිය.

ඇඹරැල්ලා යනු හෘදයට වඩාත් හිතකර පලතුරකි. ඖෂධ ගුණයෙන් වැඩි ඇඹරැල්ලා ශාකයේ පවතින රෝග නාශක ඖෂධීය ගුණය හේතුවෙන් නිවසේ සිටම ඇඹරැල්ලා ශාකයෙන් ඖෂධ නිපදවා ගැනීමට පිළිවන.

ඉදුණු ඇඹරැල්ලා භාවිතයට ගැනීමෙන් ශරීරයේ හටගන්නා වා, පිත්, සෙම් දෝෂ සුවවෙයි. ඇඹරැල්ලා යනු කැල්සියම්, පොස්පරස්, විටමින් ඒ, විටමින් බී, විටමින් සී, ආදී පෝෂණ ගුණයෙන් යුත් පලතුරකි. ඇඹරැල්ලා ගෙඩිවල ආහාර රුචිය වැඩිකිරීමේ විශේෂ ගුණයක් තිබේ. එමෙන්ම විශේෂ වේදනානාශක ගුණයක් ද පවතියි. හන්දිපත් ඉදිමුම, තැලීම් ආදියට මෙම වටිනා ඖෂධයෙන් බෙහෙත් සාදාගත හැකිය. ශරීරයෙන් රුධිරය වහනය වන විවිධ අවස්ථාවල දී රුධිරය වහනය වීම වළකාලීමට ද ඇඹරැල්ලා ඖෂධයට පිළිවන.

ඇඹරැල්ලා ගසේ පිටපොත්ත ගෙන ලුණු , ගම්මිරිස් , අමු ඉඟුරු, ස්වල්පය බැගින් මිශ්‍රකර හොඳින් කොටාගෙන නස්නාරං ඇඹුලෙන් කොටාගත් මිශ්‍රණය අනා අධික සෙම් සහිත අයගේ උගුරේ එම මිශ්‍රණය ආලේප කිරීමෙන් සෙම ඉවත් වෙයි. සෙම්ගෙඩි ප්‍රදාහ පවතින අය එම මිශ්‍රණය ඒ මතුපිට ආලේප කිරීමෙන් සුවයක් ලබාගත හැකිය. එම සුවය ක්ෂණිකව ලැබෙයි. එයට හේතුව ඇඹරැල්ලා යනු හොඳ වේදනානාශකයක් බවට පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බැවිනි.

කම්කරු රැකියාවන් කරන බොහෝ දෙනෙක් පීඩා විඳින හන්දිපත් ඉදිමුම්, හන්දි වේදනා, තැළීම් රක්ත ඉදිමුම් සඳහා ඇඹරෙල්ලා ගසේ පොතු ස්වල්පයක් ගෙන සියුම් ලෙස ලුණුදියෙන් අඹරා කකාරා වේදනා ඇති ස්ථානවල ආලේප කිරීම මඟින් සුවය ලබා ගත හැකිය.

ඇඹරැල්ලා පොතු ස්වල්පයක් වියළා මුට්ටියකට දමා එයට වතුර පත අටක් දමා පත එකට සිඳුවා එයට දෙළුම් ඉස්ම හා මී පැණි ස්වල්පයක් මිශ්‍රකර උදේ පත භාගයක් හා සවස පත භාගයක් පානයට ගන්නේ නම් අතීසාර රෝගය දුරුකර ගත හැකිය.

කාන්තාවන්ගේ ගර්භාශ රෝග සඳහා හොඳින් ඉදුණූු ඇඹරෙල්ලා පලතුරක් ලෙස ගැනීම ගුණදායකය. එසේ නොමැති නම් ඉහත සඳහන් සෑම රෝගයක් සඳහාම ඇඹරෙල්ලා දලු සම්බෝලයක් ලෙස සකසා එදිනෙදා ආහාරවේලට එකතුකර ගන්නේ නම් එය ද ඉතාම ගුණදායකය. ගොටුකොළ සම්බෝලය සාදන ආකාරයකටම ඇඹරෙල්ලා දලු සම්බෝලය සාදාගත හැකිය.

අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ට යම් පලතුරක් නිර්දේශ කරන්නේ නම් ඒ අතරින් මූලිකම පලතුර වන්නේ ඇඹරැල්ලා ය. එයට හේතුව ඇඹරැල්ලා හෘදයට ඉතාම හිතකර පලතුරක් වීමය.

ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ හෘදයට හිතකර ද්‍රව්‍ය 10 ක් දැක්වෙයි. ඒ අතර හෘදයට හිතකර මූලිකම ද්‍රව්‍යයක් වන්නේ ඇඹරැල්ලාය. හෘද රෝගීන්ට වගේම දියවැඩියා රෝගීන්ට ද ඇඹරෙල්ලා ඉතාම ගුණදායක පලතුරකි. එවැනි රෝගීන් සඳහා දිනපතා උදේ ඉදුණුූ ඇඹරැල්ලා ගෙඩියක් ආහාරයට දීම ඉතා වටිනේය. එසේ නොමැති නම් ඇඹරෙල්ලා වෑංජනයක් හෝ ඇඹරැල්ලා සම්බෝලයක් ඔවුන්ගේ ආහාරවේලට එකතු කිරීම ගුණදායකය.

කට තුළ හටගන්නා සෙම්ගෙඩි, තුවාල සුව කිරීමට ද, දත් නරක්වීම වළක්වාලීමට ද සුදුසු ඖෂධයක් ඇඹෙරෙල්ලා කොළවලින් සාදා ගත හැකිය.

ඇඹරැල්ලා කොළ මද අව්වේ හොඳින් වියළා හොඳින් පැසවා ගත් උණුවතුර බදුනකට වියළා ගත් කොළ මිශ්‍රකර එම උණුවතුර බදුනට සහිඳ ලුණු මිශ්‍ර කර ඒ දියරෙන් කට සේදීමෙන් සෙම්ගෙඩිවලට හා කට තුළ හට ගත් ඕනෑම තුවාලයක් සුවකර ගැනීමට පිළිවන.

ඉපැරණි වෛද්‍යවරු පීනස රෝගය ඇති විටකදී ඇඹරෙල්ලා ගහේ මැලියම් ගෙන එම මැලියම් පුච්චා ඉන් නඟින දුම ආශ්වාස කිරීමෙන් පීනස නැතිවන බව සොයා ගෙන ඇත.

බොහෝ දුර පයින් ගිය විට හෝ වෙහෙස මහන්සවී වැඩ කළ විට දෙපා ඉදිමීම, දෙපා රුදාව හට ගනියි. එවැනි අවස්ථාවන්හිදී ඇඹරැල්ලා ගහේ පොතු ගෙන හොඳින් කොටා කුඩුකර එම කූඩුවලට සමව අරළු කුඩු ස්වල්පයක් ගෙන කලවම් කර එය දෙහි ඇඹුලින් අඹරා දෙපාවල ආලේප කිරීම හොඳ ප්‍රතිකර්මයකි.

එසේ නොමැති නම් හන්දිපත් වේදනාවක් ඇතිවූ විටක ඇඹරැල්ලා කොළ සහ පොතු තම්බා කෂායක් ලෙස පානය කිරීම ද ගුණදායකය. සුව නොවන තුවාල ඇති අයට තුවාලවල ආලේප කළ හැකි ඖෂධයක් පහත දැක්වෙයි.

ඇඹරැල්ලා කොළ මඳ පවනේ වියළාගෙන හොඳින් කුඩුකර එම කුඩුවලට එළඟිතෙල් ස්වල්පයක් මිශ්‍රකර හොඳින් කලවම් කර ඉන් ඇතිවූ ඕනෑම තුවාලයකට එම ද්‍රාවණය ආලේප කිරීමෙන් සුවය ලැබෙයි.

ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවලට අනුව ශ්‍රී ලංකාවේ හටගන්නා ඇඹරෙල්ලා ප්‍රභේද තුනකින් යුක්තය. ඇඹරැල්ලා, වල් ඇඹරැල්ලා හා කටු ඇඹරැල්ලා යනු ඒ ප්‍රභේද තුනයි. මේ හැම ඇඹරැල්ලා වර්ගයක්ම ඖෂධ නිෂ්පාදනයට යොදා ගැනෙයි.

ගැබිනි මව්වරුන් සිය දරු ප්‍රසූතියෙන් පසුව ශරීරය අප්‍රාණික තත්ත්වයෙන් සේම දුර්වල තත්ත්වයකින් පසුවෙයි. එවැනි අයට කටු ඇඹරැල්ලා දලු කෂාය කර බීම ගුණදායකය. දරු ප්‍රසූතියයෙන් පසුව ඇතිවන අධික රුධිර වහනය දුරු කිරීමට ද මෙම කෂාය ගුණදායක වෙයි.

බෙල්ලේ වේදනාවක් ඇතිවී බෙල්ල නැමීමට අපහසු වේ නම් වල් ඇඹරෙල්ලා පත්තුව සතියක් පමණ බෙල්ලේ බැඳීමෙන් සුවකර ගත හැකිය.

වල් ඇඹරැල්ලා කොළ හා පොතු ස්වල්පයක් ගෙන එයට හරං කහ, ලුණුවරණ පොතු, කොට්ටපොල් සමවගෙන සියල්ල එකට මිශ්‍රකර හොඳින් කොටා ඉන්පසුව එම මිශ්‍රණය මලවා පත්තුව සාදා ගැනීමට පුළුවනි.

ඉදුණු සාමාන්‍ය ඇඹරැල්ලා ගෙඩි කිහිපයක් ගෙන පොතු ඉවත්කර කැබලිවලට කපා ඇට ඉවත් කර තබාගෙන ඉන්පසුව බඳුනකට ජලය කෝප්ප දෙකක් පමණ දමා ළිපේ තබා හොඳින් රත්වූ පසුව එයට සීනි ග්‍රෑම් 100 ක් පමණ මිශ්‍රකර උකු ගතිය ආ විට ඇඹරෙල්ලා කැබලි එකතු කර එයට මිරිස්කුඩු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු ස්වල්පයක් හා විනාකිරි ස්වල්පයක් මිශ්‍රකර උකු පදමට ආ විට ළිපෙන් බා නිවුන පසුව බෝතලයකට දමා ගැනීමෙන් ඇඹරැල්ලා චට්නි සාදා ගත හැකිය.

දියවැඩියා රෝගීන් ඇත්නම් චට්නිය සඳහා අඩු සීනි ප්‍රමාණයක් භාවිත කිරීම සුදුසුය.

ඔසු ගුණ ඇති අපේ ආහාර නම් කෘතිය ඇසුරෙන් සකස් කරන ලදී.

 

ඒ.යූ.ගුණපාල

(ආරච්චිකට්ටුව සමූහ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.