අපි කන ලුණුවල අයඩින් තියෙනවාද?

මාර්තු 26, 2021

1980 දශකයේ අවසාන භාගයේ දී වෛද්‍ය පර්යෙය්ෂණ ආයතනය විසින් පවත්වන ලද සමීක්ෂණයකින් හෙළිවූයේ ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල ගලගණ්ඩය (වායුගෙඩි) රෝගය බහුලව දක්නට ඇති බවයි.

මෙයින් සනාථ වූයේ දිවයිනේ අයඩීන් ඌනතා රෝග පැතිරීමේ තර්ජනයක් ඇති බවයි. ආහාරවලින් ප්‍රමාණවත් අයඩින් ශරීරයට නොලැබීමෙන් ගලගණ්ඩය(වායුගෙඩි) මානසික වර්ධනය පසුබැසීම බුද්ධිමය හැකියාව හා නිෂ්පාදන හැකියාව අඩාළ වේ. මීට අමතරව ඌනතා රෝග තත්ත්වය ක්‍රෙටිනතාවය (කුරුභාවය) දක්වා විහිද යා හැකි ය. එය වැළැක්වීම සඳහා දිනපතා අයඩින් යම් ප්‍රමාණයක් ශරීරයට ඇතුළත් විය යුතු ය. මේ නිසා අයඩින් ලුණුවලට මිශ්‍ර කිරීමෙන් දිනපතා ආහාරයත් සමඟ ශරීරයට ලැබෙන්නට සලස්වන ලදී. ලුණුවලට අයඩින් එකතු කිරීමේ අරමුණ වූයේ සියලුම ජනතාවට දිනපතා අයඩින් ලබා දී අයඩින් ඌනතා රෝග තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. ඒ අනුව 1993 වර්ෂයේ සිට ආහාර රෙගුලාසි යටතේ අයඩින් මිශ්‍ර ලුණු හැරුන විට වෙනස් කවර ආකාරයට හෝ ආහාරමය ලුණු වර්ගයක් මිනිස් පාරිභෝජනය සඳහා නිෂ්පාදනය කිරීම, වෙළඳාම හා ගබඩා කර තැබීම, වෙළඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම, ප්‍රවාහනය කිරීම, ආනයනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට ප්‍රකාශ කරන ලදී.

අයඩින් ලුණු සඳහා මේ තරම් දැඩි නීති පනවා ඇත්තේ අයඩින් ඌනතාවය මිනිස් කළලයේ සිට වයෝවෘද මහල්ලා දක්වා ඉතා දරුණු භයානක ජීවිත තර්ජන ඇති කරන හෙයිනි. ගර්භණී සමයේ අයඩින් ඌනතාවයට ලක් වූ මවකගේ කළලය ගබ්සා විය හැකියි මළදරු උපතක් සිදුවිය හැකි අතර දරුවා ඉපදුණත් මොළයට හානිවිය හැකියි. ළමා යෞවන අවධියේ බුද්ධිමට්ටම අඩුවීම, කතාවේ හා ඇසීමේ දෝෂ, කායික වර්ධනය පසුබටවීම ගලගණ්ඩය මෙන්ම වැඩිහිටි වයසේ දී තයිරොයිඩ් ඌනතාවය නිසා ශක්තිය අඩුකම උදාසීනත්වය, ඵලදායිතාවය අඩුවීම, මානසික ක්‍රියාකාරකම් පසුබැසීම ආදී තත්ත්වයන් ඇතිවිය හැකියි. මේ නිසා අයඩින් ඌනතාවය නිසා ඇතිවන රෝග සහ සංකූලතාවලින් මහජනතාව බේරා ගැනීම සඳහා ලුණුවලට අයඩින් එකතු කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී.

වැඩිහිටි අයකුගේ දෛනික අයඩින් අවශ්‍යතාවය මයික්‍රොග්‍රෑම් 15 කි. එක් පුද්ගලයකුට තම ජීවිත කාලය සඳහාම අවශ්‍ය වන්නේ තේ හැන්දක් පිරවීමට තරම් වන අයඩින් ප්‍රමාණයකි. එහෙත් මෙහි විශේෂත්වය නම් අයඩින් නිරතුරුවම එනම් දිනපතාම ලැබීමේ වැදගත්කමයි. පසෙහි සහ ජලයෙහි අයඩින් අඩංගු නිසා අප ගන්නා ආහාර හා ජලය මඟින් අපට ස්වභාවිකම අයඩින් ලැබේ. අයඩින් අවශ්‍යතාවයෙන් 90% ක් ආහාරවලින් ද 10% ක් ජලය මගින්ද ලැබේ. අයඩින් අඩංගු වන්නේ පසෙහි වැඩෙන භෝගවල සහ ජලයෙහිය. එහෙත් ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල පසෙහි අවශ්‍ය තරම් අයඩින් අඩංගු නොවේ. එසේම ගංවතුර සහ මෝසම් වැසි හේතු කොටගෙන පසෙහි ඇති අයඩින් සේදී ගොස් ගංගාවලට එකතු වී මුහුදට ගලායයි. මෙවැනි ප්‍රදේශවල පසෙහි අයඩින් නොමැති නිසා එම පසෙහි වැවෙන විෂ පලතුරු සහ පලාවර්ගවල අයඩින් අඩංගු නොවේ. එම ආහාර පාරිභෝජනයට ගන්නා ජනතාවට අයඩින් නොලැබෙන අතර ඔවුන්ට අයඩින් ඌනතා රෝග ඇතිවීම නොවැළැක්විය හැකි ය. ඔවුන් අයඩින් ඌනතා රෝගවලින් ආරක්ෂා කර ගැනීමට සඳහා අයඩින් මිශ්‍ර ලුණු වෙළඳපොළට හඳුන්වා දෙන ලදී.

ශ්‍රී ලාංකික ජනතාවගේ අයඩින් ඌනතාවයට දිගු ඉතිහාසයක් ඇති අතර එය පළමුවරට හඳුනා ගනු ලැබුවේ 1951 වර්ෂයේ දී . ඉන්පසු අවස්ථා කිහිපයක දී කරන ලද සමීක්ෂණවලින් අයඩින් ඌනතාවය පිළිබඳ ගැටලුව හඳුනාගෙන ඇත. 1992 වර්ෂයේ දී සිදු කළ සමීක්ෂණයක් අනුව එක් එක් දිස්ත්‍රික්කවල අයඩින් ඌනතා මට්ටම හඳුනාගත් අතර පාසල් ළමුන්ගෙන් 5% කට වඩා අයඩින් ඌනතාවය ඇති බව හෙළි විය. මේ සමීක්ෂණ ප්‍රතිඵල අධ්‍යයනය කළ සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු දෙනා හැමදාම භාවිත කර ලුණුවලට අයඩින් මිශ්‍ර කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව අයඩින් මිශ්‍ර ලුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, ලුණුවල අයඩින් තත්ත්වය සොයා බැලීම සෞඛ්‍ය නිලධාරීන්ට පවරන ලදී. ලුණු සැපඩිම හා බෙදා හැරීම වාණිජ අමාත්‍යාංශයට භාර විය. නියමිත ප්‍රමිතියට අනුව ලුණු නිෂ්පාදනය කරන්නේද යන්න සොයා බැලීම කර්මාන්ත අමාත්‍යාංශයේ වගකීම විය. ලුණු අයඩින් කරණය සඳහා අවශ්‍ය නීත්‍යානුකූල අණ පණත් සැකසීම අධිකරණ අමාත්‍යාංශයට පැවරිණි.

ලුණුවලට අයඩින් මිශ්‍ර කිරීම විශේෂිත රසායනික ක්‍රමයකට සිදුවේ. මුලින්ම ලුණු ලේවායවල ලුණු සෝදා වේලා කුඩු කෙරේ. මෙම කුඩු කොටස් දස ලක්ෂයකට පොටෑසියම් අයඩින් කොටස් 25 ක් හෝ පොටෑසියම් අයඩේට් කොටස් 40 ක් මිශ්‍ර කෙරේ. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අයඩින් සැපයුනද ඒවා ශරීරයට අවශෝෂණය නොකර බැහැර කරයි. නිෂ්පාදන මට්ටමේ දී පැවැතිය යුතු අවම අයඩින් මට්ටම මිලියනයකට කොටස් 50 කි. සිල්ලර වෙළඳසලේ ඇති පාරිභෝගිකයා මිලට ගන්නා ලුණුවල පැවැතිය යුතු අයඩින් අවම මට්ටම මිලියනයකට කොටස් 25 කි. නිෂ්පාදනයේ දී වැඩිපුර අයඩින් එකතු කරන්නේ ගබඩා කිරීමේ දී හා ප්‍රවාහනයේ දී සූර්යාලෝකයට විවෘත වීම නිසා අයඩින් විනාශවන හෙයිනි. නිෂ්පාදනයේ දී වැඩියෙන් එකතු කරන අතර ආහාරයට ගන්නා මට්ටමේ දී නියමිත ප්‍රමිතියට පත් වේ යැයි විශ්වාස කෙරේ. ලුණු පැකට් කිරීමේ දී ආහාරයට ගන්නා සාමාන්‍ය ලුණු මිශ්‍රණය හෝ අයඩින් කරණය කරන ලද ලුණු බව පැකට්ටුවේ සඳහන් කළ යුතු ය. එමෙන්ම කල් ඉකුත් වීමේ දිනය සඳහන් කිරීම අනිවාර්ය වේ. නොසෝදා භාවිතා කරන්න යන උපදෙස් සූර්යාලෝකයෙන්, තාපයෙන් ඈත් කර ගබඩා කකර තැබීමට උපදෙස් භාෂා තුනෙන්ම සඳහන් කළ යුතු වේ. 19269 අංක 26 දරන ආහාර පනතේ 32 වැනි වගන්තියට අමතරව 1992 ලුණු අයඩින් කරණය පිළිබඳ විශේෂ රෙගුලාසි පනවන ලදී. මේ රෙගුලාසි කඩකරන අයෙකුට අවම වශයෙන් මුදලින් රුපියල් 500/= ක හෝ උපරිම වශයෙන් රුපියල් 10000/= ක දඩයක් හෝ අවම වශයෙන් මාස 03 කට නො අඩු අවු. 05 කට නොවැඩි සිර දඬුවමකට යටත් කළ හැකි ය.

ප්‍රධාන සමාගම් දෙක තුªන හැර අනෙක් සියලු දෙනා ලුණුවලට අයඩින් එකතු කරන්නේ කුඩා මැෂිමක් මාර්ගයෙනි. මෙහිදී නියමිත ප්‍රමිතියට ලුණුවලට අයඩින් එකතු නොවන බව මහජන සෞඛ්‍ය නිලධාරීහු පවසති. මේ අනුව ප්‍රමිතියට අඩුවෙන් ලුණුවලට අයඩින් එකතු කළ විට පාරිභෝගිකයාට ලැබෙන ලුණුවල අයඩින් නියමිත ප්‍රමිතියට ඇත්දැයි සැක සහිතය. ලුණු නිෂ්පාදන කරන්නේ ඉතා දැඩි හිරු රශ්මිය ලැබෙන හම්බන්තොට, පුත්තලම දිස්ත්‍රික්කවලයි. එහිදී ලුණු දැඩි හිරු රශ්මියට භාජනය වීමෙන් අයඩින් විනාශ විය හැක. එමෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, වැනි වියළි කලාපයට අයත් දිස්ත්‍රික්කවල ලුණු ප්‍රවාහණය කිරීමේ දී මෙන්ම විවෘත සතිපොළවල් සහ පදිකවේදිකාවල ලුණු අලෙවි කරන විට තවදුරටත් සූර්යය රශ්මියට ගොදුරු වේ. එවිට ලුණුවල ඉතිරි වී ඇති අයඩින් ටිකත් විනාශ වේ. විශේෂයෙන් නියමිත තාක්ෂණය භාවිත නොකර ලුණුවලට අයඩින් මිශ්‍ර කිරීමේ ඇතිවන ඌනතා නිසා අඩුවන අයඩින් ප්‍රමාණය සූර්ය රශ්මිය නිසා තවදුරටත් අඩුවේ. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව පාරිභෝජනයට ගන්නා ලුණුවල නියමිත ප්‍රමාණයට අයඩින් අඩංගු වී ඇති දැයි සැක සහිත ය.

කෝණාර එම්. ගුණපාල

(බංගදෙණිය සමූහ.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.