රසවත් පලතුරක් හා පෝෂ්‍යදායි ආහාරයක් මෙන්ම අගනා ඔසුවක් කජු

අප්‍රේල් 9, 2021

අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතාවන් අතර විවිධ ප්‍රයෝජන ලබා දෙන ගස්වැල් රාශියක්ම දක්නට ලැබේ. ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ද ලබාදෙන ප්‍රයෝජනයන්ට අමතරව තවත් ප්‍රයෝජන රැසක් ලබාදෙන ශාකයන් අතර ‘කජු’ ගසද එක් ප්‍රධාන ශාකයක් වෙයි. රසවත් පලතුරක්,අගනා ඔසුවක් මෙන්ම අධික පෝෂණයෙන් යුතු ආහාරයක් ලෙස ද කජු හැඳීන්විය හැකිය.

 

පලතුරු මිනිසුන්ගේ අතුරු ආහාරයක් ලෙස හඳුන්වන අතර මිනිසාගේ නිරෝගීකම ආරක්ෂා කිරීමත්, රෝගවලින් සුවය ලැබීමත් සඳහා උපයෝගී කරගනු ලබන්නේ ද වේ. ශරීර වර්ධක, ශක්ති වර්ධක සහ ආරක්ෂක ගුණ පලතුරුවල අඩංගු වන අතර එවන් පලතුරු අතර ප්‍රධානතම පලතුරක් වනුයේ ද කජු ය. තවද අධික වශයෙන් පෝෂණය ලබා දෙන ආහාරයක් ලෙස ද කජු උපයෝගී කරගනු ලබන බව පෙනේ.

එසේම ඖෂධීය වශයෙන් දේශීය වෙදකමේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ද යම් යම් රෝගාබාධවලදී යොදනු ලබන ඖෂධ යෝග සඳහා ද කජු ගසේ විවිධ කොටස් යොදා ගනු ලබයි. මේ ආදී වශයෙන් බොහෝ ප්‍රයෝජනයට ගෙන දෙන ‘කජු’වල නාමය හා බැඳුණු උපමාවන් ද ජන සාහිත්‍යයේ බොහෝ සෙයින් දක්නට ලැබේ. එනම් කිසියම් කාර්යයක් ඉතා පහසුවෙන් කරන අයුරු තවත් අයකුට පැවසීමේ දී ‘කජු කනවා වාගේ’, ‘කිරි කජු වාගේ’ආදී උපමාවන් දක්වනු ලබයි.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

දකුණු ඇමෙරිකාවේ මධ්‍ය නිවර්තක කලාපීය රටවල් කජු ගසේ ජන්ම භූමිය ලෙස සලකන අතර නිවර්තන සහ උපනිවර්තන කලාපීය රටවල වැවෙන සදාහරිත ශාකයකි.

දේශීය වශයෙන්

පෘතුගීසීන් විසින් අප රටට හඳුන්වා දී ඇති ‘කජු’ මුහුදු මට්ටමේ සිට මීටර් 750 දක්වා උස බිම්වල හොඳීන් වැවෙන ශාකයක් වන කජු විශේෂයෙන් පුත්තලම, යාපනය, මන්නාරම, මොනරාගල, අනුරාධපුර ආදී ප්‍රදේශවල ඉතා සාරවත් ලෙස වවනු ලබයි. තවද කොළඹ නුවර මාර්ගයේ පිහිටා ඇති බටලීය ප්‍රදේශයේ කජුගම පිහිටා ඇති අතර ඒ ප්‍රදේශයේ කජු මද වෙළඳාම ඉතා හොඳීන් පවතියි.

කජු ශාකය විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාමය - කජු වන අතර

සංස්කෘත බසින් - කජුටකා, අරුෂකරා, අගරිකිර්ටා, ගුච්ඡ පුෂ්පා, බීහිඵල, ගිනිකර, කජ්පු,

සොප්රා, පීතපත්‍රා සහ උප පුෂ්පිකා යන නාමයන් යෙදේ.

දෙමළ බසින් - ඉන්ධිමා යන නාමය ද

හින්දි බසින් - කජු නමින් ද යෙදේ.

ඉංග්‍රීසි බසින් - ඛ්චඵඩඥඹ ව්භබ ඊපඥඥ වන අතර

කජුවල උද්භිද විද්‍යාත්මක නාමය - ඒදචජචපඤඪභථ ධජජඪඤඥදබචතඥ . ඹ් වෙයි.

කුලය ඒදචජචපඤඪචජඥචඥ හෙවත් ‘ආමුඛ කුලය වෙයි.

කජු ගසේ ස්වරූපය - විශාල ප්‍රමාණයේ ගසක් වන අතර පත්‍ර තද කොළ පැහැයකින් යුතු අතර

පත්‍රවල යටි පැත්ත ලා පැහැයක් ගනු ලබයි. මෙහි ගෙඩි හට ගැනීම අප්‍රේල් මාසයට පෙර සිදුවන අතර කජු ගෙඩියේ මදය මෙන්ම කජු පුහුලන් හොඳ පලතුරක් වෙයි.

ප්‍රභේද සැලකීමේ දී - ගෙඩියේ ප්‍රමාණය අනූව ප්‍රභේද දෙකකි. එනම්, ලොකු කජු - (පෙතන් කජු) හා කුඩා කජු වශයෙනි.

පුහුලමේ පැහැය අනුව වර්ග දෙකකි.

1. කහ වර්ණය ඇති පුහුලන්

2. රතු වර්ණය ඇති පුහුලන් වශයෙනි.

ආහාරමය වටිනාකම

කජු ගෙඩියේ මදය සහ පුහුලම ආහාරමය වශයෙන් වැදගත් වේ.

මේවා රසවත් පලතුරු මෙන්ම පෝෂ්‍යදායක ආහාර වේ. බාල, තරුණ, මහළු කොයි කවුරුත් පාහේ ඉතා ප්‍රිය කරන පලතුරක් වන කජු මදය ඉතා රසවත් ය. බොහෝ විට මෙය ප්‍රයෝජනයට ගනු ලබන්නේ ගෙඩිය පුළුස්සා ගැනීමෙනි. එහිදී එහි ඇති විෂ ගතියද ඉවත් වේ. මේ අතර මස් මාළු ආහාරයට නොගන්නා අයට ඇතිවිය හැකි ප්‍රෝටීන් ඌණතාවයන්ට කජු මදය තරම් සුදුසු තවත් ආහාරයක් නොමැත. ශරීර ශක්තිය, ශරීර වර්ධනය මෙන් ම රෝග නිවාරණ ශක්තිය ද ලබා දෙන කජු මදවල ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය සැලකීමේ දී,

කජු මද ග්රෑම් 100 ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ

ශක්තිය කැලරි 568

ප්‍රෝටීන් ග්රෑම් 18.4

මේදය ග්රෑම් 46.3

කාබෝහයිඩ්‍රෙට් ග්රෑම් 28.7

කැල්සියම් මිලි ග්රෑම් 28

පොස්පරස් මිලි ග්රෑම් 462

යකඩ මිලි ග්රෑම් 3.6

තයමින් මයික්‍රො ග්රෑම් 250

රයිබොප්ලේවින් ග්රෑම් 340

නියසීන් මිලි ග්රෑම් 2.4

විටමින් සී මිලි ග්රෑම් 1

කැරොටින් මයික්‍රො ග්රෑම් 5 ආදී වශයෙනි.

මෙවන් පෝෂ්‍ය ගුණයෙන් යුතු කජු මද රසවත් ආහාරයක් වන අතර සිංහල අලුත් අවුරුද්දේ හත් මාළුවට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. එසේම මෙකල ඉහළ පෙළේ හෝටලවල ඇති ප්‍රධානතම ආහාරයක් ද වේ.

කජු දළු අර්ශස් සඳහා ගුණ දෙන ඉතා හොඳ මාළුවක් වෙයි.නොමේරූ (තද රතු) කජු දළු ගෙන වතුරේ දමා හොඳීන් තම්බාගෙන දෙතුන් වරක් සෝදා සිහින්ව ලියාගෙන එයට රතුලූනු, අමුමිරිස්, කරපිංචා ආදිය දමා මිරිස් කුඩු, තුනපහ, පොල්කිරි එක්කර ලිප තබා සිඳුනු පසු බාගෙන ආහාරයට ගත හැක.

කජු පුහුලන් ද ඉතා රසවත් මෙන් ම ගුණදායක පලතුරකි. මෙහි විටමින් සී බහුල ලෙස ඇති අතර යකඩ ද සෑහෙන ප්‍රමාණයන් පවතියි. මේ ආදී වශයෙන් පෝෂණීය ගුණයෙන් ඉහළ මට්ටමක පවතින කජු ආහාරමය වශයෙන් විශිෂ්ට ගුණ ගෙන දෙන ද්‍රව්‍යයක් වේ.

ඖෂධීය වටිනාකම

කජු ගෙඩියේ මදය

රසයෙන් මධුර වන අතර ගුණයෙන් පිළිකා නසන ගුණයෙන් පවතින අතර ලේවල ඇති කොලෙස්ටරෝල් අඩු කරන ගුණ ද වේ. වීර්යයෙන් උෂ්ණ වේ.

කජු ගසේ පොත්ත

 

මෙය තැම්බූ වතුර බොහෝ විට මල බුරුල් වී යෑමේ දී ප්‍රයෝග කරයි. එසේ ම උපදංශයේ දී හට ගන්නා සන්ධි ඉදිමුම සහ දියවැඩියාවට උපයෝගී කර ගනු ලබයි. මෙම පොතු තැම්බූ වතුර බීමෙන් ලේවල සීනි මට්ටම පාලනය කර ගැනීම ද සිදු කරයි.

කජු ගසේ මුල්

මෙම මුල් අඩංගු ඖෂධවල විරේචන ගුණ ඇත.

කජු ලෙලිවල ඇති තෙල

මෙය ලාදුරුවල ඇතිවන හිරි ගතියට ද පොතුකබර (සොරුයිසීස්) සඳහා ද, කරගැට, ඉන්නන් සඳහා ද ආලේපය පිණිස යොදා ගනු ලබයි. එසේම එහි පණුවන් නසන ගුණ ද වේ.

කජු ගසේ ළපටි මුල් සහ කජු දළු තැම්බූ වතුර

කුඩා ළමුන්ගේ කැස්ස සමනයට

උපයෝගී කර ගනියි. තවද කජු දලු මාලුව අර්ශස් නසන අතර කජු මද අතීසාර සහ පිළිකා නසයි.

කජු පුහුලමේ යුෂ

 

ස්කර්වි (ශීතාද) රෝගයට ඉතා ගුණ දෙනු ලබන අතර ගර්භාෂ ගත රෝග සඳහා ද ගුණ දායක ය. මෙසේ පෝෂණ ගුණය සහ ඖෂධීය ගුණය බහුල ලෙස පවතින කජුවලින් ලැබෙන වෙනත් ප්‍රයෝජනද රාශියක් වේ.

කජු ගසේ පොතුවලින් ගනු ලබන යුෂ හණ රෙදි වර්ණ ගැන්වීමටත් මාළු දැල් පදම් කිරීමටත් යොදා ගනු ලබයි.

කජු ගසේ ලීය

ඉතා දැඩි නිසා පෙට්ටි, ඇසුරුම් ආවරණ, විවිධ භාණ්ඩ බෝට්ටු ආදිය සෑදීමට යොදා ගනු ලබන අතර ඉන්ධන වශයෙන් බේකරි සහ විවිධ කර්මාන්තශාලා යොදාගනු ලබයි.

කජු මැලියම් ද තවත් වැදගත් ද්‍රව්‍යයකි. පොත් ඇලවීම, බැ¼දීම ආදී කටයුතු සඳහා යොදා ගනු ලබන අතර එසේ අලවන හෝ බඳීන ලද පොත් ආදිය කෘමීන්ගෙන් ද ආරක්ෂා වනුයේ කජු මැලියම් කෘමීන්ට අහිතකර බැවිනි. කජු පුහුලන්වල යුෂය ද විවිධ පාන වර්ග සෑදීම සඳහා භාවිතා කරනු ලබයි.

ආහාරමය හා ඖෂධීය වශයෙන් මෙන්ම තවත් ප්‍රයෝජන රාශියක් ලබා දෙන කජු මද ඇතුළු අනෙක් කජු ගසේ කොටස් ඉතා වැදගත් හා ප්‍රයෝජනවත් ද්‍රව්‍ය වේ. බාල, තරුණ, මහළු සියලු දෙනාම බොහෝ ප්‍රිය කරන ‘කජු මද’ නිතර ආහාරයට එක්කර ගැනීමෙන් රෝග නිවාරණය මෙන්ම ශාරීරික පෝෂණය හා වර්ධනය ලබා දෙන අතරම කජු ගසේ අනෙකුත් කොටස්වන පොතු, මුල්, දලු, පුහුලම් ආදිය ප්‍රයෝගයෙන් ඖෂධීය ගුණයද බොහෝ සෙයින් ඇති කරනු ලබන නිසා කජු ගස් එකක් හෝ තම ගෙවත්තේ වගා කර ගැනීම සියලු දෙනාටම එකසේ ප්‍රයෝජන ගෙන දෙනු ලබයි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.