අපට ඇවැසිම වන්නාවූ බත් හා කැඳ වර්ග

සැප්තැම්බර් 24, 2021

අප්‍රමාණ ලෝකවාසී සත්වයෝ ආහාර නිසා සිය ජීවිතය පවත්වාගෙන යති. ඒ ඒ සත්වයන්ගේ ආහාර විවිධය. මිනිසුන්ගේ ප්‍රධාන ආහාර බත්, පාන් සහ වෙනත් නොයෙක් වර්ගයේ කබලිකාහාරය.පෙරදිග රටවල අයගේ ප්‍රධාන ආහාරය වන බත් ගැන මුලින්ම කිවයුතුව ඇත. බත් වර්ග රාශියකි. බොජුන් ආහාර එකෙණෙහි පී‍්‍රතිය උපදවයි. ශරීර ශක්තිය හා දැරීම කෙරේ. ආහාරයෙන් ආමාශයේ ඉඩ ප්‍රමාණයෙන් කොටස් දෙකක් ද ජලයෙන් කොටසක් ද පුරවා ඉතිරි කොටස වාතය හැසිරීමට ඉඩ තැබිය යුතු ය.

ආහාර අනුභවයෙන් පසු අඩි 100ක් ඇවිද වම් ඇලයෙන් සුළු වේලාවක් නිදන්නේ ද එකල ආමාශගත වූ ආහාරය සුවසේ දිරීම වෙයි. නැඟෙනහිරට මුහුණලා අනුභව කිරීමෙන් ආයු වැඩේ. දකුණට මුහුණලීමෙන් කීර්තියද ඇතිවේ. පශ්චිම දිගට, මුහුණලා අනුභව කිරීමෙන් යස ඉසුරු ලැබීමට හේතුවේ. උතුරු දිගට මුහුණ ලා අනුභවය ණය අනුභව කිරීමය. වහා පැසෙනසුලු භෝජනයන්හි බොහෝ ගුණ ඇත්තේ ය. ගිතෙල් අනුභවය ආයු වැඩීමද උක් සකුරු කෑම රෝග, මාංශ වැඩීමද, කිරි ශරීර බල වැඩීමද කුළු තික්ත ද්‍රව්‍ය අනුභවයෙන් නිරෝගි බවද ඇති කෙරේ.

හැල්, රත්හැල්, හැටදා හැල්, කලට හැල් වර්ගවල සහලින් පිසූ බත් අග්‍රගණ්‍ය වේ. රත්හැල් තුන් දොස් නසයි. ඇසට හිත වේ. මුත්‍ර ශුක්‍ර වඩන්නේ ය. කලම නම් හැල් තුන් දොස් හා දූෂ්‍ය ලේ නසයි. ඇසට හිතට කසට සහිත ද වේ. හැටදා හැල් තුන් දොස් කෝප කරයි. හැල් ජාති මිහිරි රසින් යුක්තය. මහ හැල් රත්හැල් කලමහ හැල් සුවඳ හැල්(ඇල්) යනුවෙන් හැල් වර්ග තිබේ. වහා පැසවන හෙයින් සැහැල්ලු ය. සිනිඳුය. මද වඩන්නේ ය. තුන් දොස් නසන නිසා පථ්‍යයි. මේවා අතුරින් රත් හැලි ශ්‍රේෂ්ඨ වේ. පීණස, තුන්දොස්, මේද, දුරු කරයි. පුරීෂ, වාත මඳ බව කෙරේ. රත්හැල්වලට වඩා මහ හැල් අතිශයින් ධාතු පෝෂණය කරයි. මද වඩයි. සුවඳ හැල් සැහැල්ලු ද රුචිකරද වෙයි. කලමහ හැල් සෙම් පිත් නසා අනිත් හැල් වර්ග ඉහත කී සාලීනව සම ගුණ ඇත.

මීළඟට බත් වර්ග පිළිබඳ විමසා බලමු. බත් අතර මුලට ම එන්නේ කිරිබත් බව කිව හැකි ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අති දීර්ඝ කාලයක් බුද්ධ කාරක දම් දස පෙරුම් දම් පුරා බුදු වන ආත්ම භවයේ මහ බෝසත්තුමාට බුදුවීමට කලින් දින අලුම විශේෂ පූජාව නිරූදක කිරිබත් පාත්‍රයකින් පිදුම් ලබන සේක. මේ අනුව බුද්ධ ශාසනික අතින්ද කිරිබත මුලට එයි. මේ ගැන බොහෝ විස්තර ඇතත් මෙහිලා එම විස්තර ගෙන ඒමට අවකාශ මඳය. කිරිබත්වල ගුණ අගුණ පහත සඳහන් ශ්ලෝකයෙන් කියවේ.

පායාසො කළුදො බල්‍යො කිසරො වාත නාසනො

සුදෙධානො පසුතො සින්නො සුඛුණ්හොලහු ඔදනො

කන්දමසෙ ඵල ස්නෙහ සාධිතො බ්‍රෑහණොගුරු

 

මෙහි තේරුම මෙසේ ය.කිරිබත කථය උපදවයි. බලයට හිතය. තල කිරි බත වාතය නසයි. ඇසට හිත වෙයි. රක්ත පිත්ත දොස් නසයි. රසායනයක් වේ.

මනාකොට දෙවුන් ලද (හොඳට සේදූ) පෙරන ලද මඳ උණුසුම් ඇති බත ලඝුය. අල මාංස තල තෙල් ආදියෙන් සිද්ධ කරන ලද බත බ්‍රෑහණය කරන්නේ ය. වහා නොදිරන හෙයින් ගුරු ද වේ. පොඩිකල මුදවපු කිරි මිශ්‍ර බත් වෙහෙසද ඩහදියද අර්ශස් ද නසයි. රුචි කෙරේ. පිනවීමද ගින්නද ඇති කෙරේ. අලුත් බත සෙම් වඩයි. මධුර බව සිනිඳු බව තර බව බර බව ඇති කරයි. පරණ බත රස නැක. රළු බව හා අග්නි දීපනය කෙරේ. උණු බත බල නසයි. වියලි බත් ඉතා දුෂ්කරව දිරවයි. අතිශයින් තැම්බුණ බත රෝග කාරකය. සහල් බැද පිස ගත් බත සැහැල්ලු ය. අග්නි වඩයි.

කැඳ වර්ග අතර ලුණු කැඳ ඖෂධීය ගුණ යුත් එකක් බව අපි කවුරුත් දනිමු. උණ පිපාසය නසා සැහැල්ලු කෙරේ. මල මුත්‍ර ශුද්ධ කරයි. උණ අතීසාරය දාහ ආදියට හිතකරය. අග්නි වඩයි. කැඳ වතුර වඩගින්න ඇති කර මල මුත්‍රාශය ශුද්ධ කරයි. බල වඩයි. ලේ වැඩීම කෙරේ. උණ වා පිත් සෙම් නසන ගුණ අටක් එහි ඇත. බැදි සහල් කැඳ සුවඳය, රළුය. සෙම් නසයි. පිත් වඩයි.

ගොටුකොළ, පෙනෙල කොළ, හාතාවාරිය කොළ ආදිය යොදා සාදා ගන්නා කොළකැඳ ඖෂධීය ගුණයෙන් පිරිපුන් ය. ඉතා ගුණදායකය. විළඳ කැඳ බඩගින්න උපදවයි. දැවිල්ල පිපාස නිවයි. උණ අතීසාර සමනය කරයි. ශ්ලෙස්මා රෝග දුරු කරයි. විළඳ පේයාව - බල හීන වූ උගුර කට ඇති අයගේ විඩාව දුරු කරයි. රෝග හා පිපාසය ද බඩගින්න ද දුබල බවද උණ ද දාහයද නසන්නේ ය.

බැදි සහල් කැඳ සෙම් නසයි. සුවඳය. රළුය. පිත වඩයි. කෘශ කරයි. හබලපෙති සිනිඳුද බරද වෙයි. සෙම වැඩීමද ශරීරය තර කිරීමද කරයි. කිරෙහි දමා පොඟවන ලද හබලපෙති බල වඩයි. මල බිඳීම කරයි. වාතය නසයි. ලුණු කැඳ පොල්කිරි කැඳ, සව් කැඳ, කොළ කැඳ ආදී කැඳ වර්ග තේ කෝපි, කිතුල්, පොල්, තල්, රා, මීරා ආදී පාන වර්ග රණවරා, බැවිල, ඉරමුසු, පොල්පලා ආදී ඖෂධීය පාන පැරණියන් මෙන්ම නූතන ජනයාද පානය කරති.

ඇතැම් ආහාර වර්ග කෑම තහනම් කර තිබුණි. ඒවා යම් යම් කාලවලට ද ඇතැම්විට සදහටම තහනම් කර තිබුණේ ය. ශරීර සෞඛ්‍ය අමුතු තත්ත්වයක පවතින විට ඇතැම් ආහාර ද්‍රව්‍ය ගැනීම ස්ත්‍රීන්ට තහනම් කර තිබුණි. සදහටම තහනම් වූවක් නම් එක වේලකදීම මස් මාළු දෙවගයට අනුභව කිරීමය. රන් යන ප්‍රත්‍ය ඇති මුන්ගේ හෝ සතුන්ගේ මස් යම් යම් අවස්ථාවලදී කෑම සුදුසු නැති සේ සලකනු ලැබේ. උෂ්ණය. සීතලය යන ලෙසද හැම ආහාරයක්ම ආහාර පිළිබඳ එක්තරා සමානත්වයක් මෙයින් ලබා ගන්ට හැකිවේ. උදාහරණයක් ලෙස දක්වතොත් කිවයුතුව ඇත්තේ සිය දරුවන් හීල්බත්, වම්බටු, මී කිරි ආදිය කා කුරුම්බා බී එදිනට නෑමට ගම්බද මවක් විරුද්ධ වන බවයි. මේ සියලු ආහාර වර්ග අධික ශීත ඒවා හැටියට ගණිනු ලබන බැවිනි. සමහර ආහාරවර්ග මිශ්‍රවීමද අපථ්‍යසේ සලකති. මස්, මාළු හෝ බිත්තර කා කිරි බීමට සාමාන්‍ය විරුද්ධතාවයක් පවතී. මීට හේතුව ආගමික හැඟීම් බව කිව හැකි ය.

සිංහල බෙහෙත් විෂයෙහි අභ්‍යන්තර වශයෙන් ගන්නා කැඳ කසාය, බෙහෙත් ගුලි ද ඇත. කට පාඩමේ ඇති වට්ටෝරුවල සඳහන් අල මුල් ගෙඩි ඇටජාති ගෙන මෙකී බෙහෙත් සපයයි. සිරුරට ඵලදායක වූ එළවළු පලතුරු ජාතිද බෙහෙත් හැටියට නියම කරති. සෑම පැළයක්ම වාගේ ඔසුවකි.

 

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.