නිරෝගී සුන්දර දිවියකට මෙන්ම තරුණ බව රැක ගැනීමට පලතුරු

නොවැම්බර් 5, 2021

විවිධ විටමින්වලින් හා ඛනිජ ලවණවලින් යුත් පලතුරු කෑමෙන් ශරීරගත මේද ප්‍රමාණය හා කැලරි ප්‍රමාණයද අඩු වේ. එමෙන්ම පලතුරුවල සීනි හා ලුණු ප්‍රමාණය ද ඇත්තේ අඩුවෙනි. මේ නිසා දියවැඩියාව, පිළිකා හටගැනීමට අවම වේ. ශරීරය තරවීමද පාලනය කර ගත හැකි ය.

 

බර වැඩිවීමත් එසේමය. පලතුරු ආහාරයට ගැනීමෙන් රුධිරගත සීනි ප්‍රමාණය කොලෙස්ටරෝල් අඩුකර ගැනීමටත් සමත් වේ. පලතුරුවල අඩංගු කැරොටින් විටමින් සී විටමින් ඊ වල පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා දිගුකාලීනව පීඩා විඳිය හැකි රෝගවලින්ද ආරක්ෂා විය හැකි ය. එමෙන්ම මළබද්ධයෙන් ද වැළකේ. පෝෂණ ගුණයෙන් හා ඖෂධීය ගුණයෙන් ද යුක්ත පලතුරු ආහාර වේලට එක්කර ගැනීමෙන් නිසි සුවදායකත්වයක් ලබා ගත හැකි ය.

පලතුරුවල ඇති කෙඳි සහ තන්තු නිසා ආහාර දිරවීම ද පහසු කරයි. එම පලතුරු ආහාරයට ගැනීමෙන් තරබාරුකමද පාලනය වේ. දොඩම්, නාරන්, අන්නාසි වැනි ඇඹුල් රස වැඩිපුර ඇති පලතුරුවල විටමින් සී බහුලව ඇති අතර අඹ, කොමඩු, ගස්ලබු වැනි කහපාට පලතුරුවල විටමින් ඒ අඩංගුව පවතී. එය හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ. කෙසෙල්, අලිගැටපේර, රටඉඳි ආදී වර්ගවල පලතුරුවල පොටෑසියම් ද බහුලව ඇත. අද සමාජයේ බහුල ලෙස පැතිරී ඇති රෝගී තත්ත්වයන් දියවැඩියාව, හෘදරෝග, බඩවැල ආශි‍්‍රත රෝග සේම පිළිකාද හැඳින්විය හැකි ය. වයස්ගත වැඩිහිටියන් පමණක් නොව තරුණ වයස්වල පසුවන අයට පවා මෙම රෝගී තත්වයන්ට ගොදුරුවීමේ අවස්ථාව බොහෝ සෙයින් ඉහළගොස් ඇත. එයට හේතු වී ඇත්තේ සුවඳටත් රසටත් මුළා වී තෙල්, සීනි, පිටි ලුණු අධික කෑමට ලොල්වීමයි. අනෙක වන්නේ මෙවැනි කෙටි ආහාරවලට පුරුදු වීම හා පලතුරු ආහාරයට නොගැනීමයි.

සිරුරට හිතකර නිරෝගී තාවය ගෙන දෙන කෙසෙල් වර්ග බොහොමයකි. ක්ෂණිකව ශරීරයට ශක්තියක් ලබාදීමේ හැකියාවක් කෙසෙල්ව පවතී. කෙසෙල් ගෙඩියක සාමාන්‍යයෙන් පොටෑසියම් මිලිග්‍රෑම් හයසිය දෙකකි. විටමින් සී විටමින් ඒ විටමින් බී හා මැග්නීසියම් ද අන්තර්ගතව ඇත. සීනි කෙසෙල් පුරුෂ ශක්තිය වඩවාලන සීනි කෙසෙල් සෙම් රෝග ඇති නොකරයි. පූවාළු ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත වේ. දේහ ශක්තිය වඩවාලයි. ගස්ලබු නොහොත් පැපොල් රසවත් මෙන්ම ඉතා ගුණදායක පලතුරකි. නිරෝගීව සිටීමට ගස්ලබු බෙහෙවින් උපකාරී වේ. පැපොල්වර්ග කීපයක්ම ඇත. ඒ මදය රතුපාට පැපොල්, කහපාට පැපොල් හා දෙමුහුන් පැපොල් ය. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට මෙන්ම මළබද්ධයටත් ගස්ලබු දැඩි මෙහෙයක් ඉටුකරයි. පැපොල්වල අඩංගු පැපේන්නම් රසායනික සාරය සම අවපැහැයක්වීම ඇතුළු රෝග රැසක්ම නවතාලීමට සමත් වේ.

පේර ත්‍රිදෝෂ වාත පිත සෙම නසා සිරුරට ශක්තිය ලබා දෙයි. මළබද්ධය තුරන් කිරීමට පේර පොත්ත සමත් වෙයි. පේර අතීසාරය නසන පලතුරකි. වාත රක්ත රෝගීන්ටද එය ගුණ වේ. අන්නාසි, ඉතා කදිම පලතුරක් වන්නේ බැක්ටීරියා ආසාදනවලට ඔරොත්තුදීමේ හැකියාවක් ඇති බැවිනි. එමෙන්ම අන්නාසිවල ඇති සෝඩියම් පොටෑසියම් සංඝටකය නිසා කොලෙස්ටරෝල් පාලනය කරගැනීමට ද හැකිවේ. ශරීරයේ පිළිකා සෛල වර්ධනය වැළැකීමටද අන්නාසි හොඳ ගුණයෙන් යුත් පලතුරකි.

විදුරුමස්වලින් ලේ ගලනා තද පිත් කෝප අවස්ථාවලදී අනෝදා කෑමෙන් සහනයක් ලබාගත හැකි ය. අනෝදා වර්ග අතර සීනි අනෝදා, වැලි අනෝදා, ඖෂධීය ගුණයෙන් ඉහළය. නෙල්ලි ඉතා ගුණදායක පලතුරකි. ආයුර්වේදයේ දක්වන රස හයෙන් පහක්ම නෙල්ලිවල ඇතුළත්ය. විටමින් සී බහුලය. කැල්සියම්, පොස්පරස්, යකඩ විටමින් බී අඩංගුය. නෙල්ලි නිතර ආහාරයට ගැනීමෙන් වයසට යාම වළක්වයි. ආයුෂ වැඩිදියුණු කරයි. ශරීරයේ නිරෝගිබව ද රැක දේ. ශක්තිය බලය වර්ධනය කරයි. හිසකෙස් වැඩීමද සිදුවේ. දියවැඩියාවට, අර්ශස් හා කුෂ්ඨ රෝගවලට ගුණදායකය.

රට ඉඳි ධාතු පෝෂණය කරයි. දාහය පිත සමනය කරයි. ශක්තිය ඇති කරයි. රක්ත ප්‍රදර ශ්වේත ප්‍රදර හා අර්ශස්වලට ගුණවේ. හෘදයට හිතකර වේ. රත්පිත නැති කරයි. කාස ශ්වාස හික්කා ශුක්‍ර දුර්වලතා මූත්‍රආබාධ උණ සමනය කරයි. සිරුරේ බර අඩු කිරීමටත් කොලෙස්ටරෝල් අවම කිරීමටත් ඇපල් උපකාරී වේ. පිළිකා නාශක ගුණයෙන්ද යුක්ත වේ. ඇපල් වේදනා නාශක ගුණයෙන් හා මොළයේ දුබලතා ද නැති කරයි. රෝග නිවාරණ ගුණයෙන් යුත් ඇපල් අක්මා හා වාතරක්ත රෝගවලදී විශේෂ ගුණයක් ලබාදෙයි. ලේ පිරිසුදු කරන අතර ස්නායු ආබාධ ස්වසන ව්‍යුහාගත රෝග ආදියට විශිෂ්ට ගුණ ලබාදෙයි. ඇබරැල්ලා ඇඹුල් රසැති ශක්තිය ලබාදෙන පලතුරකි. ඇබරැල්ලා දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය. හෘදයට මෙන්ම මනසටද හිතකර. නිරෝගී බව රැකදේ. කැස්සටද ගුණදායකය. අලිගැටපේර සීනි අඩු පලතුරකි. විවිධ ප්‍රෝටීන් වර්ග අඩංගුය. එය සිරුර වැඩීමට හේතු වේ. ඛනිජ ලවණ බහුල පලතුරක් නිසා අස්ථි ශක්තිමත් කරයි. රූපාලංකාර ද වර්ධනය කෙරේ.

 

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන -

එස්.එස්. එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.