ස්ත්‍රී පුරුෂ දුබලතා නසන දූරියන්

දෙසැම්බර් 17, 2021

පලතුරු මිනිසුන්ගේ අතුරු ආහාරයක් වන නමුත් සත්ව වර්ග විශාල ප්‍රමාණයක ප්‍රධාන ආහාරයද වෙයි.

මිනිසාගේ නීරෝගීබව ආරක්ෂා කර ගැනීමටත් රෝග වලින් සුවය ලැබීමටත් පලතුරු අවශ්‍ය වේ. ශරීරයේ වර්ධනය, බලය සහ ආරක්ෂාව පලතුරුවලින් ලැබෙයි. මෙවන් වූ පලතුරු අතුරින් දූරියන්වලට ලැබෙන්නේ ප්‍රධාන තැනකි.

ලෝකයේ රුචිය මෙන්ම කැමැත්ත අතින් විශේෂත්වයක් ගන්නා පලතුර වන්නේ දූරියන්ය. එයට හේතුව එහි ඇති අධික ගන්ධයයි. එය සමහරකුට අධික සුවඳක් වන අතර තවත් කෙනකුට අධික දුඟදක් වෙයි.

අග්නිදිග ආසියාතික රටවල මිනිසුන් පළතුරු අතර රජු වශයෙන් හඳුන්වන්නේ දූරියන්ය. ගෙඩියේ ඇති විශාල බව කටු සහිත බව සහ එහි ඇති සුවඳ නිසා මෙසේ හඳුන්වයි. බොහෝ දෙනා මෙහි ඇති ගඳ නිසා අකමැති වුවත් මේවා කන අය කියන්නේ මෙය ලෝකයේ ඇති රසවත්ම පලතුර බවයි.

දූරියන් වලට ආවේණික සුවඳ ඇතැම් අයට අප්‍රිය නිසා තායිලන්තය, ජපානය සහ හොංකොං වැනි රටවල පොදු ප්‍රවාහනය සේවාවල දූරියන් ගෙන යාම තහනම් කර තිබෙනවා. සමහර රටවල ආපන ශාලාවලද මෙය රැගෙන ඒම තහනම් කර තිබෙනවා.

දැනට ලෝකයේ දූරියන් ප්‍රභේද 30ක් පමණ හඳුනාගෙන තිබෙන අතර ඉන් 9ක් ආහාරයට ගැනීම ඉතාම සුදුසු වෙනවා. මේ වන විට විවිධ පරීක්ෂණ මගින් දූරියන් ප්‍රභේද 300ක් පමණ බිහිකර තිබෙනවා.

දූරියන් බෲනායි, මැලේසියාව සහ ඉන්දුනීසියාවට ආවේණික පලතුරක් වුවත් ප්‍රධානතම වගාකරු සහ අපනයනකරු වන්නේ තායිලන්තයයි.

ශ්‍රී ලංකාවේ දූරියන් වැඩිපුර වැවෙන්නේ පහතරට හා මැදපෙරදිග තෙත් කලාප වලයි. ගම්පහ, ගාල්ල, කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, මාතර සහ මාතලේ ආදී ප්‍රදේශවල මෙය හොඳීන් වැවෙනවා.

ශ්‍රි ලංකාවේ වැවෙන ප්‍රභේද 5ක් පමණ තිබෙන අතර කසුන්, ගන්නොරුව ස්වීට්, හොරණ ජම්බෝ, අඹතැන්න, හොරණ ගෝල්ඩ්, වැනි ප්‍රභේද ඒවා වන අතර ඒ අතුරින් කසුන් නම් වර්ගය වඩාත් රසවත් හා ගුණ දායකයි.

දූරියන්වල ඇති ගුණදායක බව සලකන විට මෙය ලිංගික දුබලතා නැසීමට බොහෝ සෙයින් උදව් වෙනවා.

මෙය ආහාරයට ගැනීමෙන් පුරුෂයන් සහ ස්ත්‍රීන්ගේ ලිංගික ශක්තිය වැඩි කර දෙනවා. එසේම ශුක්‍රාණු වල ක්‍රියාකාරීත්වය ඉහළ නංවනවා. එසේම ශරීරයේ අස්ථි සහ දත්වල ශක්තිමත් බව දූරියන් කෑමට ගැනීමෙන් වැඩි වෙනවා. අස්ථි දිරා යාමද නරත වෙනවා. තවද සම පැහැපත් කිරීමට සහ නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමටත් දූරියන් ආහාරයට ගැනීම මගින් සිදු වෙනවා.

ඒ වගේම සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් නොමැති පලතුරක් විදිහටත් දූරියන් හඳුන්වන්න පුළුවන්. ලේ වල සීනි මට්ටම නොවෙනස්ව තබා ගන්නත් දූරියන් ආහාරයට ගැනීම හොඳයි.එසේම ලේ වල රතු රුධිරාණු මෙමඟින් වැඩි වල නිසා ලේ අඩු වන තත්ත්වය නැති කරනවා. ඒ වගේම හදවත නිරෝගීව තබා ගැනීමටත් අධි රුධිර පීඩනයෙන් වැලකීමටත් දූරියන් ඉතා හොඳ ඔසුවක්. ශරීරයේ මාංශ පේශි වර්ධනය සඳහාත් ඒවායේ ක්‍රියාකාරීත්වය සඳහාත් දූරියන් කැමට ගැනීම ඉතා ගුණයි.

එසේම පිළිකා හට ගැනීමේ අවදානම දූරියන් ආහාරයට ගැනීමෙන් අඩුවන අතර ශරීරයේ ප්‍රතිශක්තියද වැඩි කරනවා. එසේම මලබද්ධය නැසීමත් මෙමඟින් සිදුවන අතර බඩවැල් ආශ්‍රිත රෝග සඳහාත් දූරියන් හොඳ ඔසුවක්. එසේම ස්නායු පද්ධතියේ නිරෝගී බවට දූරියන් කෑම ගුණ දායක වන අතර මානසික ආතතියද නසයි. එමගින් ඇතිවන නින්ද නොයාම ආදියටද දූරියන් ඉතාමත් හොඳ ඔසුවක්.

දූරියන් මේ ආදී වශයෙන් ඉතා ගුණ දායක වුවත් ඇදුම සහ සෙම් රෝග වලින් පීඩා විදින අයට නම් එතරම් ගුණ දායක නෑ.

මේ අතර ඉරුවාරදය වැළැක්වීමටත් සහ සහනයක් ලබා ගැනීමටත් දූරියන් ඉතා හොඳ ඔසුවක්. තවද ඉගෙනීමේ හැකියාව වැඩි දියුණු කරන්න වගේම මතක ශක්තිය ඇති කරන්නත් දුරියන් ගුණයි. තවද ඔසප් වේදනාවෙන් දුක් විඳීන කාන්තාවන්ටද දුරියන් ඉතා ගුණයි.

මෙවන් වු ගුණ රැසක් ගෙන දෙන දූරියන් හටගනු ලබන්නේ වසරකට එක කාලයක් නිසා දුටු තැනකදී දූරියන් ආහාරයට ගැනීමට දෙවතාවක් සිතිය යුතු නැත.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.