රුව වඩන ගුණ ඇති ඔලිව්

ජනවාරි 28, 2022

 

ඔලිව් යන නාමය ඇසුණු විට අපේ මතකයට එන්නේ ඔලිව් තෙල් ගැනයි. එයට හේතුව ඔලිව් යනු අප රටේ දක්නට නොලැබෙන ශාකයක් වුවත් ඔලිව් තෙල් බෙහෙවින්ම අප රටේ භාවිතයට ගනු ලබනු බැවිනි. ආයුර්වේද සංහිතා හෝ ද්‍රව්‍ය ගුණ ග්‍රන්ථවල ඔලිව් පිළිබඳව දක්වා නොමැති වුවද යුනානි ද්‍රව්‍ය ගුණ (ථචබඥපඪච ථඥඤඪජච) ග්‍රන්ථවල ඔලිව් ගැන දක්වා ඇත.

 

මධ්‍යධරණී ප්‍රදේශය ආශ්‍රිතව ඔලිව් ශාකය බොහෝ සෙයින් පැතිරී තිබෙනු දක්නට ඇති අතර ඉන්දියාවේ නීලගිරි සහ හිමාලය ප්‍රදේශවල මෑතක සිට වගා කරයි. එයට හේතුව දැන් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේද භාවිත කරන අගනා තෙල් වර්ගයක් නිසයි. සාමාන්‍යයෙන් දක්ෂිණ යුරෝපය, කැලිෆෝනියා, ඕස්ටේ‍්‍රලියාව ආදී ප්‍රදේශවල ද ඔලිව් ශාකය දැකිය හැකිය.

මේ අතර පුරාණ ග්‍රීක ජනප්‍රවාදවලට අනුව ඔලිව් ගස ඉතා ප්‍රිය උපදවන ආදරණීය ගසක් ලෙස හඳුන්වා තිබෙනවා. එසේම එය සාමයේ සංකේතයක් ලෙසත් හඳුන්වනු ලබනවා. තවද ඔලිව් ගස ඉතා ශක්තිමත් ගසක් වශයෙන් සලකනු ලබනවා.

ඉතා හොඳින් වැඩුණු ඔලිව් ගසක් මීටර් 7 පමණ උසින් යුතු වෙනවා. ඒ වාගේම ඉතා දීර්ඝ ආයුෂ කාලයක් සහිත ගසක්. වසර 1000ට වඩා පැරණි ඔලිව් ගස් ඊශ්‍රායලයේ දක්නට තිබෙනවා. ඔලිව් ශාකයෙන් විවිධ උපයෝගිතා සඳහා යොදාගනු ලබන්නේ පැසුණු ඔලිව් ගෙඩිවල ඇට, මද මිරිකා ගත් තෙල් වන අතර එයින් ලැබෙන ප්‍රයෝජන ඉතා විශාලය.

ආයුර්වේද ව්‍යවහාර ලෙස ගත් කළ බාහිර වශයෙන් සමෙහි ස්නේහකය මෘදුබව ඇති කිරීම. දැවිලි සමනය ආදී ක්‍රියා ඉටු කරන අතර, සිරුරේ ආලේපයෙන් ශරීර අවයවවල ශක්තිය ඇති කරනු ලබයි. විශේෂයෙන් ශාරීරික අංශ වේදනා, පක්ෂඝාගත කල්ගත වූ ආමවාත, කවී වාත ආදියේදී ආලේපයෙන් ගුණ ලැබෙන අතර, කුෂ්ඨ ආදී රෝගවලදී ගොරෝසු බව නිසා සම මෘදු කරයි. ගින්නෙන් සම පළිස්සුණු අවස්ථාවල ආලේපයෙන් සමේ දැවිල්ල නිසා සම යථා තත්ත්වයට පත්කිරීමට උදව් කරනු ලබයි.

එසේම ඔලිව් තෙල් භාවිතයෙන් හදවත් රෝගවලින් ආරක්ෂා වන අතර, අධි රුධිර පීඩනය පාලනයටත් ලේවල මේද තත්ත්වය පාලනයටත් උදව් කරනු ලබනවා.

එසේම ඔලිව් තෙල් භාවිතයෙන් පියයුරු පිළිකා සහ සමේ පිළිකා තත්ත්වය ඇතිවීමට තිබෙන අවදානම ද අඩු කරනු ලබනවා. එසේම මොළය ආශ්‍රිතව හටගනු ලබන රෝග වලින් ආරක්ෂා වීමටත් ඔලිව් තෙල් උපකාරී වන අතරම දියවැඩියා රෝගයෙන් ආරක්ෂාව ද ඇතිකර දෙනු ලබනවා. එසේම අස්ථිවල ශක්තිමත් බව ඇතිකරන ගුණය ද ඔලිව් තෙල් වල පවතින අතර, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගවලින් ආරක්ෂා වීමට ද හැකිවෙනවා. ඖෂධීය වශයෙන් මෙවන් ගුණ ඔලිව් තෙල් වලින් ඇතිකරනු ලබන අතර ආහාරමය වශයෙන් ද මෙමගින් වැදගත් මෙහෙවරක් ඉටුකරනවා.

බාහිර වශයෙන් ගත් කල සිරුර පැහැපත් කිරීමේ කටයුතු සඳහා ඔලිව් තෙල් බෙහෙවින් උදව් කරනු ලබනවා. ඔලිව් තෙල්වල විටමින් ඡ් සහ ප්‍රති ඔක්සිකාරක ගුණ අඩංගු වන හෙයින් සම ආරක්ෂා කිරීම හා සම පැහැපත් කිරීම කරනු ලබනවා. එසේම සම පිරිසිදු කිරීමටත් සමේ තෙතමනය රැක දීමටත් උදව් කරනවා.

දිය නෑමේදී දිය නාන බඳුනට ඔලිව් තෙල් මිශ්‍ර කර ස්නානය කිරීම සමට හිතකර වෙනවා. එසේම සම ඉරිතැළීමේදී සහ යටිපතුල් පැළීමේදී ද ඔලිව් තෙල් ආලේපය ඉතා හොඳයි.එසේම ඔලිව් තෙල් මුහුණේ ආලේපයෙන් මුහුනේ ඇතිවන කුරුලෑ ආදිය නැති කරන්න පුළුවන්. එසේම ඔලිව් තෙල් හිස ගල්වා ඇඟිලි තුඩු වලින් සියුම් ලෙස සම්බාහනය කිරීමෙන් ඉස්හොරි ඉවත්වී හිසකෙස් වල නීරෝගි බව ඇති කරනු ලබනවා.

එසේම ඉරිතැළුණු, පැළුණු සහ වියළී ගිය දෙතොල් සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට කළයුතු වන්නේ ඔලිව් තෙල් තේ හැඳී 1ක්, මී පැණි තේ හැඳී 1/2ක් සහ දුඹුරුසීනි තේ හැඳී 1ක් මිශ්‍ර කර එම මිශ්‍රණයෙන් දෙතොල් සෙමින් පිරිමැදීමයි.

එසේම සතියකට දෙවතාවක් පමණ ඔලිව් තෙල් හිසේ ආලේප කර සම්බාහනය කිරීමෙන් කෙස් අග පැළීම, හිසකෙස් ගැලවීයාම සහ කැඩී යාම ආදිය නතර කර ගත හැක. එසේම හිසකෙස් හොඳීන් වැඩිම ද සිදුවේ.

මේ ආදී වශයෙන් ශරීරයේ පෝෂණය, නීරෝගිබව සහ පැහැපත් බව සඳහා ඔලිව්තෙල් බෙහෙවින් උපකාරී වේ.

මේ අතර ඔලිව් තෙල් තබා ගත යුත්තේ අඳුරු සහ සිසිල් ස්ථානවලයි. හිරුඑළියට නිරාවරණය වීමෙන් ඔලිව් තෙල් වල ගුණ අඩු විය හැක.

ඔලිව් තෙල් වර්ග පිළිබඳ සැලකීමේදී වෙළෙඳපොළේ තෙල් වර්ග කිහිපයක්ම වේ.

1. Extra - virgin olive oil  - ඔලිව් ගෙඩි වලින් ලබාගන්නා තෙල් වර්ගයයි.

2. Virgin olive oil - ඔලිව් ගෙඩි වලින් දෙවනුව ලබා ගන්නා තෙල් වර්ගයකි.

3. Olive - Pomace oil  - ඔලිව් ගෙඩිවලින් තුන්වෙනුව ලබාගන්නා තෙල් වර්ගයයි.මෙයට රසායනික ද්‍රව්‍ය එක් කරයි.

4. Refined Olive oil - මෙය ලබා ගන්නේ තෙල් පිරිපහදු කිරීමෙනි. මෙයටත් රසායනික ද්‍රව්‍ය යොදා ගනු ලබයි.

මේ අතුරින් වඩාත් විශිෂ්ට ගුණ දෙන තෙල් වර්ගය වනුයේ Extra - virigin olive oil  වේ.

මෙනිසා ඔලිව් ශාකය මෙන්ම ඔලිව් තෙල් පිළිබඳව ඉතා හොඳීන් හඳුනාගෙන ශරීරයේ නීරෝගිබවත් , පැහැපත් බවත් ආරක්ෂා කර ගැනීමට නිවැරැදි ලෙස ඔලිව් තෙල් උපයෝගි කර ගැනීම වැදගත් වේ.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.