රෝග රැසකට ගුණදෙන අගනා ඔසුව තිඹිරි

මාර්තු 4, 2022

අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඖෂධීය වශයෙන් මෙන්ම තවත් බොහෝ ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් ලෙස තිඹිරි ශාකය හැඳින්විය හැකිය. “තිඹිරි” යන නාමය ඇසුණු විට සිහියට නැඟෙන්නේ තිඹිරි ගෙයයි. වර්තමානයේ දරුවන් බිහි වීමේදී වැඩි දෙනකුට තිඹිරිගෙය වනුයේ රෝහලේ සූතිකාගාරයයි. එහෙත් අතීතයේ ගම්වල නිවෙස්වල දරුවන් බිහි කිරීම සඳහා වෙනම කාමරයක් තිබුණා. එය තිඹිරි ගෙයයි.

ඔසු ගුණ යුතු තිඹිරි ලීවලින් උළුවහු ජනෙල් තිබීමත් පොළොවේ තිඹිරි ලාටු (මැලියම්) මිශ්‍ර මැටි ගෑ නිසාත් එය තිඹිරිගෙය ලෙස හැඳින්වුණා. එනිසා “තිඹිරි” යන නම හොඳට හුරු නමක් වුණා.ච්ඪධඵනරපධඵ ථචතචඡචපඪජච යන උද්භිද විද්‍යාත්මක නාම‍යෙන් “තිඹිරි” හඳුන්වනු ලබනවා. මෙහි කුලය ඡ්ඕඡ්ව්ඒඛ්ඡ්ඒඡ් හෙවත් තින්දූක කුලයයි. ඉංගී‍්‍රසි බසින් ට්චභඡ,ර්චතචඡචප ඥඡධදර,ධ්දඤඪචද ර්‍ථඥපඵඪථථධද යන නම් තිඹිරි සඳහා යෙදෙනවා. සංස්කෘත බසින් තින්දූක,නීලසර,රාවණා,අසීතකාරක වැනි නම් යෙදෙනවා. දෙමළ බසින් කුම්භික සහ පානිවිත යන නම් යෙදෙනවා.

මෙම ශාකය ඉන්දියාව,තායිලන්තය,බංග්ලාදේශය වැනි රටවල වැවෙනවා. ඒ වාගේ ම ශී‍්‍ර ලංකාවේ පහතරට වියළි කලාපයේ සුලබව දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් වැව් පිටි,ගංගා සහ ඇළ ඉවුරුවල සහ තෙත් සහිත වතුවල දැකිය හැකියි. මුහුදු මට්ටමේ සිට මීටර් 300ක් පමණ උස් ප්‍රදේශයක් දක්වා පැතිරී තියෙනවා.

මේ තිඹිරි ගස් මීටර් 15ක් පමණ උසට වැවෙන මධ්‍යම ප්‍රමාණයේ ගසකි. මේ ගසේ කඳ කළු පාට රළු පොත්තක් සහිතයි. මේ පොතු ගැලවී යන ගතියක් තියෙනවා. යටින් ඇති පොත්ත තද රතු පාටයි. මේ ගස්වල කොළ සෙ.මී. 25ක් පමණ දක්වා දිගයි. මෙම ගස්වළ සෑදෙන මල් කහ පාටයි. මේවායේ සෑදෙන ගෙඩි ගෝලාකාරයි. ඉදුනාම රතු පාටයි. සාමාන්‍යයෙන් මැංගුස් ගෙඩියකට සමානයි. ඉදුණු ගෙඩිවල බීජ වටා කහට මිශ්‍ර පැණි රසකින් යුතු කුඩා මාංසල කොටසක් අඩංගුයි. වන පලතුරක් ලෙස ආහාරයට ගනු ලබන්නේ මෙම කොටසයි. ඉදෙන්නට පෙර මෙය කහට රසයි. වඳුරන් වැනි සතුන් ද මෙම ගෙඩි ඉදුණයින් පසු ආහාරයට ගනු ලබනවා.

තිඹිරිවල කොළ,පොතු,මල්,ගෙඩි සහ බීජ ආයුර්වේදයේ ඖෂධ සඳහා ගනු ලබනවා. තිඹිරි රසයෙන් ක්ෂාය වන අතර ගුණයෙන් ලඝු සහ රූක්ෂයි. වීර්යයෙන් ශීත සහ විපාකයෙන් කටුකයි. එසේ ම සෙම් සහ පිත් සමනය කරනු ලබනවා.

රක්ත ගත රෝග,රත්පිත,රක්ත ප්‍රදර‍,ශුක්‍ර මේහ ප්‍රමේණ ආදී රෝගවලට තිඹිරි ගසේ පොතු ක්ෂාය කර යොදනු ලබනවා. ඒ වාගේ ම අතීසාර සහ ප්‍රවාහික රෝග වලට ගෙඩි සහ බීජ යොදා ගනු ලබනවා. එසේ ම ගර්භාෂයේ සිවි වල ඉදිමුමට සහ ශ්වේත ප්‍රදර (සුද යාම) තිඹිරි ගෙඩි තැම්බූ වතුර උත්තර වස්ති කිරීම ගුණයි.

එසේ ම තිඹිරි ගෙඩි තැම්බූ ක්ෂාය මුඛය ආශි‍්‍රත ඉදිමුම් සඳහා ගුණදායකයි. එසේ ම තුවාල ,ගෙඩි,වණ ආදි රෝග සුව කිරීමට පොතු චූර්ණය සහ ගෙඩි තැම්බූ වතුර ගුණදායකයි. තවද අතීසාරයට තිඹිරි පොතු යුෂ මී පැණි සමඟ දෙනු ලබනවා. එසේම තිඹිරි පොතු ක්ෂායට ගිතෙල් දමා සිඳගත් තෛල පිලිස්සුම් වණ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනු ලබනවා.

එසේම අමාශයේ තුවාලවල දී තිඹිරිමල්, දඹමල් දෙවගයේ චූර්ණය ගිතෙලින් අඹරා මී පැණියෙන් අනා ලේප කරනවා. එසේ ම තිඹිරි කොළ පතල් සේදු වතුරින් තම්බා සියලු තුවාල සහ වණ ආදියේදී බඳිනු ලබනවා. එසේම ගින්නෙන් පිලිස්සුණු තුවාල සඳහා තිඹිරි පොතු ක්ෂායට ගිතෙල් දමා සෝදනු ලබනවා. මීට අමතර ව තිඹිරි පොතු ක්ෂායට මී පැණි දමා විෂම ජ්වරවලදී යොදනු ලබනවා.

ඒ වාගේ ම සර්ප විෂ සඳහා ද බොහෝ වෛද්‍යවරු තිඹිරි ගනු ලබනවා. මේ ආදී වශයෙන් ඖෂධ යෝග සඳහා තිඹිරි යොදා ගනු ලබන අතර වෙනත් ප්‍රයෝජන ද රාශියක් තිඹිරිවලින් ලැබෙනවා. ඒ අතර තිඹිරි පොතු සිවුරු පඬු පෙවීම සඳහා කහට ලබාගැනීමට අතීතයේ දී යොදා ‍ගෙන තිබෙනවා. එසේම රෙදිපිළි පාට කිරීම සඳහා ද තිඹිරි පොතු සමහර රටවල යොදා ගනු ලබනවා.

ශී‍්‍ර ලංකාවේ දී අමු තිඹිරි ගෙඩිවල මැලියම් බෝට්ටු ආදියේ සිදුරු වැසීමටත් කුල්ලේ සහ ගම්මිරිස් කඩන කූඩවල ආලේප කිරීමටත් යොදා ගනු ලබනවා. මේ ආදී වශයෙන් තිඹිරිවලින් ලැබෙන ප්‍රයෝජන ඉතා අධිකයි.

මේ අතර තිඹිරි ගෙඩිවලින් ව්‍යාංජන සකස් කරන ආකාරයන් ද සමහර කාන්තාවන් විසින් සිදු කරනු ලබනවා.

මෙවන් වූ විවිධ ප්‍රයෝජන රැසක් ලබාදෙන තිඹිරි ඔබට අපට ඉතා වටිනා සම්පතක්.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.