වාත රෝගවලට ගුණ දෙන අගනා ඔසුව කටුකරඬු

මාර්තු 25, 2022

 

 

ඉතා කුඩා පඳුරක් ලෙස වැඩෙන කටුකරඬු ශාකය අඩි 2-3 ක් දක්වා උසට වැඩෙනවා.මේ පඳුරුවල අතුවලත් කටු දක්නට ලැබෙනවා.ඒ වාගේම කඳ සහ අතු සිලින්ඩරාකාරයි.කොළ ඉලිප්සාකාරයි.මේ පඳුරුවල මල් පිපෙන්නේ තනි තනි වශයෙන් කටුකරඬුවල සෑදෙන ඵල ගෝලාකාර හැඩයක් ගන්නවා. ඒ තුළ දෙකක් තිබෙනවා.

කටුකරඬු ඉන්දියාව සහ ලංකාවේ සියලුම ඝර්ම කලාපීය ප්‍රදේශවල වැවෙන ශාකයක්.ඒ වාගේ ම නිවර්තන ආසියාව සහ දකුණු අප්‍රිකාව ආදී රටවලත් වැවෙන ශාකයක්.

කටුකරඬු ශාකයේ උද්භිද විද්‍යාත්මක

නාමය Barleria Prionitis නම් වන අතර, කුලය වන්නේ

ACANTHACEAE හෙවත් වාසා කුලය.

කටුකරඬුවලට සංස්කෘත භාෂාවෙන් සෛෙර්යක, කුරණ්ටක,සහචර,කෝරණ්ඩ ආදී නම් යෙදෙනවා.හින්දි බසින් කියන්නේ කටසෙරෙයා සහ පියාවාසා යන නම්, වංග බසින් ඣාංටි

සහ ඣිණ්ටී යන නම් යෙදෙනවා.

දෙමළ බසින් ඒරමුල්ලි සහ ශේම්මූලි යන නම් යෙදෙනවා.

කටුකරඬු ශාකයේ මුල් සහ කොළ විශේෂයෙන් ඖෂධ සඳහා යෙදෙන අතර, පොදු වශයෙන් මුළු පැළෑටියම යොදාගන්නවා.

කටුකරඬු මලේ පාට අනුව ප්‍රභේද 4ක් දැක්වෙනවා.

1. සුදු කටුකරඬු - සුදු මල් පිපේ.

2. නිල් කටුකරඬු - නිල් මල් පිපේ.

3. කූරණ්ටක කටුකරඬු - කහ පාට මල් පිපේ.

4. රත් කටුකරඬු - රතු පාට මල් පිපේ.

මේ වර්ග අතුරෙන් කහ මල් කටුකරඬු හෙවත් කුරණ්ටක කටුකරඬු සුලභයි.

කටු කරඬුවල ගුණාගුණ ගැන සලකන විට,

රසයෙන් තිත්ත රස හා මධුර රසයි.

ගුණයෙන් ලඝු සහ ස්නිග්ධයි.

විර්යයෙන් උෂ්ණයි.

විපාකයෙන් කටුකයි.

මෙහි ඇති උෂ්ණ වීර්යය නිසා සෙම් හා වාත සමන ගුණ යුතුයි.එනිසා සෙම් හා වාත රෝගවලදී

යොදාගනු ලබන අගනා ඔසුවක්.

කටුකරඬු බාහිර වශයෙන් ,

ඉදිමුම් නසන,වේදනා සමනය කරන, කුෂ්ඨ නසන,තුවාල සුව කරන ගුණවලින් යුතුයි.මෙනිසා කුෂ්ඨ සහ කැසීම්වලදී කටුකරඬු කොළ යුෂ ආලේප කරනු ලබනවා. ඒ වාගේම කටුකරඬු රුධිර සංසරණ ව්‍යුහාව ආශ්‍රිතව ක්‍රියා කිරීමේදී ලේ පිරිසිදු කරන සහ ඉදිමුම් නසන ගුණ යුතුයි.එනිසා වාත රක්ත,කුෂ්ඨ,ශරිරයේ ඉදිමුම්,ලේ දෝෂ ආදියේදී යොදාගනු ලබනවා.

එසේම ස්නායු පද්ධතියේදී ස්නායු ක්‍රියාකාරී ගුණ යුතු නිසා ස්නායු දුබලතාවලදී යොදා ගන්නවා.ඒ වාගේම දරුණු වාත රෝගවලදී කටුකරඬු මුළු පැළෑටියම යොදා සකස් කළ කෂාය ඉතා ගුණයි. තවද ශ්වසන ව්‍යුහාවේදි සෙම් නසන ගුණ කටුකරඬුවල ඇති නිසා ප්‍රතිශ්‍යාය,කැස්ස ආදියේදී විශේෂයෙන් ළදරුවන්ට ඉතා ගුණයි.

මෙම කටුකරඬු කොළ යුෂ මේස හැඳි 2 බැගින් මී පැණි සමඟ යෙදීමෙන් ගුණ ලැබෙනවා.මෙහි වියළි පොතු කක්කල් කැස්සට ඉතා ගුණයි. ඒ වාගේ ම මෙම කටුකරඬු සම්පූර්ණ පැළෑටිය මුත්‍ර ඇති කරන සහ ශක්තිය වඩන ගුණයෙන් යුතුයි.ඒ වාගේම මෙහි කෂාය වකුගඩු රෝග සහ බඩේ අමාරු සඳහා ගුණයි.

එසේම කටුකරඬු කොළ යුෂ සූදුරු චූර්ණය සමඟ ශුක්‍ර මේහයේදී සහ සහ ලිංගික දුබලතා වලදී යොදනු ලබනවා.

තවද දහඩිය ඇති කරන, කුෂ්ඨ නසන සහ කැසීම් නසන ගුණයන් ද කටුකරඬුවල පවතිනවා.

එනිසා වැසි කාලයේදී පාද පතුල්වල සම පිපිරීම වැළැක්වීමට කටුකරඬු කොළ යුෂ ආලේප කරනු ලබනවා. ඒ වාගේම කටුකරඬු පංචාංගයේ යුෂ තල තෙල් සහ ඔලිව් තෙල් සමඟ සිඳ ගත් තෙල තුවාල සඳහා ඉතා ගුණදායකයි. තවද කටුකරඬු කොළ සහ මුහුදු ලුණු අඹරා විදුරු මස්වල ආලේපයෙන් දත් ශක්තිමත් වෙන අතර, දත් කැක්කුම් ද නසනවා.

මේ වගේ ගුණ රාශියක් කටුකරඬුවලින් ලැබෙන අතර, කටුකරඬු යොදා සකස් කළ තෙල් වර්ග රාශියක් තිබෙන අතර, ඒවා බොහොමයක් වාත රෝග සඳහා ඉතා ගුණදායකයි. ඒ අතුරින් මහා කෝරණ්ඩ තෛලය,මහා බලා කෝරණ්ඩ තෛලය සහ කෝරණ්ඩ තෛලය වාත රෝග සඳහා ප්‍රශස්තයි. මෙවන් වූ ඉතා විශිෂ්ට ගුණ සහිත කටුකරඬු ඉතා පහසුවෙන් ගෙවත්තේ වගා කළ හැකි අගනා ඔසුවක්.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.