රෝග රැසකට ගුණ දෙන ඉරිවේරිය

අප්‍රේල් 29, 2022

අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන ඖෂධීය තුරු ලතා අතුරින් එක් වටිනා ශාකයක් ලෙස ඉරිවේරිය හැඳින්විය හැකිය. ඉරිවේරිය ශාකය ශ්‍රී ලංකාවට ආවේණික පැළෑටියක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉරිවේරිය අඩංගු ඖෂධ යෝග රාශියක් දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ බහුලවම යෙදෙන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද බොහෝ රෝගාබාධ සඳහා යොදාගනු ලබනවා.

මෙම පැළෑටියත් කප්පරවල්ලිය පැළෑටියත් බොහෝ සෙයින් සමානකම් දක්වන නමුත් ඉරිවේරිය පැළෑටියේ ආවේණික සුවඳත් දණ්ඩෙහි රත් පැහැයත් නිසා වෙන් කර හඳුනා ගන්න පුළුවන්.

ඉරිවේරිය පැළෑටියේ ඇති මනස්කාන්ත බව නිසා ගෙවතු අලංකරණය සඳහා වවාගත හැකි ශාකයක්.

ඉරිවේරිය වැවෙන ප්‍රදේශ ගැන සලකා බලන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ පහතරට පෙදෙස්වල ඉතා සරුවට වැවෙන ශාකයක්. විශේෂයෙන් කුරුණෑගල, රත්නපුර, මහනුවර, කඩුගන්නාව ප්‍රදේශවල හොඳීන් වැවෙන ශාකයක් වන අතර ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගා කිරීමට පුළුවන්.

ඉරිවේරිය පැළෑටිය වාර්ෂික පැළෑටියක් ලෙස හඳුන්වන්න පුළුවන්. එසේ ම මෙය සෙවණ ප්‍රිය කරන පැළෑටියක්, පැතිරෙමින් හෝ කෙළින් වැඩෙන පැළෑටියක්. මෙහි අතු ඉතා සුගන්ධවත්, එසේ ම කඳ චතුරස්‍රාකාරයි. පත්‍ර මාංසලයි. එහෙත් කප්පර වල්ලිය තරම් මාංසල නොවේ. කඳ සහ පත්‍රවල යටි පැත්ත රතු මිශ්‍ර දම් පැහැයක් ගනු ලබනවා. මෙහි මල් පිපෙනුයේ කිනිති ලෙසයි. ඉතා කුඩා මල් එක කිනිත්තක 8-12ක් පමණ තිබෙනවා. මෙම මල් නිලට හුරු සුදු පාටයි.

ඉරිවේරියවල උද්භිද විද්‍යාත්මක නාමය ර්‍ථතඥජබපචදබඩභඵ ඛඥරතචදඪජභඵ ඕඥදබඩ කුලය ඹ්ඒඕධ්ඒඊඒඡ් තුලසි කුලයයි.

යක්වනස්ස, මදුරුතලා, කප්පරවල්ලිය, කොල්ලම් කොළ ආදියත් අයත් වෙන්නේ මේ කුලයටමයි. ඉරිවේරියට සංස්කෘත බසින් ශ්‍රිකරවාලක, දිවාස, බර්භිෂ්ඨ, ලලනාප්‍රිය, කේශවාචි ආදී නම් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන් ඉරිවේලී සහ චෙට්ටියාර් යන නම් යෙදෙනවා. ඉරිවේරිය රසයෙන් කෂාය රස සහ තිත්ත රසයි. ගුණයෙන් ලඝු හා රූක්ෂයි.

වීර්යයෙන් ශීතයි.

විපාකයෙන් කටුකයි.

මේ අනුව සෙම් හා පිත් සමන ගුණ යුතුයි. ඒ වගේ ම තුන්දොස් සමනය ද වෙනවා.

ඉරිවේරිය ශාකයේ කඳ සහ පත්‍රවල ඖෂධීය ගුණ තිබෙනවා. මෙහි පත්‍ර සුවඳයි. ඉරිවේරිය පැළෑටියේ කඳ සහ පත්‍ර පාචනය, අතීසාරය සහ වෙනත් බඩවැල් ආශ්‍රිත රෝග සඳහා අත් බේත් ලෙස යොදාගනු ලබනවා. ඒ වගේ ම ආහාර රුචිය වැඩි කරනවා. දිරවීම පහසු කරනවා. ආම ගතිය පැසවනු ලබනවා. වමන, අජීර්ණ, බඩගිනි අඩුකම ආදී අවස්ථාවලදී සහ අතීසාරයේ දී විශේෂ ගුණයක් ලැබෙනවා. ඒ වාගේ ම රත්පිත නසන ගුණය ද ඉරිවේරියවල තියෙනවා. ඉරිවේරිය සන්නිරෝග අවස්ථාවලදීත් යොදා ගනු ලබනවා.

තවද ඉරිවේරිය දේශීය වෛද්‍ය ක්‍රමයේ දී ක්වාථ සහ යුෂ ලෙස ද තෙල් සකස් කිරීමේ දී එක් ඖෂධ අංගයක් ලෙසත් යොදා ගනු ලබනවා.

තවද අතීසාර චිකිත්සාවේ දී යෙදෙන ගුලි කල්ක සඳහා වන අනුපානවල ප්‍රධාන ද්‍රව්‍යයක් වනුයේ ද ඉරිවේරියයි.

උණ සහිත අතීසාරයේ දී

සුඳු හඳුන්, ඉරිවේරිය, කලාඳුරු අල, රසකිඳ, මී මල්, ඉරමුසු ක්ෂාය යොදා ගනු ලබනවා.

වමනයේ දී

ඉරිවේරිය, සැවැන්දරා, කලාඳුරු අල, සුදුහඳුන් එක පමණ ගෙන අඹරා වැටි සාදා පොල්තෙල්වල බහා අවුලවා නිවා නැඟෙන දුම් කටින් ආශ්වාස කිරීම කරනු ලබනවා.

සුදු කබරවල දී

ඉරා වේලා ගත් ඉරිවේරිය දඬු අන්තර් ධූමයෙන් දවා ගත් භෂ්මය ආලේප කරනු ලබනවා.

අතීසාරය සහ වමනයට

ඉරිවේරිය යුෂයට රත් කරන ලද යකඩයක් දමා බොන්නට දෙනු ලබනවා.

අතීසාරයේ දී

1. ඉරිවේරිය මුල් කෂාය මී පැණි සමඟ යොදනු ලබනවා.

2.ඉරිවේරිය, ඉඟුරු, කලාඳුරු අල කෂාය යොදනු ලබනවා.

ලේ යන අතීසාරයට,

කලාඳුරු අල, ඉරිවේරිය, බෙලි මඳ, අතිවිඩයන් සහ කෙලිඳ හාල් කෂාය දෙනු ලබනවා.

අජීර්ණ සඳහා,

ඉරිවේරිය දලු කොටා උතුරන වතුරට දමා මිරිකා ගත් යුෂ බීමට දෙනු ලබයි.

මේ ආදී ඖෂධ යෝග බොහෝමයක් දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේදයේ දක්නට ලැබෙනවා.

එසේ ම හිසේ අමාරුවලදී ඉරිවේරිය, බෙලිමුල්, මුරුවා මුල්, කටුකරෝසන, එළබටුමුල්, රසකිඳ, දුම්මැල්ල, කොත්තමල්ලි, කලාඳුරු අල, වියලි ඉඟුරු කෂාය දෙනු ලබනවා.

මේ අතර ඉරිවේරිය කොටා මිරිකා ගත් යුෂ බෝතලයකට සීනි ග්රෑම් 850ක් දමා පැණි පදමට උණුකර ගෙන වරකට තේ හැඳී 2 බැඟින් බීමෙන් ග්‍රහණිය, අතිසාරය, අජීර්ණය, බඩේ කැක්කුම සහ අරුචිය නසනු ලබනවා.

මේ ආදී වශයෙන් රෝගාබාධ රාශියකට විශේෂයෙන් උදරය ආශ්‍රිත රෝගවලදී නැතිවම බැරි ඔසුවක් ලෙස ඉරිවේරිය හඳුන්වන්න පුළුවන්.

එනිසා බොහෝ ගුණ දෙන මේ අගනා ඔසුව සෑම ගෙවත්තක ම වගා කර ගැනීම ඉතා වටිනවා.

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.