නිර්මාංස වීමේ සුබ රහස් මෙන්න

මැයි 13, 2022

 

මේ පැමිණ ඇත්තේ පින්බර වෙසක් මාසයයි. මේ මාසය පුරාවටම බොහෝ පිරිසක් නිර්මාංස ආහාර සඳහා යොමු වේ.

ආයුර්වේද දර්ශනයේ පරමාර්ථ අතර හිතායු, සුඛායු, දීර්ඝායු ඇතිකර ගැනීම සඳහා පුද්ගලයාගේ නීරෝගි බව ඉතාම අවශ්‍ය වේ. ඒ සඳහා පෝෂණය මනාව පවත්වාගත යුතුය. ඒ සඳහා පෝෂණීය සමබල ආහාරවේලක් ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

 

සමබල ආහාරයක් යනුවෙන් සඳහන් කළ හැක්කේ, “පුද්ගලයාගේ නීරෝගිභාවයට අභියෝග නොකරන ආහාර වේලකි” යන්නයි. මෙහිදී යම් ආහාරයක් ගැනීමෙන් ඉහත කී නීරෝගි පුද්ගලයාගේ දෝෂයන්ගේ, ධාතුන්ගේ හා මලක්‍රියාවලීන්ගේ සමතුලිතතාවයට බලපෑම් නොකරන හා ආත්මය, ඉන්ද්‍රිය හා මනසේ ප්‍රසන්නතාවයට බලපෑම් ඇති නොකරන ආහාර විය යුතුයි. මෙම ආහාර රස හයකින් යුක්ත වෙයි. එනම්,

1. මධුර රස ආහාර 2. අම්ල රස ආහාර 3. ලවණ රස ආහාර 4. කටු රස ආහාර 5. තිත්ත රස ආහාර 6. කෂාය රස ආහාර යනාදී ලෙසයි.

මෙම රස හයම අඩංගු වූ විට එය සමබල ආහාරයක් ලෙස ආයුර්වේදය අනුව විස්තර කළ හැකිවේ. ආහාරය පරිභෝජනයට ගැනීමට සුදුසු ආකාරය ද දැක්වේ.

1. හිතාශන – පුද්ගලයාට හිතකර ආහාර පමණක් ගැනීම

2. නියතාංශන – නියමිත වේලාවට ආහාර ගැනීම

3. මිතාශන – ආහාරය පාලනය කරමින් ගැනීම

නිර්මාංසවීමට බොහෝවිට ආගමික නැඹුරුව පමණක් නොව ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානමත් අඩුකරන බව වර්තමාන සමාජයේ මතයයි. එලෙසම, සමහර පර්යේෂණවලින් පෙන්වාදී ඇත්තේ, නිර්මාංස පුද්ගලයන්ගේ ශරීරය ස්ථූලවීම ද අඩුවන බවයි. එමඟින් රුධිර පීඩනය ද පාලනය වන බව පැවසේ. ඒ වගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ද අඩුවීම සිදුවේ. එසේම එමඟින් හෘදරෝග අවදානම ද යම්තාක් දුරකට නිර්මාංස ආහාර භාවිතය නිසා අඩුවේ. බෝනොවන රෝග ලෙස සැලකෙන දියවැඩියාව හෙවත් මධුමේහ තත්ත්වයන් ද පාලනය වීමක් හා සෑදීමේ ප්‍රවණතාව අඩුවීම ද දක්නට ලැබේ. විශේෂයෙන්ම පිළිකා වැනි රෝග සෑදීමේ අවදානම ඉතාම අඩු අගයක් ගනී.

නිර්මාංස ආහාර රටාව තුළ පලතුරු හා තන්තු බහුල ආහාර රටාව වැඩිවේ. එබැවින් ගුද මාර්ග ආශි‍්‍රත රෝග තත්ත්වයන් හොඳින්ම නැතිවේ. විශේෂයෙන්ම මලබද්ධය, අර්ශස්, වැනි රෝග තත්ත්වයන් ඇතිවීම සිදු නොවේ. මල මාර්ග හොඳින් පිරිසුදු වූ විට හා විෂ තත්ත්වයන් ඉවත්වීම නිසා ගුදගත පිළිකා වැනි තත්ත්ව ඇතිවීම වැළකේ.

එසේම ආහාර රටාව තුළ කුළුබඩු වර්ග භාවිතය හොඳින් පවතින නිසා හෘදරෝග අවදානම මෙන්ම ආඝාත තත්ත්වයන් ඇතිවීම ද මඟහැරේ. එසේම, මාංසමය ආහාර නිසා ශරීරයට ඇතුළුවන අහිතකර බැක්ටීරියා වර්ග හා වෙනත් රෝග තත්ත්වයන් ඇතිවීම නිර්මාංස ආහාර රටාව නිසා නැතිවේ. එලෙසම මාංසමය ආහාර නිසා ශරීරයේ ඇතිවන පලු දැමීම්, කැසීම් හා වෙනත් අසාත්මිකතාවයන් ඇතිවීම ද නිර්මාංස ආහාර රටාව නිසා පහව යයි.

නිර්මාංසවල ගැටලුවක් ලෙස ප්‍රධානව සලකන්නේ ප්‍රෝටීන ඌනතා ඇතිවිය හැකි බවයි. නමුත් ශරීර බර කිලෝග්‍රෑම් සැටක් ඇති අයකුට දිනකට ප්‍රෝටීන ග්‍රෑම් 60ක් පමණ ශරීරයට අවශ්‍ය වේ. මෙය සාමාන්‍ය ශාක ආහාර පමණක් ගන්නා අයකුට ප්‍රෝටීන ග්‍රෑම් 80ක් පමණ ලබාගත හැකිය. කිරි නිෂ්පාදන, අර්තාපල්, නැවුම් එළවලු, නැවුම් පලතුරු ආදිය හොඳින් ආහාරයට ලබාගැනීම තුළින් නිර්මාංස පුද්ගලයකුට අවශ්‍ය දෛනික ප්‍රෝටීන අවශ්‍යතාව සම්පූර්ණ කළ හැකිය. ධාන්‍ය වර්ග, බෝංචි, දඹල වර්ග, සෝයා වර්ග වැනි රනිල කුලයේ ද්‍රව්‍යයන්ගේ ද ප්‍රෝටීන බහුලය. ඒ වගේම යකඩ පිළිබඳ සඳහන් කළත් බොහෝ පලාවර්ගවල ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය පවතී. අවශ්‍ය ප්‍රමාණයට පලාවර්ග ආහාරයට එක්කර ගැනීම මඟින් නිර්මාංස ආහාරවේලට අවශ්‍ය ලවණවර්ග ලබාගත හැකිය.

නිර්මාංස ආහාර රටාවකට හුරුවීම ඉතාම හොඳය. වර්තමානය තුළ නිර්මාංස ආහාර රටාවකට යොමුවීමේදී ගැටලු සහගත තත්ත්වයන් ද ඇතිවේ. එනම් ආහාර තෝරා ගැනීමේදී ඇතිවන ගැටලුය. එනම් ලංකාව තුළ පලාවර්ග, සම්බෝල ආදි බොහෝ වර්ග පිළියෙල කිරීමේදී අවම වශයෙන් උම්බලකඩ වැනි දේ එක්කරයි. එවැනි දේ නොකළ යුතුය. ඒ වගේම විටමින් බී 12 පෝෂණ අතිරේක ලෙස ගැනීමට බොහෝවිට සිදුවේ. ඒ එම විටමිනය නිපදවන්නේ සත්ව ප්‍රභව හා බැක්ටීරියා වැඩීමේදි පමණක් හෙයිනි. නමුත් නිර්මාංස ආහාර ලබාගැනීම මඟින් ශරීරයට හා මනසට දැනෙන පහසුව මේ කිසිවකින් යටත් කළ නොහැකිය. ඒ වගේම මෙහිදී නිර්මාංස ආහාර වේලක් ලබාගෙන ඒ සඳහා පුරුදුවීමේදී ආහාර පිසගත යුත්තේ විවිධ වර්ණවලින් යුත් දේදුන්නක් සේ ය. එලෙස ආහාර වර්ග තිබීම මඟින් ආහාර රුචිය මෙන්ම ශරීර පෝෂණය ද හොඳින් සිදුවේ.

 

වෛද්‍ය නිලධාරී

අභයතිලක දේවගිරි

බස්නාහිර පළාත්

ආයුර්වේද දෙපාර්තමේන්තුව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.