මේ දිනවල පැතිරෙන වයිරස් උණ ගැන ඔබ දැනුම්වත් ද?

මැයි 27, 2022

 

වසර 02ක පමණ කාලයක් කොරෝනා රෝගය මුළු ලෝකයම වසාගෙන මුළු මිනිස් සංහතියම පීඩාවට පත්කළා ඔබට මතක ඇති. වර්තමානය වන විට එයින් යම් සහනයක් ලබමින් පවතී. නමුත් මේ කාලයේ නැවතත් අධික වර්ෂාව හා සීතලත් සමඟ යම් වයිරස් උණ තත්ත්වයක් පැතිරෙමින් පවතින බව පෙනීයයි.

 

මේ කාලයේ පවතින මෙම උණ තත්ත්වය ශරීරයේ මාංශපේශිවල පවතින වේදනාව, කැස්ස, අධික හිසරදය ආදි ලක්ෂණ දැක ගත හැකියි. මෙය අලුත් වයිරස් තත්ත්වයක් ලෙසට විග්‍රහ කළ හැකි බව පෙනේ. ආයුර්වේද දර්ශනයේ උණ හෙවත් ජ්වරය දක්වා ඇත්තේ මෙලෙසයි.

ජ්වරය

ශරීරය, ඉන්ද්‍රිය, මනස යන තුනෙහි සන්තාපය ඇති කරන්නේ, ජ්වරය වේ. ජ්වරයේ ප්‍රධාන ලක්ෂණය වන සන්තාපය යනු දැල්වීම හෙවත් උෂ්ණත්වය වැඩිවීම වේ. මෙම තත්ත්වය සම ස්පර්ශ කිරීමෙන් මෙන්ම නාඩි පරික්ෂාවෙන් ද හඳුනාගත හැකිය.

ජ්වලයති සන්තාපයති දේහේන්ද්‍රිය මනාංසිති ජ්වර

“දොසුත් සමඟ ඒ අනලස වෙහෙසින් ගත පැතිරෙන්නේ

උදුන් තබන බඳුන් ලෙසින් සත ගත උණුකරවන්නේ

තමන් වසඟ වූ දේහය නිතියෙන් තාපය දෙන්නේ

ඉතින් සියලු ශරීරයම මෙලෙසින් උණුකර වන්නේ”

ජ්වරයේ ප්‍රධාන ලක්ෂණ තුනක් ඇත.

1. ස්වේදාවරෝදය 2. සන්තාපය 3. සර්වාංග ග්‍රහණය වේ.

එනම් එහිදී ස්වේදය පිටවීම නැවතී තාපය වැඩිවී දේහයම පීඩාවට පත්වීම සිදුවෙයි. මේ තුනම තුන්දොසින් වන ක්‍රියාය. ස්වේදාවරෝදය සෙමින් ද සන්තාපය පිත් දෝෂය මඟින් ද සර්වග්‍රහණය වාතය විසින් ද සිදුකරයි.

ජ්වර රෝගය ස්වතන්ත්‍ර රෝගයක් ලෙසට ද වෙනත් රෝගයක ලක්ෂණ ලෙස ද (පරතන්ත්‍ර) එමෙන්ම රෝගයක උපද්‍රවයක් ලෙස ද ආයුර්වේදයේ සඳහන්ය.

පූර්ව රූප

ඉබේ ඇතිවන විඩාව, සිතේ අවිවේකී බව, ඇඟපත මැළවීම, කටේ නීරස ගතිය, ඇස් කඳුළු පිරීම, ඈනුම් යෑම, ඇඟපත මඩින්නක් බඳු වේදනාව, ඇඟපතේ බර බව, ආහාර අරුචිය, සිතේ අප්‍රසාදය,මෙය සාමාන්‍ය ජ්වර තත්ත්වයකදී ඇතිවන ස්වභාවය වේ. නමුත් ජ්වරය ඇතිවන හේතුකාරණා අනුව ඇතිවන රෝග ලක්ෂණ හා පූර්වරූප එකිනෙකට වෙනස් වේ. එසේම දෝෂයන්ගේ ප්‍රබලතාව අනුව ද රෝග ලක්ෂණ වෙනස්වීම සිදුවේ.

රෝග ලක්ෂණ

විශේෂයෙන් මේ දිනවල පවතින අධික වැසි සහිත ස්වභාවය නිසා එයට තෙමීම හා හිරිකඩ මඟින් ඇතිකරන තත්ත්ව නිසා සෙම් දෝෂ සහිත පුද්ගලයන්ට මේ දිනවල උණ, සෙම්, කැස්ස වැනි රෝග තත්ත්වයන් දක්නට ලැබේ. එහිදී ශරීරයේ සෑම අංගයකම මාංශපේශිවල වේදනාවක් ද, බහුලව දක්නට ලැබේ. හිසෙහි පවතින සෙම් කොටස්වල කෝපවීම නිසා අධික හිසරදය මෙන්ම කැස්ස තත්ත්වය ද දක්නට ලැබේ. ඊට අමතරව අරුචිය හා ආම තත්ත්වය ද උත්සන්නව දැකිය හැකිය. ඇඟපතේ බරබව නිසා ශරීර ශක්තිය නොමැති බව හා අලස ගතිය හොඳින්ම දක්නට ලැබේ. ප්‍රධානව දැකිය හැක්කේ නාසයෙන් දියර ගතිය වැගිරීමය. එසේම නාසයේ ඇතිවන දැවිල්ල, කිවිසුම් යෑම වැනි තත්ත්ව දැකිය හැකිය. මෙය ද වයිරස් ගතියක් නිසා ඇතිවන උණ තත්ත්වයක් ලෙස දැක්විය හැකිය. එය බෝවන තත්ත්වයක් බව පෙනේ. බොහෝවිට ගෙදරක එක් පුද්ගලයකුට වැලඳුන විට ආරක්ෂා නොවුණහොත් කිහිප දෙනකුට එම තත්ත්වය ඇතිවන බව පෙනේ. ඉතින් ඇතිවූ පුද්ගලයාගේ පෞද්ගලික උපකරණ භාවිතයෙන් අනෙක් අය ඉවත්විය යුතුය.

ප්‍රතිකාර

උණ රෝගියකු සඳහා විශේෂයෙන් ඒ රෝගයේ උත්සන්න වූ දෝෂය අනුව ප්‍රතිකාර පද්ධතිය නියම කළ යුතුය. විශේෂයෙන් මෙහිදී සෙම් දෝෂය උත්සන්න වී ඇති බව දැකිය හැකිය. එබැවින් ත්‍රිදෝෂමතය අනුව කඵදෝෂයට අදාළව ප්‍රතිකාර කළ යුතුය. මේ සඳහා ආයුර්වේද දර්ශනයේ බොහෝ කෂාය වර්ග, චූර්ණවර්ග, ගුළි වර්ග, ක්වාත වර්ග, අපට යෙදිය හැකිය. එය පුද්ගලානුබද්ධ චිකිත්සිය ක්‍රියාවලියකි. නමුත් අපට මෙහිදී සරලව මේවා දැක්විය හැකිය.

ගත යුතු ආහාර

විශේෂයෙන් බර ආහාරවලින් අත්මිදෙන්න. සැහැල්ලු ආහාර වර්ග මුලදී ආහාර ලෙස ගැනීම වැදගත් වේ. ඒ යටතේ බත් කැඳ, ලුණුකැඳ ඇතුළු කැඳ වර්ග ආහාර ලෙස ගැනීම වැදගත්ය. තැම්බුම් හොදි ආදිය ලබාදීම මඟින් ආහාර අරුචිය හා අග්නිය වර්ධනය වීම උත්තේජනය වීම වැළැක්විය හැකිය. එසේම, මෙහිදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද වර්ධනය වීම සිදුවේ.

විශේෂයෙන් සීත කළ බීම වර්ග, සීත කළ ආහාරපාන කිරි වර්ග, යෝගට් වර්ග, අයිස්ක්‍රීම් වර්ග ආදිය නොගත යුතුය. එමඟින් තවත් රෝගය උත්සන්න වීම සිදුවේ.

සෙම සහිත නිසා ඉඟුරු, කොත්තමල්ලි වෙන වෙනම කබලේ බැඳ කුඩුකර තේ, කෝපි වෙනුවට භාවිත කළ හැකිය.

ආයුර්වේද ප්‍රතිකාර

කැස්ස ඇතිවිට ඉඟුරු ඉස්ම, මී පැණි, සීනි, තේහැඳි 01 බැඟින් මිශ්‍රකර පැය 08කට වරක් දීම මඟින් සහනය ලැබේ.

සරල කෂායක් ලෙස

ඉඟුරු. කොත්තමල්ලි, සිරිතේක්කු, කටුවැල්බටු, පත්පාඩගම්, තිප්පිලි එයින් කලං 02 බැගින් ගෙන වතුර අඩුකෝපප 8ක් දමා 8 -1 සිඳ සීනි හා මී පැණි දමා (අනුපාන1) පානය කිරීමෙන් කැස්ස හා සෙම තත්ත්ව ඉවත්කළ හැකිය. අවම වඩි 05ක්වත් පානය කරන්න. අවශ්‍ය විට සීතාරාම ගුළි, වැනි දේ අවස්ථානුකූලව ගැනීම වටී.

මීට අමතරව ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පත්පාඩගම් ද තම්බා පානය කිරීම මඟින් සුවයක් දැනීම සිදුවේ.

සෙම්ගතිය නිසා හුස්ම ගැනීමේ අපහසුව ඇතිවීම දෙහිකොළ, බෙලිකොළ, නිකකොළ ආදිය යොදා තම්බාගත් වාෂ්ප දුම ඇල්ලීම මඟින්, සුවයක් දැනීම සිදුවේ.

විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මේ සඳහා සුදර්ශන චූර්ණය වැනි ඖෂධ ඉතාම යෝග්‍ය බවයි. මෙම ඖෂධ වයිරස් මඟින් ඇතිකරන තත්ත්ව මඟහරවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කර රෝගය සමනය කරයි. නමුත් නිවැරැදි වෛද්‍ය උපදෙස් හා නිවැරැදි රෝග විනිශ්චයක් නොමැතිව ඖෂධ භාවිතය සුදුසු නැත. එබැවින් අනිවාර්යයෙන් රෝග විනිශ්චය වෛද්‍යවරයකුගෙන් ලබාගෙන උපදෙස් සහිතව රෝග නිවාරණය වැදගත්ය. එසේම අවශ්‍ය අවස්ථාවලදී රුධිර පරික්ෂා මඟින් ද නිගමනය තහවුුරු කර ගැනීම යහපත්ය. ඩෙංගු රෝගය ද මේ දිනවල යළිත් ඉතා ශීඝ්‍රයෙන් වැඩිවීමට මේ වැසි සමය හේතු වී ඇත. එබැවින් උණක් හෙවත් ජ්වරය සෑදුණු විට හොඳින්ම සැලකිලිමත්වීම ජීවිතයට ඉතාම වැදගත්ය.

 

වෛද්‍ය නිලධාරී

අභයතිලක දේවගිරි

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.