මුත්‍රාබාධ නසන මුඩ මහණ

සැප්තැම්බර් 23, 2022

බොහෝ දෙනා ඉතා හොඳින් දන්නා හඳුනන පැළෑටියක් වන මුඩ මහණ ඖෂධීය වශයෙන් බොහෝ ගුණ දෙන ඖෂධයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදීද බොහෝ රෝගාබාධයන් සඳහා යොදනු ලබන ඖෂධයන් ප්‍රයෝගයන්හි දී ගනු ලබන මූලික ඔසුවක් ලෙස මෙය දැක්විය හැක.

දේශීය වෛද්‍ය ක්‍රමයේදී අතීතයේ සිටම මෙම ඖෂධීය පැළෑටිය ඖෂධ යෝග සඳහා යොදාගත් බව සිංහල යෝගරත්නාකරය වැනි වෛද්‍ය ග්‍රන්ථ පරිශීලනයේදී දැනගත හැක.

දේශීය වෛද්‍ය ක්‍රමයේදී විශේෂයෙන් වාත රෝග, අන්ඩ වෘද්ධී රෝග සඳහා යෙදෙන ඖෂධ යෝගවල මුඩමහණ දක්නට ලැබුණි. එසේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ද මුත්‍ර රෝග, අන්ඩ වෘද්ධී රෝග, ශ්වාස, කාස ආදී රෝගාබාධවලදී යොදනු ලබන ඖෂධ යෝගවලදී මුඩමහණ දක්නට ලැබුණි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී ඉතා ඈත අතීතයේ සිටම මුඩමහණ පිළිබඳව දක්වා ඇති බව පැරණි සංහිතා ග්‍රන්ථ පරිශීලනයේදී වටහා ගත හැක. එනම් චරක සංහිතාවේ චිකිත්සා ස්ථානයේද සූශ්‍රැත සංහිතාවේ සූත්‍රස්ථානයේ සහ චිකිත්සා ස්ථානයේද, අෂ්ටාංග හෘද සංහීතාවේ සූත්‍ර ස්ථානයේ සහ චිකිත්සා ස්ථානයේද මුඩමහණ පිළිබදව දක්වා තිබීමෙන් එය පැහැදිලි වේ.

මුඩමහණ වැවෙන ප්‍ර‍දේශ

දේශීය වශයෙන් - ශ්‍රී ලංකාවේද කුඹුරු ආශ්‍රිතව දිය සීරාව සහිත බිම්වල බහුල ලෙස වැවේ. මෙනිසා ‘වෙල් මුඩ’ යනුවෙන් හඳුන්වයි.

පැළෑටියේ ස්වරූපය

සෙ.මී.30ක් පමණ උසට වැවෙන කුඩා පැළෑටියක් වන මුඩමහණ රළු ශාඛා සහිත සිලින්ඩරාකාර කඳකින් යුක්තය. මෙහි පත්‍ර දැති සහිත වන අතර සෙ.මී. 2.5-5 දක්වා දිගය. පළලින් සෙ.මී. 1.2-2 දක්වාද වෙයි. මෙහි පත්‍ර කෙදි සහිතද වෙයි. එසේම මේවායේ මල් දම් පැහැති වන අතර ඒවා ගෝලාකාර පුෂ්ප මංජරියක පිහිටයි. මෙම පැළෑටිය සම්පූර්ණයෙන් වැඩී මල් පිපෙන කාලයේ උදුරා වියළා රුද්ද භාජනවල (වියළි භාජන/තෙත සහිත නොවන) දැක්විය යුතු වෙයි. මෙම මුඩමහණ පැළෑටිය පිළිබදව හඳුන්වන නාමයන් පිළිබදව සලකා බැලීමේදී,

පොදු සිංහල නාම - මුඩමහණ, වෙල් මුඩ සහ සංගමූලී වන අතර

මෙහි උද්භිද විද්‍යාත්මක නාමය SPHAERANTHUS INDUCUS LINN  වන අතර කුලය COMPOSITAE

හෙවත් භෘංගරාජ කුලය වෙයි. මේ අතර මුඩමහණ ප්‍රභේද 2ක් දක්නට ලැබේ. ඖෂධ සඳහා ගනු ලබන්නේ මුඩමහණ පැළෑටියේ පංචාංගය සහ බීජයි. මුඩමහණවල අඩංගු රසායනික උපාදාන සැලකීමේදී - මල් හටගත් අලුත් පැළෑටියේ එක් වාෂ්පශීලී තෛලයක්ද කොළ දඬුු සහ මල් වල උපක්ෂාරයක්ද අන්තර්ගත වෙයි.

ඖෂධීය ගුණ

රසයෙන් තිත්ත, කටුක සහ මධුර රස වන අතර ගුණයෙන් ලඝු සහ රූක්ෂ වෙයි. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වෙයි. දෝෂ අනුව සැලකීමේදී - මුඩමහණ තුන්දොස් ගුණයෙන් යුතු නිසා වාත,රෝග ආදී අවස්ථාවල ප්‍රයෝග කරයි. එසේම ශීර්ෂ ෂූලවලදී විශේෂයෙන් අර්ධාවබේදක ශීර්ෂ රෝගයේදී ගම්මිරිස් කුඩු සමඟ මුඩමහණ ස්වරස සතියක් පමණ ආහාරයට පෙර ගැනීමෙන් එම රෝග තත්වය සමනය වේ.

ආහාර පරිපචන ව්‍යූහාවේදී - දීපන පාචන අනුලෝමන යකෘත් උත්තේජන සහ කෘම්ස්ණ ගුණවලින් යුතු අතර බඩගිනි අඩුකම, වේදනා, අක්මා ප්ලීහා ඉදිමීම්, කාමලා අර්ශස්, සහ පණු රෝගවලදී ප්‍රයෝග කරයි.

රුධිර සංසරණ ව්‍යූහාවේදී - හෘදය උත්තේජන රක්ත ශෝධක සහ ශෝතහර ගුණ යුතු නිසා හෘද දුබලතා, වාතරක්ත, විස්ථෝට, ආදී රක්ත රෝගවලදී ශෝථ, ගණ්ඩමාල, ශ්ලීපද, අපචි ආදී රෝගවලදී මුඩමහණ ස්වරස, පාන, ලේප ආදී වශයෙන් ප්‍රයෝග කරයි.

ශ්වසන ව්‍යූහාවේදී

සෙම් නසන ගුණ යුතු අතර කල්ගත වූ කැස්ස ශ්වාස වැනි රෝග සඳහා යොදයි.

මුත්‍ර ව්‍යූහාවේදී

මුත්‍රකාරී ගුණ යුතු අතර මූත්‍රකුජ්ජ, පූයාමේහ, ප්‍රමේහ ආදී අවස්ථාවල ප්‍රයෝග කරයි. එසේම පෞරුෂ ග්‍රන්ථි ශෝථය අවස්ථාවේ කෂාය හා චූර්ණ ආදිය වශයෙන් ද අර්කයද බෙහෙවින් ගුණ දායක වන අතර මුත්‍ර මාර්ගය ශෝධනය කර වරින්වර මූත්‍ර පිටකරන රෝගී තත්වයද සුව කරයි.

ප්‍රජනන ව්‍යූහාවේදී

මුඩමහණ මුල් වාජීකරණ ගුණ යුතු අතර තෙලද විශේෂ වේ.

චර්ම ව්‍යූහාවේදී

ස්වේද ජනක සහ කුෂ්ඨස්න ගුණ යුතු වන අතර කුෂ්ඨ විසර්ප ආදියේ දී බාහිරව ආලේපයද මෙහි කෂාය පානය ද ප්‍රශස්ත වේ. එසේම වාත රක්ත රෝගයේ දී මුඩමහණ චූරණය ගිතෙල් සමඟ ගෙන රසකිද කසාය අනුපාන වශයෙන් ගනු ලබයි.

මේ ආදී වශයෙන් ශාරිරීක ව්‍යූහ ආශ්‍රිතව ඉතා හොඳින් ක්‍රියාකාරී වන ඔසුවක් ලෙස මෙම මුඩමහණ හැඳින්විය හැක. එසේම මුඩමහණ රෝග රාශියක් විවිධ රෝග සඳහා යෙදෙන අතර ඒ අතරින් කිහිපයක් නම්,

අන්ඩ වෘද්ධියේදී - සුදුළූණු, කුඹුරු ඇට, මද, මුඩමහන කෂාය ප්‍රශස්ත වේ.

පියවුරු එල්ලා වැටීමේදී - මුඩමහණ තිප්පිලි කල්කයේ සිද්ධකල තෛලය නස්න කිරීමෙන්ද තෙල් තෙමූ රෙදි කඩක් පියවුරුවල එලා තැබීම ද කරයි. මෙමඟින් එම රෝග තත්වය සමනය වේ.

යෝනී ශූලයේදී

මුඩමහන චූරණය එරඩු තෙලින් අනා කපු පුළුන් පොඟවා පිඬුවක් කර යෝනිය තුළ තැබීමෙන් ශූලය නිරාවරණය වේ. මේ ආදී ඖෂධ යෝග රාශියක් යෙදෙනු දක්නට ලැබේ. මෙයට අමතරව තවත් ප්‍රකට ඖෂධ යෝග රාශියක්ද මුඩමහණ අඩංගුව දක්නට ලැබේ.

1. කණ්ඨකාරී සංගමූලී - ආදී කෂාය වැඩිහිටි අයගේ ශ්වාස කාස ආදී රෝග සඳහා යොදනු ලබයි.

2. මුඩමහණ කෂාය - අණ්ඩවෘද්ධි වාතයට යොදයි.

3. මුඩමහණ අර්කය - මුත්‍ර ව්‍යූහාගත රෝග සඳහා යොදනු ලබයි.

4. අලම්බුෂාදී චූරණය - ආමවාත සන්දි රෝග ශුල්ම අර්ෂස් ආදී රෝග සඳහා යොදයි.

5. මුණ්ඩී තෛලය - හිස කෙස් වැඩීමට හා ඝනවීම සඳහා යොදා ගනු ලබයි.

6. ලෞහ රසායනය - ස්ථුල බව අඩු කිරීමට ගනු ලබයි.

7. ශත පුෂ්පාදී තෛලය - අණ්ඩ වෘද්ධියේදී අභ්‍යංගය සඳහා යොදයි.

8. හිංහුවාදී චූරණය - ගුල්ම අජීරණ ආදියට යොදයි.

මේ ආදී වශයෙන් බොහෝ රෝගාබාධ සඳහා ගුණ දෙන ඉතා අගනා වටිනා ඔසුවක් වශයෙන් මුඩමහණ හැඳින්විය හැක. ඖෂධීය මාත්‍රා වනුයේ,

ස්වරස - කර්ෂ 2/1 - 1

ක්වාථය - කර්ෂ 5 – 10

චූර්ණය - රක්තිකා 3 – 6 වශයෙනි.

මේ අනුව නියමිත මාත්‍රාවට අනුව අවස්ථානුකූලව යෙදීමෙන් අණ්ඩවෘද්ධීය ඇතුළු බොහෝ රෝග සඳහා විශිෂ්ට ප්‍රතිඵල ළඟා කරදෙනු ඇත.

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.