දියවැඩියාව පාලනයට සුදුසු ඔසු

නොවැම්බර් 18, 2022

දියවැඩියාවෙන් නොහොත් මධුමේහයෙන් පෙළෙන රෝගියකු ආහාර විහරණ ඖෂධ යන කරුණු අනුව රෝගය පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය. ආහාර පාලනයේදී සියලුම පැණිරස ආහාර සහ අනෙකුත් ආහාර තිරිඟු පිටිවලින් නිෂ්පාදනය කරන ආහාර සම්පූර්ණයෙන්ම නොගත යුතුය. පිෂ්ටය අධික සියලුම ආහාර ද නොගත යුතුය.

 

උදය, දවල්, රාත්‍රී ප්‍රධාන ආහාර වේල් තුනට ම ආහාර වට්ටෝරුවක් සකසා ගෙන ආහාර ගත යුතුය. අකමැත්තෙන් වුවත් ගත යුතු ආහාර වන්නේ රෝගයට සුදුසු ආහාර පමණකි. ඒ නියමිත වේලාවට සුදුසු පරිදිය. බාධා මධ්‍යයේ වුවද නිවුඩු හාලේ බත්, කුරක්කන් පිටි හා හාල්පිටිවලින් සාදන ලද ඉදිආප්ප, රොටි, පිට්ටු, ධාන්‍ය වර්ග හා පළා වර්ගත් ආහාරවේලට එක්කර ගත යුතුය.

රෝගය පාලනය නොකර සිටීම අතුරු ආපදා රැසකට හේතු වේ. ඒ අතර වකුගඩු රෝග හෘද රෝග, ඇස් පෙනීම දුර්වලවීම, ස්නායු දුර්වල වීම, හිරිවැටීම හෝ ආඝාත තත්ත්වයට පත්වීම මෙන්ම දියවැඩියාව නිසි ලෙස පාලනය කර නොගතහොත් සංකූලතා ඇතිවී තම එදිනෙදා කාර්යයන් පවා කර ගැනීමට නොහැකිවි දැඩි මානසික වේදනාවන්ට පවා ලක්වේ. ශරීරයේ ආසාදන බහුලවන අතර සමහර අවස්ථාවලදී පාද හෝ ඇඟිලි ශරීරයෙන් කපා ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා බොහෝය.

කෝවක්කා

කෝවක්කා වැල්වල හටගන්නා ලා කොළ, ලපටි කොළ, කෝවක්කා කැඳට මෙන්ම කෝවක්කා මැල්ලුමටත් ගන්නා අතර කෝවක්කා ගැට ව්‍යාජනයක් ලෙසටත් සාදා ගනී. මින් වැඩියෙන්ම කෑමට ගන්නේ කෝවක්කා කොළ මැල්ලුමයි. එමෙන්ම කෝවක්කා කොළ කොටා පෙරා ගන්නා යුෂද පානය කිරීමට ගනී. ඒ කුමන විදියට සකස් කළත් ඒවා දියවැඩියාවට නම් ඉතාම ගුණදායකය. එමෙන්ම මලබද්ධයට මෙන් ම අර්ශස්වලට ද මහඟු ඖෂධයකි. දියවැඩියා රෝගීන් කෝවක්කා ආහාරයට ගැනීමෙන් සීනි මට්ටම පහළට බැසීමේ තත්ත්වයක් පවතී.

තෙබු කොළ සලාදය

තෙබු කොළ සලාදය, තෙබු කොළ මැල්ලුම, තෙබු කොළ ව්‍යංජනය ආදී වශයෙන් සකස්කර ගන්නා තෙබු කොළ ව්‍යාංජනය වුවත් දිනපතා ආහාරයට ගැනීම සුදුසු නැත. කෙසේ වෙතත් සතියකට වරක් දෙවරක් ගැනීමෙන් ලේවල සීනි මට්ටම පහත යන බව සඳහන්.

සේපාලිකා මල්

නිවෙස්වල ගෙමිදුලේ හෝ වැට මායිමේ වවා ඇති සේපාලිකා ගසේ ගස පුරාම සෑදෙන සුදුපාට මල් උදේට සේපාලිකා ගස වටේට ඇතිරිල්ලක් වගේ මල්වලින් අලංකාර වී තිබෙනු දැක ගන්නට ඇත. එම මල්ගෙන සෝදා තම්බා සේපාලිකා මල් වතුර පානය කිරීම දියවැඩියාවට ගුණ වේ. එමෙන්ම වරකා, කොස් ගසේ ඇති ඉදීගෙන එන වරකා කොළද තැම්බූ ජලය පානය කිරීමට ද දියවැඩියාවට හොඳ ඖෂධයකි.

කරවිල

කරවිල ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි ප්‍රමාණය අඩුවන බව සොයා ගෙන ඇත. තුඹ කරවිල ගෙඩි කොටා මිරිකා ගත් කරවිල ඉස්මට මී පැණි දමා මිශ්‍රකර හිස්බඩ බීම දියවැඩියාවට ඉතාම ගුණදායක වේ. කරවිල යුෂයේ ගුණ බොහෝය. ඒ නිසාම දියවැඩියා රෝගීන් කරවිල යුෂ පානයට දැඩි කැමැත්තක් දක්වයි. කරවිල ආහාරයට ගැනීමෙන් ශරීරයේ ලේ පිරිසුදු කරන අතර ඉදිමුම් නසන ගුණයක්ද පවතී.

කුරක්කන්

කුරක්කන් දියවැඩියා රෝගීන්ට ඉතා හොඳ ඖෂධයකි. පෝෂණ ගුණයෙන් ඉහළවන අතර මලබද්ධයට ද හිතවත් වේ. සිරුරේ ශක්තිය වඩන කුරක්කන් අනිසි තරබාරුව නසන තත්ත්වයක්ද පවතී. දියවැඩියා රෝගීන් ආහාර පාලනය කරගත යුතුය. නිවුඩු සහිත තැම්බූ සහල්, රතුනාඩු, සුදුතැම්බූ සහල්, සුදුනාඩු බත් ආහාරයට ගැනීම කළ යුතුය. උදු,තල, කඩල, කොල්ලු, කුරක්කන්, මුංඇට, කවුපි, තණහාල්, මෙනේරි, බාර්ලි වතුර මේවායින් පිටිකර හෝ තම්බා හෝ ආහාරයට ගැනීම සුදුසුය.

බටු, තිබ්බටු, තක්කාලි, දඹල, කෙසෙල් මුව,නෝකෝල්, ගෝවා, තුඹ කරවිල, දෙමුහුන් කරවිල, මෑකරල්, වතුරුමී ,රතුලූනු, සුදුලූනු, ඇඹරැල්ලා , අන්නාසි, රටකජු, හීංබෝවිටියා කොළ මැල්ලුම සහ කැඳ වැරණිය දලු සම්බෝලය, තෙබු දලු, කොස්,පොළොස්, කංකුං, කතුරුමුරුංගා කොළ, කිරිඅගුණ කොළ, පිපිඤ්ඤා, කැකිරි, තිත්තලබු, රටදෙල්, වල්දෙල්, ගැටතුඹ, වම්බටු, බණ්ඩක්කා, නිවිති ද වේ. අඹ, අන්නාසි, පැණි කොමඩු, ඉදුණු අළුකෙසෙල්, ඇඹුල් සුවදැල්. කෝලිකුට්ටු, ඇම්බුන්, සුවදැල්, නාරං,ජමනාරං, දෙහි, ලෙමන්, වැල්දොඩම්, කජු,ඇඹරැල්ලා ,පේර, තක්කාලි, වරකා වැල, දිවුල්,බෙලි, උගුරැස්ස, ලොවි, හිඹටු, මාදං, නෙල්ලි, ගස්ලබු, සැපතිල්ලා, දෙළුම්, රඹුටන්, අනෝදා මෙම පලතුරු භාගෙට ඉදුණු ඒවාවීම ගුණදායකය. කිරි රස පැණි රස ආහාර වැඩිපුර ගැනීම පාන්පිටිවලින් නිපදවූ ආහාර ගැනීම සෝස් වර්ග , පැණිබීම, බිත්තර, කුකුල්මස්, බහුලව ගැනීම කෘතිම ආහාර නිතර ගැනීම ශරීර සෞඛ්‍යයට බෙහෙවින් අහිතකරය.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙදමැදුරේ ප්‍රධාන ආයුර්වේද

වෛද්‍ය සුමිත් රාජපුර

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.