ස්වාභාවික රසකාරකවල ඖෂධීය ගුණය

මාර්තු 3, 2023

අද සමාජයේ බහුල ලෙස රෝගවල වර්ධනයක් පෙන්නුම් කරන්නේ ආසාදන නිසා නොව ආහාර රටාවේ පවතින වෙනස්කම් හේතුවෙනි. ආහාර ගැනීමේ නිසි ක්‍රමවේදයකින් තොරව හා ආහාරවලට එක්කරන විස රසායන රසකාරක නිසා බව පෙන්වාදිය හැකි ය. ඒ කෘත්‍රිම රස කාරකවල බලපෑම සෞඛ්‍යයට අහිතකරවීමය.

 

තවදුරටත් කෘත්‍රිම රසකාරකවලට යොමු වී සිටීම නවතා අපගේ සාම්ප්‍රදායික ආහාර රටාව වෙත යොමු වී ඖෂධීය ගුණයෙන් යුත් කුළුබඩුවල ගුණාත්මකභාවය තේරුම්ගෙන ආහාර සකස් කිරීමෙන් සෞඛ්‍යාරක්ෂක ආහාර රටාවකට යොමු විය හැකි බව කිව යුතු ය. විෂබීජ නැසීමේ හා රෝග නාශක ගුණයක් ඇති තුනපහවල කුළු බඩුවල බෝවන රෝග හා බෝනොවන රෝග මර්දනය කිරීමේ ශක්තියක් ද පවතී.

කොත්තමල්ලි

 

Coriander  උද්භිද විද්‍යාත්මක නාමය Coriandrdum sativum කොත්තමල්ලි තුන පහ සාදා ගැනීමේ දී ප්‍රධාන කුළුබඩුවක් ලෙස එක්කර ගනී. පිපාසය සංසිඳුවන බඩගින්න ඇති කරවයි. ශ්වසන රෝගවලට ගුණවේ. උණ රෝගවලට ප්‍රබල ඖෂධයකි. කෝප වූ තිදොස් සමනය කරයි. මොළයේ ක්‍රියාකාරීත්වය පහසු කරයි. උෂ්ණ ගුණයෙන් යුතු ය. මුඛයේ දුර්ගන්ධය නසාලයි. දියවැඩියාවට ගුණාත්මකයි. ආහාර රස ගැන්වීමට හා සුවඳවත් කිරීමටත් යොදා ගනී.

සූදුරු

 

Cuminseed උද්භිද විද්‍යාත්මක නාමය Cuminum cyminum සෙම හා වාතය සමනය කරන පිත වඩවන ඔසුවකි. ආහාර දිරවීමට උපකාරීවන අතර බඩගින්න ඇති කෙරේ. වයසට යෑම පමා කරවීමේ ශක්තියක් ද පවතී. සිරුර ප්‍රාණවත් කිරීමේ හා උදරයේ ඇතිවන රෝග සමනය කිරීමේ බලයක් පවතී. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් සූදුරු බල වර්ධක සුවඳවත් කුළු බඩුවකි. රූපලාවණ්‍ය සඳහා ද යොදා ගනී. සූදුරු බොහෝ ආහාර සුවඳවත් කිරීමට ද යොදා ගනී.

අබ

 

Redmustard උද්භිද විද්‍යාත්මක නාමය Barassica infegrilalia  ආහාර රුචිය ඇතිකරවන අබ ආහාර රස ගැන්වීමටත් යොදා ගනියි. සෙම සමනය කරයි. මාංස පේශි ශක්තිමත් කරන අතර කොලෙස්ටරෝල් අඩු කිරීමේ ශක්තියක් ද පවතී. ශරීරගත විෂ නසාලීමේ ශක්තියක් ද ඇති අබවල බී විටමින් මෙන්ම සින්ක් යකඩ ආදී ඛනිජ ද්‍රව්‍ය ද පවතී. ප්‍රතිශක්තිය ද වර්ධනය කෙරේ. විටමින් මෙන්ම කැල්සියම් මැග්නීසියම් ද අන්තර්ගතව ඇත.

 

ගම්මිරිස්

 

Pepper උද්භිද විද්‍යාත්මක නාමය Pipernigrum  ගම්මිරිස් කුළුබඩු අතර සැරගතියෙන් යුක්ත වේ. සැර උෂ්ණ ගුණයක් පවතින අතර ගිනියම් බවක් ද පවතී. වාතය සෙම නසන අතර ආහාර රුචිය වඩවයි. උගුරේ වේදනාව හා පණු රෝග නැති කරයි. ශ්වසන ආබාධවලට ද ගුණවේ. ප්‍රතිශ්‍යාව කැස්ස ආදී රෝග ඖෂධවලට වැඩි වශයෙන් යොදා ගනී. ආහාර රසකාරකයකි. දහඩිය හොඳින් පිටකරයි. මුත්‍රා හොඳින් පිටකරන බැවින් මුත්‍ර රෝගවලටද ගුණදායක ය.

කහ

 

Turmeric උද්භිද විද්‍යාත්මක නාමය Curcuma domestica  ශාරීරික වර්ණය ඇති කරනු ලබන අතර ආහාර වර්ණ ගැන්වීමට ද යොදා ගනියි. කුළුබඩු අතර ස්වාභාවික වර්ණකාරකයකි. සෙම් පිත් වාත රෝගවලට ද ගුණදායකය. ආහාර රුචිය වර්ධනය කරයි. අහිතකර විෂ තත්ත්වයන් ද සමනය කරයි. ආහාර මාර්ගගත පිළිකා වළක්වාලීමට ක්‍රියා කරයි. කොලෙස්ටරොල් තත්ත්වයද පාලනය කරයි. සන්ධිරෝගවලටද ගුණදායක වේ.

කුරුඳු

 

Cinnamon  උද්භිද විද්‍යාත්මකනාමය Cinnamonum Zeyilanicum වාතය හා සෙම සමනය කරන විෂබීජ නාශක ගුණයෙන් යුත් බඩේ කැක්කුමට අජීර්ණ රෝගවලට ගුණවත් කොලෙස්ටරෝල් අවම කරන ඉතා ප්‍රසන්න සුවඳකින් යුත් ඖෂධයකි. රසායන බලයකින් යුත් කුරුඳු ලේවල මේදය අඩු කරන විටමින් හා ඛනිජ ලවණවලින් ද සම්පූර්ණ බඩ පිපුම හික්කා නවතාලිය හැකි ඖෂධයක් ද වෙයි. වේදනා නාශකයක් ද වන කුරුඳු වාජීකරණ වෙයි. මුඛ දුර්ගන්ධය අවම කෙරෙන කුරුඳු ආහාර රසවත් කර ගැනීමට ද යොදා ගනියි.

උළුහාල්

 

Fenugreek උද්භිද විද්‍යාත්මක නාමය Tigonella fenumgraecum  වාතය හා සෙම සමනය කරන උළුහාල් උදරගත බොහෝ රෝග සඳහා ද ඉතා ගුණයි. වාජීකරණ මෙන්ම ආම වාතයටද ගුණවේ. ආහාර රසවත් කිරීමට ගන්නා ප්‍රබල කුළුබඩුවකි. අධික තරබාරුව අඩු කිරීමේ ශක්තියත් පවතී. හිස්හොරි අඩුකිරීම සඳහා ගන්නා ඖෂධයකි. සන්ධි වේදනාවලට කොලෙස්ටරෝල් අඩුකිරීමට අධික රුධිර පීඩනයට අජීර්ණයට වමනයට අර්ශස් රෝගයට හා අතීසාරය ආදී රෝගවලටද යොදා ගන්නා ප්‍රබල ඖෂධයකි.

සුදුලූනු

 

Garlic  උද්භිද විද්‍යාත්මක නාමය Alliumsatiyum   සුදුලූනුවල ශරීරගත විෂ ඉවත්කිරීමේ බලයක් පවතී. මතක ශක්තිය වර්ධනය කිරීම, තරුණ ශක්තිය වැඩි කිරීම, හදවතට ගුණවත් වීම, කොලෙස්ටරෝල් අවම කිරීම, රුධිරගත සීනි ප්‍රමාණය අඩු කිරීම, අධිරුධිර පීඩනය අඩු කිරීම, ආහාර දිරවීම පහසු කරන කුරුඳු මිහිරි සුවඳකින් ද යුක්ත වේ. ස්නායු දුර්වලතා වළක්වාලන වේදනා දුරුකරන බුද්ධි වර්ධනය ඇතිකරන අතරම ප්‍රතිශක්තිය ද වර්ධනය කරයි.

ඉඟුරු

 

Zingiber officinale (Ginger) හෘදය ශක්තිමත් කරන රෝග වළක්වාලන ඉඟුරු කොලෙස්ටරෝල් පාලනය කරයි. මධුමේහය රෝගීන්ටත් අධික තරබාරුවෙන් යුත් අයටත් සෙම්ප්‍රතිෂ්‍යාවටත් ගුණවේ. වේදනා නාශක ගුණයෙන් ඉහළ තැනක සිටින අර්ශස්වලට මෙන්ම ස්නායු උත්තේජනය කොට වාතයද සමනය කරයි. වමනයට, සෙම්ප්‍රතිශ්‍යාවට, වේදනාවට, අර්ශස් රෝගීන්ට ගුණදායක වේ.

මීට අමතරව මාදුරු, දුරු, සියඹලා, කරාබු නැටි, ගොරකා, දෙහි, ඉඟුරුපියළිය, එනසාල්, සාදික්කා, මිරිස්, වසාවාසි, කරපිංචා, දෙහි ආදී කුළුබඩුද ඖෂධ ගුණයෙන් ඉහළය. රෝග නාශක ගුණයෙන් ද ඉහළය.

 

ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.