උණට ගුණ දෙන කිරාත

මැයි 19, 2023

 

ඉස්කෝලෙ මහත්තයා - ආයුබෝවන් වෙද මහත්තයා මම ඔබතුමා මුන ගැහෙන්නමයි හිටියේ.

 

වෙද මහතා -

ඇයි? ඉස්කෝලෙ මහත්තයා මොකද? උවමනාවක්ද?

ඉස්කෝලෙ මහත්තයා -

මේ දවස්වල හැම තැනම තියෙන උණ ලෙඩ ගැන ටිකක් දැන ගන්නයි. ඒවට හොඳ බෙහෙත් ගැන දැන ගන්නයි.

 

වෙද මහතා -

මේ වෙනකොට උණ රෝග කිහිපයක්ම වසංගතයක් වගේ පැතිරිලා යනවා. එකක් තමයි ඩෙංගු රෝගය තවත් එකක් මී උණ රෝගය අනෙක් රෝගය ඉන්ෆ්ලුවෙන්සාව ඊට අමතරව වයිරස් උණ ප්‍රභේද කිහිපයක්ම පැතිරිලා යනවා.

 

ඉස්කෝලෙ මහත්තයා - මේවට ආයුර්වේද වෙදකමේ ප්‍රතිකාරයක් නැද්ද? වෙද මහත්තයෝ.

 

වෙද මහත්තයා - ආයුර්වේදයේ ප්‍රතිකාර රාශියක්ම තියෙනවා. ඒ අතරින් වඩාත් ම හොඳම බේතක් තමයි සුදර්ශන චූර්ණය.

ඉස්කෝලෙ මහත්තයා -

ආ ඇත්තද? එතකොට සුදර්ශන චූර්ණය හදන්න ගන්න බේත් මොනවද?

 

වෙද මහත්තයා - සුදර්ශන චූර්ණය හදන්න ගන්න ප්‍රධානම ද්‍රව්‍ය තමයි කිරාත, හීං බිංකොහොඹ කියන්නෙත් මේකමයි.

 

ඉස්කෝලෙ මහත්තයා -

කිරාත ගොඩක් ගුණ ඖෂධයක්ද?

 

වෙද මහත්තයා -

අපෝ ඔව්. කොරෝනා වසංගත කාලේ අපේ හොඳම බේතක් වුණු සුදර්ශන පැණියේ කිරාත තිබුණු නිසා තමයි කොරෝනා පහසුවෙන්ම සුව වුනේ.

 

ඉස්කෝලෙ මහත්තයා - කිරාත අදුනගන්නෙ කොහොමද? වැවෙන්නෙ කොහේද?

 

වෙද මහතා -

හීං බිංකොහොඹ, වල් බිංකොහොඹ කියන නම් වලින් කිරාත හදුන්වනවා. ඒ වගේම මේ පැළෑටිය එක තැන් පඳුරු ගැහිලා හැදෙන පැළෑටියක්. අපේ රටේ අර්ධ ලෙස සෙවණ තියෙන ප්‍රදේශ, තෙත් ප්‍රදේශගවල දකින්න පුළුවන්. ඒ වගේම සමහර පාරවල් දෙපැත්තෙ දකින්න පුලුවන්. ඒ වගේම වියළි කලාපයේ අත් හැර දැමූ බිම්වලත් දකින්න පුළුවන්.

 

ඉස්කෝලෙ මහත්තයා -

වෙන රටවලත් තියෙනවද?

 

වෙද මහත්තයා -

ඉන්දියාවෙ සියලුම ප්‍රදේශවල දකින්න පුළුවන්. විශේෂයෙන් බෙංගාල් ඇසෑම් ප්‍රදේශවල. ඒ වගේම මැලේසියාව, චීනය, තායිලන්තය වගේ රටවලත් තියෙනවා.

ඉස්කෝලෙ මහත්තයා -

කිරාත පදුර අදුනගන්නෙ කොහොමද?

 

වෙද මහතා -

මේ ශාකය කෙළින් එක තැන පඳුරු සහිතව වැඩෙන සාමාන්‍යයෙන් මීටර් 1ක් විතර උසට හැදෙන චතුරශ්‍රාකාර කඳක් සහිත පැළෑටියක්. මේවායේ කොළ සිහින් ඒ වගේම තද කොළ පාටයි. සාමාන්‍යයෙන් පැළෑටියම තද කොළ පාටයි. මේ පඳුරු විශාල ප්‍රදේශයක පැතිරෙමින් වැඩෙනවා. මේ ගස්වල කඳේ රෝම සහිතයි. මේවායේ හටගන්න මල් ඉතා කුඩායි. සුදු පාටයි. ඒ වගේම හට ගන්න කරල් කෙළිඳ කරල් වගේ. කරල් තුළ බීජ 3ක් 4ක් තියෙනවා. ඒ වගේම මෙම කරල් හා කොළ අධික තිත්තයි.

 

ඉස්කෝලේ මහත්තයා -

මේ හැඩ හුරුකම් තියෙන පඳුරු මම දැකල තියෙනවා. ඒවා කිරාත වෙන්න ඇති. මේ පඳුරු වලට කියන වෙනත් නම් තියෙනවද?

 

වෙද මහතා -

මේවාට හීං බිං කොහොඹ, වල් බිංකොහොඹ, කිරතතික්ත කියන නම් තියෙනවා. සංස්කෘත භාෂාවෙන් කාලමේඝ මහාතික්තා කියන නම් යෙදෙනවා. හින්දි භාෂාවෙනුත් කාලමේඝ කියනවා. දෙමළ භාෂාවෙන් නීලවෙම්බු කියනවා. ඉංග්‍රිසී භාෂාවෙන් ඛ්පඥචබ කිරාතවල උද්භීද විද්‍යාත්මක නාමයඒදඤපධඨපචනඩඪඵ නචදඪජභතචබච.

 

ඉස්කෝලෙ මහත්තයා -

ඒ ගැන හොද දැනුමක් ලැබුණා. ඉතිං වෙද මහත්තයෝ කිරාතවල ගුණාගුණ එහෙමත් කියමුකෝ.

 

වෙද මහත්තයා -

මේවායෙ ගුණ නම් බොහෝමයි. මේ සම්පූර්ණ පැළෑටියම බේත්වලට ගන්නවා. ඒ වගේම මෙයින් සෙම හා පිත සමනය කරනවා. ඒ වගේම සෙම සහ පිත නිසා හැදුණු ලෙඩ රෝගත් සුව කරනවා විශේෂයෙන් මෙහි උණ රෝග නාශක ශක්තිය සහ බැක්ටීරියා නාශක ශක්තිය අඩංගුයි. එනිසා බඩගිනි අඩුකම, උණ, කල්ගත වූ උණ, සමේ රෝග, අක්මා රෝග, පණු රෝග, ඉදිමුම්, ලේ දූෂිත රෝග, ශරීරයේ දුර්වලතා ආදියට ඉතා ගුණයි.

 

ඉස්කෝලේ මහත්තයා -

කිරාත කියන්නෙ හරි පුදුම ඔසුවක්නෙ? තව මොනවද මෙහි තියෙන ප්‍රයෝජන?

 

වෙද මහතා -

මෙහි ලේ පිරිසිදු කරන ගුණ තියෙන නිසා සමේ රෝග, කුෂ්ඨ, ආදියටත් හොඳයි. ඒ වගේම ලේ යන අර්ශස් සහ රත් පිතටත් හොඳයි. එසේම ලේ නරක් වීම නිසා හැදෙන ඉදිමුමටත් හොඳයි. මව්කිරි පිරිසිදු කිරීමත් කිරාතවල ඇති විශේෂ ගුණයක් ඒ වගේම ටයිෆොයිඩ්: උණ සන්නිපාතය නසන ගුණ මෙහි ඇති බව නවීන විද්‍යාත්මක පර්‍යේෂණවලින් ඔප්පු කර තියෙනවා. ඒ වගේම නව ජ්වර:අලුත් උණ, ජීර්ණ ජ්වර: කල්ගත වූ උණ, විෂම ජ්වර: මැලේරියා, අක්මාරෝග ප්ලීහා රෝග ආදියට වගේම උණ සමඟ ඇතිවන වෙනත් රෝගවලදිත් උණ උපද්‍රව විදියට හට ගන්න රෝගවලදිත් කිරාත අඩංගු කෂාය බොහෝමයක් යෙදෙනවා.

 

ඉස්කෝලෙ මහත්තයා -

කිරාත කියන්නෙ පුදුම ඔසුවක්නේ? මේවා යොදන විදියත් දැනගත්තා නම් තමයි හොඳ.

 

වෙද මහතා -

ප්‍රධාන වශයෙන්ම කෂාය වර්ග විදියට යොදනවා. ඒ වාගේම අක්මා රෝගවලදි කිරාත පැළෑටිය සහමුලින්ම තම්බා බොන්න දෙනවා. උග්‍ර මැලේරියාවේදී කිරාත සහ ගම්මිරිස් චූර්ණය යොදනවා. මැලේරියාවේදි ඇතිවෙන ප්ලීහාව ඉදිමුමේදි තනිකර කිරාත කෂාය යොදනවා. ඒ වගේම කුඩා ළමයින්ට ඇතිවන පීනස, ඉරුවාරදය, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය, සෙම්ගෙඩි,සොටු දියර ගැලීම , නාසයේ මස්දළු ආදියට කිරාත පැළෑටිය සහමුලින් ගෙන තම්බා ගත් වතුර කෝප්ප 1-2ක් සීනි දමා උදේ සවස බීම ඉතා හොඳයි. මුත්‍රා ගල්වලට කිරාත යුෂ තේ හැදි 1-2 ක් උදේ හවස ගන්නවා නම් ඉතා ගුණයි. ඒ වගේම දියවැඩියා රෝගීන් කිරාත කොළයක් උදේ සවස හපල යුෂ ටික ගිලිනවනම් සීනි අඩුවේවි. මේ වගේ රෝග රැසකට ගුණ දෙන අගනා වටිනා ඔසුවක් තමයි කිරාත කියන්නේ

 

ඉස්කෝලෙ මහත්තයා - මේවායෙන් හදපු ඖෂධ කඩ පළේ තියෙනවද?

 

වෙද මහත්තයා -

ඖෂධ කීපයක්ම තියෙනවා. සුදර්ශන චූර්ණය, කාලමේඝ චූර්ණය, කාලමේඝ සුරාසවය, කාලමේඝ ක්වාථය වගේ දේවල් හදල තියෙන්නේ හීං බිංකොහොඹ යොදලා.

 

ඉස්කෝලෙ මහත්තයා - බොහොම හොඳයි වෙද මහත්තයෝ මට කිරාත ගැන හොද දැනුමක් ලැබුණා. මට මේ දැනුම සමාජය දැනුවත් කරන්න පහසුවක් වේවි.

 

වෙද මහත්තයා -

ඉස්කෝලෙ මහත්තයා කිරාත කියන්නෙ ඉතා අනර්ඝ ඔසුවක්, මේවායෙ වටිනකම් ගැන පාසල් දරුවන්ට කියල දෙන්න. එතකොට ළමයින්ට මේ පැළෑටිය හඳුනගන්න පුළුවන් වේවි. මුළු සමාජයම දැනුවත් වේවි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.