වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
මවක හා සමාන නෙල්ලි
ආයුර්වේද වෛද්‍ය සිසුවකු වන සහන් හට තම නිබන්ධනයක් සඳහා නෙල්ලි ශාකය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය විය.
ඒ සඳහා ඔහු තම ද්‍රව්‍ය ගුණ ගුරුතුමා වන ජයන්ත මහතා ගේ උපදෙස් ලබාගැනීමට ඔහු හමුවිය.
නිවාඩු දිනයක් වූ එදින නිවසේ සිටි ඔහු හමුවට තම දක්ෂතම සිසුවකු වන සහන් එනු දුටු ජයන්ත මහතා “මොකද පුතා උදේම’ යනුවෙන් ඇසීය.
සර්, මට නෙල්ලි ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන. නිබන්ධනයකට ඒකට සර් හමුවෙන්න ආවෙ යනුවෙන් සහන් පිළිතුරු දුන්නේය. එහෙනම් ඉදගන්නකො පුතා යනුවෙන් පැවැසූ ජයන්ත මහතා නෙල්ලි ගැන තොරතුරු පැවසීම ආරම්භ කළේය.
පුතා. නෙල්ලි කියන්නෙ අතිශයින්ම වැදගත් බොහෝ ප්‍රයෝජන තියෙන ඖෂධීය ශාකයක්.
ආයුර්වේදයේ එන සුප්‍රකටම ඖෂධ යෝගයක් වන”ත්‍රිපලාවල” එක ද්‍රව්‍යයක් තමයි නෙල්ලි ඒ වගේම නෙල්ලි වේද කාලයේ ඉඳලම ඖෂධ සඳහා භාවිතා කළ බවට සාක්ෂි තියෙනවා. එසේම පැරැණි සිංහල සාහිත්‍යයේ ඇඹුලු ඇඹුල ආදි නම් වලින් නෙල්ලි හදුන්වල තියෙනවා.
ඒ වගේම නෙල්ලි දිව්‍ය ඖෂධයක් වශයෙන් සලකලා අතීතයේ රාජ කුමාරිකාවන් භාවිත කර ඇති බව සටහන් වෙලා තියෙනවා.
ඒ වගේම නෙල්ලි මව හා සමානවම අපට ප්‍රයෝජනවත් වන නිසා ධාත්‍රී කියන නාමයෙනුත් හඳුන්වනවා, යනුවෙන් නෙල්ලි ගැන හොඳ විස්තරයක් ජයන්‍ත මහතා විසින් සහන් වෙත ඉදිරිපත් කළේය.
සර් නෙල්ලි ගැන හොඳ හැඳින්වීමක් නේ කළේ. මට නෙල්ලි ගැන තව විස්තර ටිකක් දැන ගන්න ඕනෙ “ යනුවෙන් සහන් නැවත ජයන්ත මහතාට කීය.
ඔව්. සහන් නෙල්ලි ගැන ගොඩක් විස්තර කියන්න පුළුවන් ඒ තරමටම ප්‍රයෝජන ගෙන දෙන ද්‍රව්‍යයක් යනුවෙන් කියූ ජයන්ත මහතා නැවත නෙල්ලි ගැන තොරතුරු සහන් වෙත කීමට පටන් ගත්තේය.
පුතා නෙල්ලි ශාකය වැවෙන ප්‍රදේශ ගැන සැලකුවාම විදේශිය වශයෙන් ඉන්දියාව, බටහිර ආසියාව (හයිනන් බෝහියෝ, ජාවා) ආදී රටවල විශාල වශයෙන් වගා කරනු ලබනවා.
ඒ වගේම ශ්‍රී ලංකාවෙ මෝසම් වනාන්තරවල හොඳින් වැවෙනවා. නුවර, බණ්ඩරවෙල, බදුල්ල, මහියංගනය, නමුණුකුල, බුත්තල, පුස්සැල්ලාව, හගුරන්කෙත ආදී ප්‍රදේශවල බහුලව දකින්න පුළුවන්, යනුවෙන් ජයන්ත මහතා කීය
එතකොට සර්, නෙල්ලි ගහ මොන වගේ ද? යනුවෙන් සහන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජයන්ත මහතා නෙල්ලි ගහ බොහෝ දෙනා හොඳින් හඳුනන ගහක්. මීටර් 10ක් පමණ උසට මෙය වැවෙනවා. ඒ වගේම මේ ගස් වල පත්‍ර ඉතා කුඩයි.
එක ළඟින් පත්‍ර පිහිටපු අතු පිහාටු ආකාරයෙන් දකින්න පුළුවන්. ඒ වගේම මෙහි හටගනු ලබන මල් අඳුරු පැහැති කොළ පාටයි.
ඒවා පත්‍ර අසල පොකුරු විදියට දකින්න පුළුවන්. එසේම නෙල්ලි ගෙඩි ළාකොළ හෝ කහ පැහැයක් ගනු ලබනවා. මෙම ගෙඩිවල බීජ 6ක් පමණ තියෙනවා. ඒවගේම මෙම ගෙඩි ආකාර 2කින් යුතුයි. එනම් ස්වාභාවිකව වැවෙන වනගත ගස්වල කුඩා ගෙඩිද, වගාකරනු ලබන ගස්වල විශාල ගෙඩිද දක්නට ලැබෙනවා. යනුවෙන් ජයන්ත මහතා විස්තර කළේය.
නෙල්ලිවලට කියන නම් ගොඩක් තියෙනව නේද? සර් ඒ ගැනත් පොඩ්ඩක් කියනවද? යනුවෙන් සහන් නැවත ජයන්ත මහතාගෙන් විමසා සිටියේය.
ඔව්. සහන්, නම් ගොඩක් තියෙනවා යැයි කී ජයන්ත මහතා නෙල්ලිවලට සිංහලෙන් නෙල්ලි සහ ඇඹුලු ඵල යන නම් යෙදෙනවා.
සංස්කෘත භාෂාවෙන් ආමලකී ආමලක පංචරසා ධාත්‍රී අමෘතා වයස්ථා ඇඹුලු ඵල ආදී නම් ගොඩක් තියෙනවා.
හින්දි භාෂාවෙන් අංඛලා ආමලා යන නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් නෙල්ලික්කායි කියන්නෙත් නෙල්ලිවලටමයි.
එතකොට ඉංග්‍රිසි භාෂාවෙන් Emblic myrobalan සහ Indiagoos berry යන නම් යෙදෙනවා.
ඒ වගේම නෙල්ලි වල උද්භිද විද්‍යාත්මක කුලය වන්නේ,
Phyllanthus emblica linn වන අතරම කුලය වන්නේ EUPHORBIACEAE හෙවත් ඒරණ්ඪ කුලයයි. යනුවෙන් ජයන්ත මහතා විස්තර කළේය. එතකොට නෙල්ලිවල කොළ පොතු ගෙඩි ඇට ඇටමද මල් වියළි ගෙඩි ආදි කොටස් සියල්ලම බේත්වලට ගන්නව නේද සර් යනුවෙන් සහන් ඇසූවිට
“ඔව්. ඒ කොටස් ඔක්කොම බේත්වලට ගන්නවා “ යනුවෙන් ජයන්ත මහතා පිළිතුරු දුන්නේය.
ඒ වගේම නෙල්ලිවල ප්‍රභේද 2ක් තියෙනවා
1 ග්‍රාම්‍ය (ගෙඩි ලොකුයි)
2 වන්‍ය (,ගෙඩි කුඩයි) යනුවෙන් කී ජයන්ත මහතා නෙල්ලිවල ලුණු රස හැර අනෙක් රස පහම තිබෙන බවත් එනිසා නෙල්ලි වලට පංචරසා යැයි සංස්කෘත භාෂාවෙන් කියනු ලබන බවත් කීය.
ඒ වගේම එම රසවලිනුත් අම්ල රස ප්‍රධාන බවද නෙල්ලි ගෙඩිවල ගැලික් ඇසිඩ් ටැනින් ඇසිඩ් මැලියම් ශර්කරා ඇල්බ්‍යුමින් සෙලියුලෝස් සහ ඛනිජ පදාර්ථ අන්තර්ගත බවද විටමින් සී අධිකව පවතින බවද ජයන්ත මහතා කීය.
සර් නෙල්ලි ගැන හොඳ විස්තරයක් කියල දුන්න. ඒ වගේම තව විස්තර ටිකක් දැන ගන්න ඕන.
ඔව්. සහන් කියන්න තව මොනවද දැනගන්න ඕන. යැයි ජයන්ත මහතා ඇසීය.
සර්. නෙල්ලිවල ගුණාගුණ ගැනත් විස්තරයක් කරන්නකෝ යනුවෙන් සහන් ඉල්ලීය.
නෙල්ලිවල ගුණ ගැන කියල නිම කරන්න නන් අමාරුයි. සහන් නෙල්ලිවල අම්ල රස ප්‍රධානයි. පංච රස යුක්තයි.
ඒවගේම ශීත වීර්‍යයි. මධුර විපාකයි. තුන්දොස් සමන ගුණයි. විශේෂයෙන්ම පිත සමන ගුණයි. එනිසා සාමාන්‍යයෙන් ත්‍රිදෝෂජ රෝගවලටත් විශේෂයෙන් පිත් රෝගවලටත් යෙදිය හැකියි.
එසේම බාහිර වශයෙන් දැවිලි නසන ඇස් සහ කෙස් වලට හිතකර ද්‍රව්‍යයක් තට්ටය පෑදීම හිසකෙස් ඉදීම ආදියේදි හිස සේදිමට යොදා ගනු ලබනවා.
අභ්‍යන්තර වශයෙන් අරුචිය බඩගිනි අඩුකම මළ බද්ධය අක්මා ආබාධ උදරාබාධ අර්ශස්, ඇස් පෙනීමේ දුබලතා, කැස්ස, ඇදුම, ක්ෂය රෝගය ආදී රෝගවලට ගුණදායකයි. ඒ වගේම මූත්‍රා අමාරු කාන්තා රෝග කුෂ්ඨ රෝග සඳහාත් යොදනු ලබනවා.
ඒ වගේ මී උණ නසන සහ දැවිලි නසන ගුණ සහිතයි. කල්ගතවූ උණ පිපාසය සහ දැවිල්ල සඳහා නෙල්ලි.අතිශයින්ම ගුණදායකයි.
ඒ වගේම නෙල්ලිවල රසායන ගුණ බහුල නිසා ක්ෂය රෝගය සහ ශාරිරික දුබලතා සඳහා අතිශයින්ම ගුණදායකයි යනුවෙන් පැවසූ ජයන්ත මහතා සහන් ඔන්න ඔය වගේ ගුණ රාශියකින් යුතු දෙයක් තමයි නෙල්ලි කියන්නෙ යැයි පැවසීය.
එතකොට සර් නෙල්ලි කොයි ආකාරයටද රෝග සඳහා යොදන්නෙ“ යැයිව සහන් නැවතත් ඇසීය.
සහන් මෙහෙමයි, නෙල්ලි ඖෂධ සඳහා යොදන්නෙ යනුවෙන් පැවසු ජයන්ත මහතා අර්ශස් සඳහා නෙල්ලි රසකිද කල්කය මෝරු සමඟ යොදනවා.
ප්‍රමේහ රෝගවලදී නෙල්ලි මුලේ සුඹුලක් අරගෙන පොල් වතුරෙන් සෝදා කොටා යුෂ අරගෙන කහකුඩු සහ මීපැණි/ මිශ්‍ර කරල දවසට දෙවරක් බීම හොදයි. ඒවගේම හෘද රෝග, රත්පිත සහ රක්ත රෝගවලදී වියලි නෙල්ලි කෂාය දීම. අමු නෙල්ලි යුෂ බීමට දීම ඉතා හොදයි.
ශ්වේත ප්‍රදරයට
නෙල්ලි යුෂ හෝ නෙල්ලි පිටි, මී පැණි සමග හෝ නල්ලි ඇට, මී පැණියෙන් අඹරා සීනී, මී පැණි සමඟ යෙදීමත් හොදයි.
තවද මළ බද්ධයට සහ අලුත් උණ සඳහා නෙල්ලි මුල් සහ ගෙඩි කෂාය දෙනු ලබනවා.
මූත්‍ර ආබාධ සහ පිත්තජ ප්‍රමේහ සඳහා නෙල්ලි යුෂ පානය ඉතා හොඳයි. ඒ වගේම සෙංගමාලයට ලේ අඩුකමට සහ පිත්තජ ගුල්මයට නෙල්ලි ලෙළි පලමක් ගෙන කොටා භාජනයක දමා හතර එකට සිඳු වරකට අවුන්ස එක බැගින් දවසට දෙවරක් පානය කිරීමත් ඉතා හොඳයි.
මෙන්න මේ විදියට තමයි නෙල්ලි අඩංගු ඖෂධ යෝග රෝග සඳහා යොදන්නෙ යනුවෙන් පැවසූ ජයන්ත මහතා සහන් දන්නවද නෙල්ලි යොදල හදපු නිෂ්පාදිත ඖෂධත් රාශියක් තිබෙන බව “යනුවෙන් සහන් ගෙන් විමසීය.
ඔව් සර් මම අහල තියෙනව. එකක් දෙකක් දන්නවා. ඒත් සර් ඒ ටික කියන්න. යනුවෙන් ජයන්ත මහතා ගෙන් ඉල්ලීමක් කළේය.
හොඳයි. සහන් එහෙනම් අහගන්න යැයි කියූ ජයන්ත මහතා නෙල්ලි දාල, හදපු ප්‍රධානම බේත තමයි ච්‍යවන ප්‍රශාව ලේහය. ඊට අමතරව ධාත්‍රී රසායනය ධාත්‍රී ලෞහ බ්‍රාහ්මී රසායනය ධාත්‍රි අරිෂ්ඨය ආමලකී රසායනය ආමලකී ඝෘතය ත්‍රිඵලා චූර්ණය ත්‍රිඵලා වටිය, ධාත්‍රී අවලේහය, ත්‍රිඵලා ක්වාථය, භෘංගාමලක තෛලය ආදී ඖෂධ රාශියක් තියෙනවා යනුවෙන් පහදා දුන්නේය.
ඉතිං සහන් නෙල්ලි ගැන දැන් ඔයාට අවශ්‍ය කරුණු ටික ලැබුණා නේද යනුවෙන් ජයන්ත මහතා ඇසීය. අනේ ඔව් සර්. අවශ්‍ය කරුණු ටික ඔක්කොම ලැබුණා. බලාගෙන ගියාම නෙල්ලි කියන්නෙ දිව්‍ය ඖෂධයක් නේ මාව දැනුවත් කළාට සර්ට ගොඩක් පිං. ගොඩක් ස්තුතියි. සර්ට,” යනුවෙන් කියා සාකච්ජාව නිම කළේය.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන