ඔබේ නිවස ඔබට වාලම්පුුරියක්

ජනවාරි 1, 2021

ඔබ ඉඩමක් ගැනීමට හාපුරා කියා බැලීමට යන්නේ නම් ඉතාම සුබ දිනයක් සුබවේලාවක් සකසා ගන්න. රාහුකාලය මගහැරීම විශේෂයි.

ඉඩම බැලීමට යාමට පෙර ආගමික වතාවත් වල යෙදෙන්න. බෝධි පූජාවක් කරන්නේ නම් ඉතාම යහපත්ය. ඉඩම බැලීමට ගිය මොහොතේ ඉඩම පිහිටි ස්ථානය හොඳින් පරික්ෂා කර බලා උතුර ඊසාන නැගෙණහිර වැනි දිසාවකින් ඉඩමට ඇතුළුවීම ඉතාම සුබ දායකයි. බලන ලද ඉඩම ඔබට මනාව ගැලපේ නම් ඉඩමට නමස්කාර කර ආපසු පිටත්වන්න.

දෙවැනි වර ඉඩම නීත්‍යානුකූලව ඔප්පු ලියන දිනයේ අළුයම් කාලයේ ඉඩමට ගොස් ඉඩමේ හරි මැද හරියේ පස් ටිකක් ගෙන බුලත්කොළයක ඔතාගෙන එන්න. ඔප්පු ලියා ඔබට නීත්‍යානුකූලව හිමිකර ගත් ඉඩම ඔබේ රාජධානිය බැව් මනෝමය භක්තියෙන් යුතුව සිතන්න. ගෙන එන ලද පස්වලට එළකිරි සහ කහ මිශ්‍ර කරගෙන බ්‍රහස්පතින්දා දිනක ගුරු හෝරාවෙන් එම දියර දෙහි අත්තකින් ඉඩම හැම තැනම ඉසින්න. ප්‍රමිතිගතව සැලසුමක් ඇද ඔබේ ජන්ම නැකතට ඉතාම ගැලපෙන සම්පත් ක්ෂේම, මෛත්‍රී පරම මෛත්‍රී යන නැකත් වලින් සුබ නැකතක් යොදා ගෙන වර්ගීකරණය අනුව ඉතාම සුබ දිනයක් ලණු ඇද අත්තිවාරම් කපා මුල්ගල තැන්පත් කර අත්තිවාරම දමා සුබ දිනයක ගවයෙකු සවස් කාලයේ ගාල් කරන්න. ලැග සිටීමට සලස්වන්න. දින තුනක් ගවයා ලැග සිටීමට හැකිවන සේ ක්‍රියා කිරීම ඉතාම යහපත්ය. වෘෂභ චක්‍රයට අනුගතව කිරීමද යහපත්ය.

දින කීපයක් ගතවූ විට සුබ දිනයක් හෝරාවක් යොදා ගෙන බිත්ති බැද වහලය ගසා ප්‍රධාන උළුවස්ස සහිත උළුවහු,ජනේල තබා බිත්ති කපරාරු කර වර්ණාලේප කොට නිවසේ වැඩ අවසන් වී ඉතාම සුබ නැකතකින් ගෙට ගෙවදීම කළ යුතුයි. සුබ වස්තු රැගෙන ගෙවදීම කර ආගමික වතාවත්වලින් පසු කිරි උතුරවා ලිප ගිනි මොලාවා ගැනීම ඉතාම ප්‍රශස්ත වේ.

මේ සියලුම ගෘහ කටයුතු කළ යුත්තේ වාස්තු විද්‍යාත්මකව සුබ නැකත් හරහාය.

නිවස හිමියාගේ දෙමාපියන් සිටී නම් ඒ දෙදෙනාට පළමුවෙන්ම ආහාර පානාදියෙන් සංග්‍රහ කර දෙපා නැමද ආශිර්වාද ලබා ගැනීමට අතිශයින්ම වැදගත්ය. මව සහ පියාගේ හදවතින්ම ගලා එන පරම පවිත්‍ර වූ මෛත්‍රීය නිවසටත් නිවාස හිමියන්ටත් ශාන්තිකර්මයක් ආශිර්වාදයක් වනු ඒකාන්තයි.

මුලදී තම දෙමාපියන් මහ ගෙදරට තනි කොට ගෙවදින දිනයේ පමණක් නිවසට කැඳවාගෙන විත් ආහාරපාන දීම එතරම් වැදගත් නොවේ. ඔවුන් මනසින් දුක් විඳිනවා ඇත. ගොඩ නගාගත් නව නිවසට ගෙට ගෙවැදී භික්ෂූන් වහන්සේලා වැඩමකර සාංගීකමය මහා දානයක් දී පිරිකර පූජා වාස්තු පිරි නැමීම නිවසටත් නිවැසියන්ටත් කිරි උතුරන ක්‍රියාවක් වනු ඇත. තවද පිරිත් දේශනා කරවීම සහ පිරිත් හඬපටයක් දැමීමද ඉතාම සුබදායක වේ.

නිවසේ සතර කොණ ආරක්ෂා කිරීම සඳහා පිරිත් කරන ලද ආරක්ෂක මුට්ටි නිධන් කිරීම පිරිත් පැන් ඉසීම ඉතාම ප්‍රශස්ත වේ. නිවසේ අනාගත පැවත්මට ආධාරක වේ. මියගිය පවුලේ නෑයින්ට පින් අනුමෝදන් කිරීම ඉතාම යහපත් ය.

කුඩා දරුවන් නිවසට කැඳවාගෙන ඒ දරුවන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කොට තෑගි බෝග දිම ඉතාම සුබදායක වේ. කුඩා දරුවකු කතා කරනා සහ හඬන නිවසක සියලු බාහිර දෝෂ භංග වේ. දරුවාගේ අහිංසක අව්‍යාජ මනෝ තරංග ශබ්ද තරංග වලට හැරී නිවස ඇතුළත දෝංකාරය දීම නිසා. නිවස තුළ ලිප උතුරු හා නැගෙණහිර දිසාව බලා කෑම පිසීම සුබයි.

නිදන ඇඳ බාපත උතුරට නොදමා නිදන්න. ඉපැරණි අද්භූත කුරිරු බියකරු රූප මූර්ති නිවස තුළ නොතබන්න.

තමා අදහන ආගමික චිත්‍ර මූර්ති බ්‍රහ්ම පාදය ආශි‍්‍රතව තබන්න. වී කරල් ත්‍රිකෝණයක් බිත්තියේ එල්ලන්න. නිවසේ මැද හරියේ උදේ සවස සෙත් පිරිත් සජ්ජායනා කරන්න. සුවඳ ධූපයකින් දුම් අල්ලන්න. ලක්ෂ්මී ධූපයකින් දුම් අල්ලන්න. ලක්ෂ්මී රූපයක් හෝ මූර්තියක් ඉදිරියේ වාලම්පූරියක් තබා ස්තෝත්‍ර කියන්න. මිදුලේ ඊසාන උතුර නැගෙනහිර දිසාවේ කුරුල්ලන්ට ආහාරපාන තබන්න. සුදුහඳුන් සේපාලිකා කොහොඹ ගසක් මිදුලේ උතුර ඊසාන නැගෙනහිර දිසාවේ වවා තිබීම ඉතාම යහපත්ය. කටු සහිත ගස් පතොක් ශාඛ ප්‍රධාන දොරටුව අභියස සිටුවන්න එපා.

ජල පොකුණු , තටාක, ගිණිකොණ දිසාවේ නිර්මාණය නොකරන්න.

නිවස ඇතුළත ජල පොකුණු, හා මීවන පැලෑටි තිබීම අයහපත්ය. ක්ෂුද්‍ර ජීවින හටගන්නා නිසා නිවසේ බ්‍රහ්ම පාදය අවහිර නොවනසේ තබන්න. බ්‍රහ්ම පාදය උඩින් පඩිපෙළක් තැබීම දෝෂයකි. බිත්ති බැඳීම ජලපොකුණු තැනීම නිතර බරපතල ලෙස තෙරපීම අවහිර වීම ඉතාම අශුභයි.

නිවස ඇතුළත අසභ්‍ය වචන පිට කරන්න එපා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පලිගැනීම සිතෙන් දුරලන්න. නිවස රෝගී ව්‍යාධි නොකරන්න. නීරෝගී නිවසක් ලෙස තබා ගන්න. තමා සිටින නිවස ආලක මන්දාවක් ලෙස සලකන්න. නිවස සෑම නිමේෂයකම දක්ෂිණා වෘත්ත සංඛයක් වාලම්පූරියක් සේ සලකන්න. භක්තිමත් වන්න. ඔබේ නිවස ඔබට දිව්‍ය විමානයකි. එය අපායක් කර ගන්න එපා. වාස්තුමය දෝෂ ඉබේ ඇති නොවේ. ඒවා ඔබම ඇතිකරගන්නා දෙයකි. නිවස තුළ සර්ව සුබ වාදීව සිතා ජීවත්වන්න. එවිට ඔබටත් මුළු පවුලටත් ධනාත්මක සම්පත් ඒකරාශි වේවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.