ප්‍රවීණ හස්තරේඛාවේදිනී රාණි රුක්මණී විතානගේ මෙනෙවියට නිවන් සුව

ජුනි 14, 2019
ප්‍රවීණ ඡ්‍යොතිර්වේදිනී රාණි රුක්මණී විතානගේද සිල්වා මෙනෙවිය (74) පසුගිය 06 දා ජීවන ගමන නිමා කළාය. ඇය ප්‍රවීණ රංගන ශිල්පීනී යසෝධා විමලධර්මයන්ගේ පුංචි අම්මා ද වන්නීය. 
හස්ත රේඛා ඡ්‍යොතිර්වේදියකු වූ හෙන්රි ද සිල්වා පියාගේ අඩිපාරේ යමින් හස්ත රේඛා විද්‍යාව පිළිබඳ බාල වියේ සිට දස්කම් දැක්වූ ඇය පොත පත ඇසුරින් ඡ්‍යොතිෂය ප්‍රගුණ කළාය. මුල් යුගයේ සිටම දෙස් , විදෙස් කලා ශිල්පීන්ගේ අත බලා ඔවුන්ගේ ජීවිතය ගැන යම් යම් අනාවැකි පළකළ අතර පසුකාලීනව ඒවායේ සත්‍යතාවය තහවුරු කිරීමට සමත් වූවාය. මියයනතුරුම ඇය ජීවත් වූයේ, ගල්කිස්ස කලාපුරයේ, යශෝධා විමලධර්මගේ නිවසේ ය.
ගීත රචක හා හින්දි කථිකාචාර්යවරයකු වූ රවිලාල් විමලධර්මයන් ගේ (යශෝධාගේ පියා) අභාවයෙන් පසු විතානගේ පී‍්‍රති මල්ලිකා (යශෝධාගේ මවට) හා යශෝධාට සෙවණැල්ලක් වෙමින් අවිවාහකව කල් ගෙවූ ඇය, ඡ්‍යොතිෂය සමඟින් පුවත්පත් කලාවට නිතරම සම්බන්ධ වූවාය. කලාකරුවන්ගේ ආදරයට ලක්වූවාය. මීට සති කිහිපයකට පෙර හස්ත රේඛා සටහන් ඇසුරින් රවීන්ද්‍රනාත් තාගෝර්, අමරදේවයන්, රුක්මණී දේවියගේ ජීවිතය පිළිබඳ ලිපි කිහිපයක් සදහා කරුණු මා හා සාකච්ඡා කළාය. මගේ ජීවිතය ගැනත් නිවැරදි අනාවැකි පළ කළාය. මීට වසර 15 ට පමණ පෙර ඇය තලකොටුව වත්තේ, යශෝධා සමඟ සිටින කල මගේ අත බලා මට පුතෙකු ලැබෙන බවත් පිටරටකට දුර ගමනක් යන බවත් කීවාය.
පසුකලෙක ඒවා සත්‍ය විය. චිත්‍ර කලාවට ,බතික් කලාවට, මැහුම් ගෙතුම්වලට සුරුකම් දැක්වූ ඇයට තදබල විශේෂ රෝග නොවීය. බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබූ ඇගේ දේහයට කලාකරුවන්, නළුනිළියන් , ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූහ. නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින ගණනක් සිහිසුන්ව සිටි ඇය කළුබෝවිල රෝහලේදී මිය ගියාය. 
 
රුක්මණී ඔබට නිවන් සුව!
 
නිශානි හේරත් 
බන්නැහැක
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.