සතුරු වෙසින් පැමිණි මිතුරා...

දෙසැම්බර් 20, 2019

සිය මන්ත්‍රාචාර්යවරයා වූ මෂ්පිණ්ඩි ගේ හිස හෙල්ලයක ගසාගෙන තියුණු බැල්මෙන් යුතුව තමා

ඉදිරියේ ප්‍රතාපවත් ලෙස සිටගෙන සිටි ජයමාලී දේවිය දෙස බලමින් සිම්ජා දත්මිටි කෑවේය. ඔහුගේ අණ පරිදි ඉදිරියට දුවන්නට වූ අශ්වාරෝහක සෙබළුන් වේගයෙන් තමා කරා එන දෙස ජයමාලී දේවිය, මුවෙහි නැගුණු සෝපහාසී සිනාවකින් යුතුව බලා සිටියාය.

එම අශ්වාරෝහකයින්ට ජයමාලී දේවිය කරා පියවර සියයකට හෝ ළං වන්නට ඉඩක් ලැබුණේ

නැත. හඬ නගාගෙන වාතය සිදුරු කරගෙන පැමිණි තියුණු හී තලයකින් ඉදිරියෙන්ම ගමන් ගත්

අශ්වාරෝහක සෙබළා ගේ හදවත සිදුරු වී ගියෙන් ඔහු අසු පිටින් වැටී බිම පෙරළී ගියේය. ඔහු සමගම පිටුපසින් අසුන් පිට නැගී පැමිණි දෙවැනි තුන්වැනි අශ්වාරෝහකයන්ටත් එම ඉරණමම අත් වෙද්දී, අනෙක් අශ්වාරෝහකයෝ මදක් පසු බැස්සාහ. මෙහිදී සිම්ජා, සිය කඩතොළු සහිත අසිපත සුරතට ගෙන තරමක් හැල්මේ ඉදිරියට අසු පැන්නුවේය.

ඒ සමගම ජයමාලී දේවියගේ දෙපසින් අසුන් පිට නැගී පැමිණියේ මහා හර්ෂදේවයන් සහ

ජීවාලෝක කුමරුන්ය. ඔවුන් අත තිබූ දිගු ගෝරා දුනු දෙස බැලූ සතුරු අශ්වාරෝහකයෝ මදක් පසු බැස්සාහ. ඒ සමගම ජයමාලී දේවියට පිටුපසින් කවාකාර වළල්ලක් ලෙස හාත්පසින් මතු වූයේ හෙළයේ මහා ගෝරාවරුන් පිරිවරාගත් ප්‍රබල ගෝරා බළ ඇණියයි. මුළු සිරුරම ආවරණය වූ කාළවර්ණ හෙළ ඇඳුමින් සැරසී, පූර්ණ සන්නාහ සන්නද්ධව සිටි ඒ ප්‍රබල හෙළ රණශූරයන් ගේ දසුනින් මදක් වික්ෂිප්ත වූ සිම්ජා සිය අසුගේ ගමන බාල කළත්, අසු නතර කළේ නැත.

මෙහිදී ජයමාලී දේවිය සිය හෙල්ලයෙහි අමුණා තිබූ මෂ්පිණ්ඩි ගේ හිස ගලවා අතට ගෙන,

උපහාසාත්මක සිනාවකින් යුතුව එම හිසෙහි කෙස් වැටියෙන් අල්ලා, සිම්ජා දෙසට වේගයෙන් වීසි කළාය. අහසේ කරකැවෙමින් පා පන්දුවක් මෙන් උඩින් විසිවූ එම හිස බිම වැටී පෙරළී ගොස් සිම්ජාගේ අශ්වයාගේ පාමුල නතර වූයේය. ඒ දෙස ක්‍රෝධයෙන් සහ ද්වේෂයෙන් පිරී ගිය බැල්මෙන් යුතුව බැලූ සිම්ජා, බටහිර දේශවාසී බසින් කෑ ගසමින් දැවැන්ත ලුන්ඩා යෝධයින් ඉදිරියට කැඳවූයේය. මෙහිදී අශ්වාරෝහකයින් අතරින් පතර මතු වූයේ කඩතොළු සහිත දැවැන්ත අසිපත් සහ විශාල මුගුරු අතින් ගත් ලුන්ඩා යෝධයින් සමූහයකි. තොල කට ලෙවකමින් ඔවුන් වේගයෙන් ඉදිරියට දුවන්නට වූයේ හමුවන සියලුම හෙළ ගෝත්‍රිකයින් මරා දමන අදහසිනි. එහෙත් එය ඒ තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.

ලුන්ඩා ගෝත්‍රිකයින් එසේ ඉදිරියට පැමිණෙත්ම, මහා හර්ෂදේවයෝ සිය අතේ ඇඟිලි මුව තුළ රුවා නැගූ තියුණූ සියුරුහන් හඬකින් අශ්වාරෝහක ගෝරා බළ ඇණිය එකවරම මහා රණ ඝෝෂාවක් නගා වේගයෙන් ඉදිරියට අසුන් පන්නන්නට වූහ. ඒ සමගම මහා ජීවාලෝක කුමරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ගෝරා රණශූරයින් පිරිසක් ජයමාලී දේවියට ආවරණයක් ලෙසින් සිය අසුන් ඇයගේ ඉදිරියෙන් විහිදවූ අතර, ඉදිරියට ගමන් ගත් අශ්වාරෝහක ගෝරාවරුන් සහ අශ්වාරෝහක සතුරු සෙබළුන් එකිනෙකා ගැටීමෙන් මහා සංග්‍රාමය ආරම්භ වූයේය.

හෙළ මහා රණ ශූර ගෝරාවරුන් සටන් ශිල්පයේ සහ ආයුධ හරඹයේ අති දක්‍ෂයින් වූ නමුත්, ඔවුන් ගේ සංඛ්‍යාව වූයේ දහ අට දහසක ප්‍රමාණයකි. එහෙත් දේශයන් සතරක මහා සේනාව ලක්‍ෂයකටත් වඩා වැඩි වූ බැවින් සංඛ්‍යාත්මකව ඔවුන් ජය ගන්නා බවක් මෙහිදී පෙනී ගියේය. ඒ සමගම හර්ෂදේවයන් වෙතින් නැගුණු තවත් අමුතුම ආකාරයේ සියුරුහන් හඬක් නිසා සතුරු සේනාවේ අවධානය ද ඒ වෙත යොමු වූයේය. මෙහිදී රිදීමැඩිල්ල වෙල් යාය හාත්පසින් පැවති බඩවැඩිය අතරින් මතු වී වේගයෙන් ඉදිරියට දුවන්නට වූයේ හෙළ යක්ෂ ගෝත්‍රික පාබළ බළ ඇණියයි. සාමාන්‍ය රණකාමී යුද සෙබළුන්ගෙන් සමන්විත ඔවුන් සිය කඩු, පළිස් සහ හෙල්ල, තෝමර, යවුල් වැනි ආයුධ ගෙන ප්‍රදේශය දෙවනත් වන ලෙස රණ ඝෝෂාව නගමින් සතුරු සේනාව දෙසට කඩා පැන්නෝය.

මෙහිදී ඔවුන් එකිනෙකා හා ගැටෙමින් පහර දෙමින්, කෑ ගසමින්, එහා මෙහා පනිමින් සාමූහික හා

ද්වන්ද්ව යුද්ධ වල යෙදෙන්නට වූ නිසා ප්‍රදේශයම එකම කෝලාහලයකින් වෙළී ගියේය. මහා ගංගාවක් ඉදිරියට ගලන්නාක් මෙන් වෙල් යායේ හාත්පසින් ඉදිරියට පැමිණෙන සතුරු සේනාව සමග ගැටෙන හෙළ සෙබළුන් ගේ ඝෝෂාවෙන් වෙල් යායේ ගස් වල වසා සිටි පක්‍ෂීන් වළාකුළක් සේ අහසට නැගුණහ. තමන්ගේ හාම්පුතුන්ගේ බල ලෝභයත්, කෑදර කමත් සන්සිඳුවා ලන්නට එක් පිරිසක් සටන් වැදුණු අතර, උත්තරීතර හෙළ දේශයත්, හෙළ ජාතියත් හෙළයේ අභිමානයත් ආරක්‍ෂා කර ගන්නට අනෙක් පිරිස දිවි හිමියෙන් යුද්ධ කළහ.

මෙහිදී හර්ෂදේවයන් සහ ගෝරාවරුන් සමග සටන් කරමින් ඉදිරියට ආ ගෝරාවරුන් අතර සිටි එක් රණ ශූරයෙක් සතුරු පිරිස සිසාරා කෙමෙන් කෙමෙන් පිරිස මධ්‍යයෙන් ඉදිරියට සිය අසු මෙහෙයවූයේය. ඔහුට යුද්ධයෙන් කමක් නැතිවාක් සේය. මාරාවේෂ වූවන් ලෙස එකිනෙකා හා සටන් කරමින් සිටි පිරිස අතරින් ඒ පුද්ගලයා ගමන් කළේ යම් කිසිවෙකු සොයන්නාක් මෙනි. තමා වෙත එල්ල වන කඩු පහරවල් මග හරිමින්, හෙළ ඇඳුමින් සැරසුණු මේ තැනැත්තා අසීරුවෙන් ඉදිරියටම අසු පැන්නුවේය.

මනා පරීක්‍ෂාවෙන් ගමන් ගත් මේ තැනැත්තා මද වේලාවකට පසු අවශ්‍ය පුද්ගලයා දුටුවාක් මෙන්

වේගයෙන් ඉදිරියට අසු පන්නන්නට වූයේය. මෙහිදී ඔහු ඉදිරියේ වූයේ ජාගෙන් ගේ බළ සේනාවයි. සිම්ජාගේ සහ හරේරාගේ සේනාංක වලට පසුව ඉදිරියට පැමිණෙමින් සිටි මේ සේනාව දුටු මෙම අරුම පුදුම අසරුවා වේගයෙන් අසු පන්නා ඉදිරියට ගොස්, ජාගෙන් ගේ සේනාවේ ඉදිරියෙන්ම පැමිණි ජාගෙන්ගේ ප්‍රධාන සෙනෙවියන් ඉදිරියෙන් අසු හරවා, එසැණින් අසු පිටින් බැස්සේය. මෙහිදී නන්නාඳුනන මේ සතුරු සෙබළා හට පහර දෙන්නට ජාගෙන් ගේ සෙනෙවියන් සිය තියුණූ අසිපත් ඇද ගත්තාක් පමණි.

“ක්‍රායිඩන්... ද්‍රෝමූල්... පහර දෙන්න එපා... මේ මම... ෂෝඩූන්...”

හෙළ රණශූරයින් අඳීනා ඇඳුමක් ඇඳ සිටි මේ පුද්ගලයා බටහිර ඩැන්මාරූ දේශයේ බසින් නැගූ

හඬින් ජාගෙන් ගේ සෙනෙවියන් සියලුම දෙනා තුෂ්ණිම්භූත වූහ. මෙහිදී ඉදිරියෙන්ම සිටි ජාගෙන් ගේ ප්‍රධාන සෙනෙවියා රාවයක් නැගීය.

“ෂෝඩූන්... ඒක වෙන්නෙ කොහොමද? ෂෝඩූන් අපගේ ජාගෙන් කුමරු සමග බව සිම්ජා අපට පැවසුවා. වහාම කියනු. නුඹ කවරෙක්ද? මරා දමන්නට පෙර කියනු...”

මෙහිදී අර අද්භූත පුද්ගලයා ජාගෙන් ගේ සෙනෙවියන් ඉදිරියේ සිය මුහුණු වැස්ම ඉවත් කර

ගත්තෙන් ජාගෙන් ගේ සෙනෙවියන් සියලුම දෙනා භ්‍රාන්ත වී ගියහ. එහි වූයේ ඔවුන් කවුරුත් දන්නා ජාගෙන් ගේ විශ්වාසී සේවකයා වූ ෂෝඩූන් ය. ඔවුන් එකිනෙකා ගේ මුහුණු බලා ගත්හ. ඉදිරියෙන්ම සිටි සෙනෙවියා සිය අසිපත වහාම කොපුවේ රුවාගෙන ඉදිරියට පැන, ෂෝඩූන් ගේ දෙවුරහිසින් අල්ලා සෙලවූයේය. මෙහිදී අනෙක් පරිවාර සෙබළුන් ද, ෂෝඩූන් වටා රොක් වූහ.

“ෂෝඩූන් නුඹ....? කොහිද අපගේ ජාගෙන් කුමරු? එතුමන්ට විපතක්ද? කුමක්ද මේ සිද්ධ වන්නේ? වහා කියනු...”

මෙහිදී අමුතුම ආකාරයේ මද හසකින් මුව සරසා ගත් ෂෝඩූන්, තමා ඇඳ සිටි හෙළ සන්නාහය

තුළින් ගත් සම්කඩක ලියන ලද ලිපියක් එළියට ඇද, අර සෙනෙවියා අත තැබීය. මහා කලබලයකින් එය ළිහා අතට ගත් අර සෙනෙවියා ලාකඩ පැහැති අකුරින්, බටහිර ඩැන්මාරූ දේශයේ බසින් එහි ලියා තිබූ කෙටි හසුන කියවූයේය. ජාගෙන් ගේ අත් අකුරින් සහ අත්සනින් යුතු එම හසුන කියවා බැලූ ඔහු සම්කඩ අනෙක් සෙනෙවියෙක් අතට දී දෑත් අහසට එසවූයේය.

“උත්තරීතර වූ ෂාල්ඩර් දෙවි පියාණන්ට ස්තුති වේවා... නුඹ නම් වීරයෙක් ෂෝඩූන්...”

ඉන්පසුව ඔහු ඉදිරියට පැන තරයේ ෂෝඩූන් වැළඳ ගත්තේ ප්‍රීතියෙන් කෑ ගසමිනි. මෙහිදී ලිපියේ

තිබූ ආරංචිය ඉක්මණින්ම ජාගෙන් ගේ සෙබළුන් හට දන්වන ලද්දේය. ජාගෙන් විසින් සිය අත්සන සහිතව, සිය විශ්වාසී සේවක ෂෝඩූන් අත එවා තිබූ ලිපියෙන් නියෝග කර තිබූ ලෙසට හෙළ ගෝත්‍රිකයින් සමග යුද්ධ කරන්නාක් මෙන් රඟපාන ලෙසත්, හෙළ ගෝත්‍රිකයන් කිසිවෙකුට හානි නොකරන ලෙසත් දන්වා තිබූ නියෝගය අකුරටම ඉටු කරන්නට ඔවුන් අධිෂ්ඨාන කර ගත්හ.

ජාගෙන් ගේ සෙනෙවියන් නැගූ දහසක් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට නතර නොවූ ෂෝඩූන් මෙහිදී වහාම සෙනග මැදට වැදී ජාගෙන් ගේ බළ සේනාවේ ඇඳුමකින් සැරසුණේය. මන්ද හෙළ ගෝරාවරුන්ගේ ඇඳුම සමග සතුරු සේනාව මැදින් ආපසු යාම යනු ජීවිතය පරදුවට තැබීමක් වන බැවිනි. ජාගෙන් ගේ සහ ගෝරාවරුන් ගේ සැලසුම අකුරටම ක්‍රියාත්මක කරමින් සිය වෙස් පෙරළා ගත් ෂෝඩූන් යළිත් සිය සේනාව හා එක්වී ඉදිරියට ගමන් ගත්තේ බටහිර දේශවාසී රණශූරයින්ගේ ඇඳුමින් සැරසෙමිනි. සිය සගයින් සමග ෂොඩූන් යළි රණ බිමට පා තැබුවේ සිය වගකීම අකුරටම ඉටු කළ තැනැත්තෙකු ගේ සතුටින් පිරුණු හදවතිනි.

මතු සම්බන්ධයි.

කතාව

හෙළසිරි ඉඳුනිල්

මොරමුදලිආරච්චි

 

සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.