මාරක අපල දුරලන සිද්ධි නාගර්ජුන යන්ත්‍රය

මාර්තු 31, 2023

වානරයාගෙන් ආරම්භ වූ මනුෂ්‍යයා දියුණු වන විට ඇදහැලි ද ටික ටික පුරුදු වුණා. “දෙවියා”, දෙවියෝ” දේවත්වය ද ලුහු බඳින්න වුණ එක විතරක් නොවේ දේව සංකල්පයද ඇති වුණා. අපට යමක් ලබා දෙන අදෘශ්‍යමාන කෙනා දෙවියා බව තමයි හිතේ තිබුණේ. අදත් කවුරුහරි යමක් දෙන කොට ඔහු නම් දෙවියෙක්ම තමයි කියල කියනවා. මනුෂ්‍යයාට බය ඇතිවන කොටත් දෙවියා සිහි වෙනවා.

කොටින්ම කිව්වොත් අදෘශ්‍යමාන දෙවියාට මුල් තැනක් හිමි වනවා. මනුෂ්‍යයාට අත්‍යවශ්‍යම ගින්දරින් කිසියම් හෝ පීඩාවක් සිදුවන හැම විටම ගිනි දෙවියාට පුද පූජා පවත්වනවා. ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල අදටත් මෙම පූජා කරනවා. මනුෂ්‍යයා කොපමණ දියුණු වුවත් මානසිකව එල්බගෙන ඇති ඇදහීම් ලෙහෙසියෙන් ඉවත් වන්නෙ නැහැ. ඒ මනසට තදින් ඇතුළු වූ විශ්වාසය නිසා. එවකට රජ කළ රජතුමා විහාර මහා දේවිය මුහුදේ පා කර හැරියේද මෙම මිථ්‍යා අදහස් නිසා බව පැහැදිලියි. ඉඩෝරය, සුනාමිය, ගිනිකඳු යන මේවා ස්වාභාවික කාලගුණික විපර්යාස වුවද පැරණි මිනිසා මේ සිද්ධීන්ද දේව කෝප වශයෙන් සැලකූ බව පැහැදිලිය. මෙතරම් දියුණු යුගයක පසුගිය කොරෝනා වසංගතයේදී පිරිත් කළ වතුර කළ ගංගාවලට දැමුවෙත් එයත් දේව කෝප වශයෙන් සමහරු තීරණය කළ නිසා විය හැක. සියලු ඇතිවීම්, නැතිවීම් නුවණින් මෙනෙහි කර සත්‍ය අවබෝධ කර සියලු සත්ත්වයාට දේශනා කළ බුදුන් වැඳීමට පෙරාතුව කතරගම දේවාලයට ගොස් කතරගම දෙවිඳුන් වන්දනා කිරීමට තරම් සමහරු පෙලඹී ඇත්තේද මේ මිථ්‍යා භක්තිකත්වය නිසාමය. බොහෝ දුරට සත්‍ය හෙළි කර ගැනීමෙන් අන්ධ දේව භක්තිකත්වය තුනී වුවද එය වත්මන් සමාජය තුළ තවමත් පවතිනවා. හැබැයි එකක්නම් කියන්නම ඕනෑ. මේ පුද පූජා අන්ධ භක්තික කියල බොහෝ දෙනා සැලකුවත් කිසියම් හෝ සත්‍යතාවයක් නැත්තෙම නොවේ. මානසිකව හෝ දෙවියන් ඇදහීමෙන් මානසික තෘප්තිය ලැබූ අය කොච්චරවත් ඉන්නවා.

විශ්ව ශාන්තිය

සමාජය ක්‍රමයෙන් දියුණු වීමේදී හා යම් යම් නව දේවල් සොයා ගැනීමේදී මේ විශ්වය තුළ කිසියම් ශක්තියක් ඇති බවත්, එය විශ්ව ශක්තිය බවත් එහි තුළ ග්‍රහයින් නැත්නම් ග්‍රහලෝක 9කින් අධි කිරණ ශක්තීන් 9ක් පෘථිවිය දෙසට විහිදෙන බව සොයා ගත්තා. එනිසාම ඒ ග්‍රහ කිරණ මේ විශ්වය තුළ ජීවත්වන ගහ කොළ, තුරු, ලතා, සතා, සිව්පාවා, මනුෂ්‍යයාට බලපාන බවත් සොයා ගත්තා. මේ සම්බන්ධව කරුණුූ විස්තර කිරීම ඡ්‍යෝතිෂ විද්‍යාවෙන් කෙරෙන බවත්, ඒ ග්‍රහ අපල දුරු කිරීමට කිසියම් පිළියම් ඇතිකිරීමේ විෂය වශයෙන් යන්ත්‍ර විද්‍යාව ඇතිවූ බවත් ඒ සම්බන්ධව පූර්ණ විස්තර යන්ත්‍ර ශතකය හා යන්ත්‍ර විද්‍යාව යන පොත්වල සඳහන් වනවා.

යන්ත්‍ර පැළඳීම

යන්ත්‍ර පැලඳීම විද්‍යාත්මක බව ඔප්පු කර තිබෙනවා. එනම් නිවෙස්වල පාවිච්චි කරන ලද ආලෝක ධාරාවන්ට ස්වාභාවිකව ඇතිවන විදුලි කෙටීමේදී නිතර විදුලි ආපදා ඇතිවීම ස්වාභාවික කරුණකි. ඉන් නිවැසියන්ට හා පරිහරණ භාණ්ඩවලට හානි පැමිණවීමේ තත්ත්වය වැළැක්වීම සඳහා විදුලි රැහැන් පද්ධතියට “ෆියුස්” නැතහොත් විදුලි ආරක්ෂක උපකරණ සවි කරනු ලැබේ. ඉන් සිදු වේ යැයි සිතන කරදර බොහෝ දුරට වළක්වා ගත හැකිය.

මේ අයුරින්ම අප වටා ඇති සෞරග්‍රහ මණ්ඩලයේ වේගයෙන් භ්‍රමණය වන ග්‍රහලෝකවලින් පිටවන ග්‍රහ කිරණවලින් ඇතිවන කරදර වළක්වා ගත හැකි වන්නේ යන්ත්‍ර පැලැඳීමෙන් පමණකි. එනිසාම යන්ත්‍ර පැලැඳීම මිනිසා දියුණු වූ දින පටන් අද දක්වාම පවතින ශාස්ත්‍රයකි. ඒ අනුවම සඳහා ආවේණික වූ යන්ත්‍ර සමූහයක් යන්ත්‍ර විද්‍යාවේ හා යන්ත්‍ර ශතකය යන පොත්වල සඳහන් වේ.

සිද්ධි නාගර්ජුනය

“සිද්ධි නාගර්ජුනය” යන්ත්‍රයද එවැනිම කරදරවලින් මිදීමේ ග්‍රහ අපල යන්ත්‍රයකි. යන්ත්‍රයකින් කරන්නෙ මනුෂ්‍ය ශරීරය වෙත ගලා එන හතුරු ග්‍රහ කිරණ යන්ත්‍ර තහඩුව මඟින් අවශෝෂණය කර හෝ වෙනත් දිසාවකට යොමු කර තමාට ආරක්ෂාව සපයා දීමය. වෙනත් ග්‍රහ අපල උපද්‍රව සඳහා එක එක යන්ත්‍ර නැත්තේම නොවේ.

නමුත් ඉතා බලගතු ග්‍රහ දෝෂ හරණ යන්ත්‍ර කාණ්ඩයට ගැනෙන එකම බලගතු යන්ත්‍ර “සිද්ධි නාගර්ජුන” යන්ත්‍රයයි. මෙම යන්ත්‍රය විශේෂයෙන්ම සකසා ඇත්තේ ඉණෙන් ඉහළ කොටස නයි පෙනයක් සේ පෙනෙන ඉණෙන් පහළ කොටස මිනිස් රූපයක් සේ පෙනෙන අශ්වයෙකුගේ පිට උඩ ගමන් කිරීමේ ස්වරූපයෙන් දක්වන ලද “රාහු” නම් ග්‍රහ අපලවලටමයි. රාහුගෙන් පැමිණෙන බලවත් ග්‍රහ අපලවලට එකම පිළියම සිද්ධි නාගර්ජුනය බව සියලුම පොත්පත්වල සඳහන් වේ. මෙම යන්ත්‍රයම ඒකාග්‍රහ රෝග නිවාරණ යන්ත්‍රය නමින්ද හැඳින්වේ.

රාහු

විශේෂයෙන්ම “රාහු” අසුරේන්ද්‍ර ග්‍රහයා ගැන ඔබ අප දන්නා කරුණු නිවැරදි නොවන බව පෙනී යයි. ඒ මන්ද යත් රාහු ගැන නොයෙක් නොයෙක් පොත්වල නොයෙක් නොයෙක් ආකාරයට විස්තර කර ඇති හෙයිනි. රාහු ගැන තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී රාහු, සෙනසුරු මෙන්ම පාපී ග්‍රහයෝ වශයෙන් අවබෝධ කරගෙන සිටීමයි. රාහු පාපියෙක්ම පමණක් නොවේ. ඕනෑම කේන්දරයක රාහු නම් ග්‍රහයා සුබවාදීව කිසියම්ම රාශියක පතිත වී ඇත්තේ නම් ඔහු හෝ ඇය, දිවයිනෙන් පිට හෝ උපන් ස්ථානයෙන් බැහැරව දියුණුව ජීවත් වීමේ හැකියාව ඇති බවය. තවද රාහු පතිත වී ඇති ස්ථානයට අනුව කුමක් සඳහා පිටවේද යන්න කියැවේ. එසේම කසියම් රාශියක හතුරුව, නීචව රාශිගත වේ නම් හෝ විශේෂයෙන් 6 -8 වැන්නේ හතුරුව පතිත වුණේද පහත සඳහන් ශ්ලෝකයට අනුව විපාක දෙන බව ද අනිවාර්ය වේ.

එනම්

“පඥ්ඥා විහීන මති වික්‍රම අර්ථහානි – විසුද්ධ ගාත

වදබංධන රෝග පීඩා – භංද්‍ර පුවාස ධනහානිම

මහප්‍රනාසම් – රාහු දසා භජති – ජීවිත කෛල්ප සහස්‍රම් සමස්ස්‍රම්

මේ ආකාරයට රාහු නපුරු වුවහොත් මරණය පවා ගෙන දෙන බවට තමයි ශ්ලෝකයේ තිබෙන්නේ. මෙවැනි තත්ත්වයක රාහු සිටියදී කිසියම් හෝ අයුරකින් අඟහරු සමඟ සම්බන්ධයක් තිබුණේ නම් ඒ විනාසය ඉක්මන් කිරීමක්ද ලේ හලන අනතුරක් සම්බන්ධව යන්නද දැක්වේ.

යන්ත්‍රය සැකසීම

මෙම යන්ත්‍රය සැකැසීමේදී වෙනස්කම් රාශියකි. මන්ත්‍ර දිෂ්ටිය සඳහා පැය 10ක් වත් විඩංගු විය යුතු අතර, මන්ත්‍ර ජපය සඳහා එනම්, වාර 1800ක් සඳහා යාම 3ක් හෝ ඊට වඩා ගත යුතු වන්නේය.

මන්ත්‍රයේ සඳහන් පරිදි සියලුම දැහැන් ගැබ් සොළසක එනම්, ගැබ් 16ක ඇතුළත් කර සුපුරුදු පරිදි කිලිහරණය ප්‍රාණ, පලිප්පු කර ස්ඵුට කළ යුතුය. මෙම යන්ත්‍රය පිරිමි කෙනකුට නම් මැතිරීමේදී “පාර්වති පුත්‍රයාය” යනුවෙන් වෙනස් කර ජප මැතිරීම කළ යුතුය.

රාහුගෙන් එන සියලුම ග්‍රහ අපල – මර ග්‍රහ අපල මාරක අපල මෙම යන්ත්‍රයෙන් දූරිම්භූත වේ. විශේෂ බලැති සිද්ධි නාගර්ජුනය.” රාහුට අධිපති වූ විෂ්ණු දෙවියා බවත් විෂ්ණු යනු මහේස්වර දෙවිඳු ගණයට අයත් වන බවත් දත යුතු වන්නේය. මෙම විෂ්ණු දෙවිඳු උත්පල වර්ණ, නීල වර්ණ, මෙම බුද්ධ ශාසනය භාරව ඉන්නා බවත් පොත පතේ සඳහන් වේ.

සාමාන්‍යයෙන් එක් එක් යන්ත්‍රවලට ආවේණික වූ සම්බන්ධතාවයක් පෙන්නුම් කර ඇත. විශේෂයෙන් අභිසම්භිධානය යන්ත්‍රයේ අමාරුම කොටස වන්නේ එහි ඇතුළත් ගැබ් 7කට මන්ත්‍ර 9ක් පිරවීමයි. නැතහොත් ඇතුළත් කිරීමයි. එය ඉතා නිවැරදිව සූක්ෂ්මව කළ යුතු වන්නේ ය. එමෙන්ම සිද්ධි නාගර්ජුන යන්ත්‍රයද එවැනිම විශේෂිත යන්ත්‍රයකි. එහි ඇති විශේෂත්වය නම් යන්ත්‍රය තුළට ආවේණික මන්ත්‍රය පුරවා අවසානයේදී දැහැන දෙකත් ඒ ගැබ් 16ට ඇතුළත් කිරීමයි. ඉරි නොකැපෙන්න එකකට එකක් ස්පර්ශ නොවන්න කිරීම හරිම ආමරු කාර්යයකි. එසේ කිරීමෙන් යන්ත්‍රයේ බල පිහිටීම ඇතිවන බව දැනගන්න ඕනි. මේ යන්ත්‍රයත් වාර 1800ට වඩා මතුරන්න ඕන. විශේෂයෙන් මෙවැනි යන්ත්‍ර පුර තිථිය ඇවිල්ල දින 2කට පසුව ආරම්භ කරල සතියකින් පුරල සතියකින් අවසාන කරල අවශ්‍ය කෙනාට පලඳවන්නත් ඕනෑ. සුරයත් රන් ආලේප කළොත් හොඳයි. අත්‍යවශ්‍යම නැහැ. ඒ වුණාට යන්ත්‍ර තහඩුව නම් රන් ආලේප කරන්නම ඕනෑ. . මේ යන්ත්‍රයේ තිබෙන පුංචි පුංචි වෙනස්කම් නිවැරැදි වන්ටම ඕනෑ. පිරිමි කෙනෙකුට හා ගැහැනු කෙනාට තිබෙන මන්ත්‍ර ටිකක් වෙනස්.

යන්ත්‍රය පැලැඳීම

යන්ත්‍ර හරි සූක්ෂ්මයි. ටිකක් හරි අඩුපාඩු වුණොත් බල පිහිටන්නෙ නැහැ. එතකොට වියදම මහන්සිය අපරාදේ. යන්ත්‍රය පලඳවා ගත්තා කිව්වට ඒක පරිස්සම් කිරීමත් ඒ වගේම අමාරුයි. මල්වර කිල්ල, මරණ කිල්ල, වැදූ කිල්ල මේ යන්ත්‍රයට හරි නපුරුයි. බැරි වෙලාවත් ලොකු කිල්ලකට අසුවුණොත් ආතුරයත් අසනීප වේවි. ඉතින් මේ යන්ත්‍රය කිල්ලට අහු වුණාද කියල දැනගන්න පුංචි ඉඟියක් දෙන්නම්. ඔබ ඔය යන්ත්‍රය පලඳාගෙන ඉන්න කොට නිකම්ම උණ ගත්තොත් බෙහෙත් ගත්තට උණ නොබැස්සොත් ඔන්න පූර්ව ලක්ෂණය. දැන් යන්ත්‍රය ගලවන්න. ඔබ ස්නානය කරල අවසානයේදී නැවත යන්ත්‍රය පලඳාගන්න. හැබැයි එපා කිව් තැන්වලට ගිහිල්ල මොනව හරි කෑවොත් ඒවා ශරීරයෙන් ඉවත් වෙනකන් ඉන්න වේවි. එහෙම නැතිව යන්ත්‍රය දා ගත්තොත් නැවත උණ ගනීවි. ඉතා ප්‍රවේසමෙන් හොඳේ.

 

පාරම්පරික ගුප්තවේදී /ඡ්‍යෝතිෂවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.