රෙක්ස් කොඩිප්පිලි සටන් නළුවකු කළ අත්ල සහ කේන්දරය

පෙබරවාරි 16, 2024

 

කතුරු මුවාත් චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එක් වූ රෙක්ස් කොඩිප්පිලි මහතා චිත්‍රපට දෙසිය පනහකටත් වඩා වැඩි සංඛ්‍යාවකට සහ ටෙලිනාට්‍ය 70කට පමණ රංගනයෙන් දායක වූ බව මා සමඟ කියා තිබේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන අර්නස්ට් වඩුගේ මහතාගේ ඉල්ලීම පිට රෙක්ස් මහතාගේ අත සහ කේන්දරේ බැලීමට මට අවස්ථාව ලැබුණේ 2006 වසරේ අගෝස්තු මාසයේදීය.

ඒ සම්පත හා කලාරස පත්‍රයෙහි විශේෂාංග ලේඛකයකු හැටියට මා ලියන කාලය තුළදීය. මේ සුවිශේෂී රංගවේදියා විසින් රඟපා ඇති රත්නා, මුවන්පැලැස්ස, චන්දිරා, මරුවා සමඟ වාසේ වැනි චිත්‍රපටි තුළින් ඔහුගේ හැකියාවන් පිළිබඳව රසිකයින්ට දැන ගන්නට ලැබුණි. මේ අතර බයිසිකලේ හා අහස්මාලිගා යන චිත්‍රපට නිෂ්පාදනය කරමින්ද ඔහු සිංහල සිනමාවට කළ සේවය අපමණය. සිනමාවේදී ඔහු වඩාත් රඟපෑවේ වීර හා දුෂ්ට චරිතයන්ය.

අපි මුලින්ම බලමු ඔහුගේ ජීවිතයට හස්තරේඛා ශාස්ත්‍රයේ ගැබ් වී ඇති සිද්ධාන්තවලට අනුව ඔහුගේ දකුණූු අත්ලේ සටහන්වලට අනුව රෙක්ස් මහතාට බලපා ඇති අයුරු පිළිබඳව. එතුමාගේ දෙඅත්ලේම හස්ත රේඛා සලකුණු එක හා සමානය. රූප සටහන බලන්න. මේ අත්ලේ ප්‍රධාන රේඛාවන් ඉතා ගැඹුරින් පිහිටා ඇත. ඡ්‍යොතිෂයේ දී මෙන්ම හස්තරේඛා ශාස්ත්‍රයේද වීර හා දුෂ්ඨ චරිතවලට බලපාන්නේ කුජය. රූප සටහන බලන්න. මෙහි සඳහන් වන ආකාරයට ඒ - ඒ සලකුණු මඟින් පෙන්නා ඇත්තේ ආයුෂ හෙවත් ජීවන රේඛාවයි. මීට සමගාමීව ජ් - ජ් සලකුණු මඟින් පෙන්වා ඇත්තේ කුජ හෙවත් අඟහරු රේඛාවයි. මේ නිසා මියයන තෙක්ම ඔහුට නීරෝගිව සිටීමටත් දීර්ඝායුෂ ලැබීමටත් හේතු විය. එය හදිසි අනතුරු, මාරක විපත් ආදියෙන් අත්ල හිමියා ආරක්ෂා කරන බව උගන්වයි. ඊට අමතරව ඡ් - ඡ් සලකුණු මඟින් පෙන්වා ඇත්තේ පළමු කුජ මණ්ඩලයේ පිහිටා ඇති බලවත් ත්‍රිකෝණයක් බලවත් චතුරශ්‍ර සලකුණු දෙකත් වැටී ඇති අතර කුජ තලාව තුළ බලවත් ත්‍රිකෝණයක් වැටී ඇත. ඒ සමඟම ඡ් සලකුණින් පෙන්නා ඇති පරිදි දෙවැනි කුජ මණ්ඩලය ද මනාව සලකුණු වී තිබීමෙන් ඔහු සිනමාවේදී වීර හා දුෂ්ටයා වීමට හේතු වු කරුණුයි. මේ සලකුණු කීපය නිසාම ඔහු විවිධ සටන් ක්‍රම හා ක්‍රීඩාවන් ප්‍රගුණ කළ රංගවේදියෙකි. ච් - ච් සලකුණු මඟින් කියවෙන්නේ බලවත් රවි හෙවත් කීර්ති රේඛාවයි. සූර්ය රේඛාව බලවත් වීමෙන් ඔහුගේ පෞද්ගලික නිදහසට ඔහු තදින් ඇලුම් කළ අතර ඉහළ පෙළේ දේශපාලනඥයන්ගේ සම්බන්ධතා ද ඔහුට තිබුණත් කාටවත් යටත්ව කටයුතු නොකළ චරිතයකි. කිවයුතු දේ කෙළින් කියන නිර්භීත නමක් ඔහු තුළින් රසිකයන් හඳුනා ගෙන ඇත. කලක් පොලිසියේ ක්‍රීඩා උපදේශක තනතුරක්ද මෙතුමා විසින් දරා ඇත. මහපට ඇඟිල්ල කෙළින් දිගට වැඩි ඇති අතර ගුරු හා රවි ඇඟිල්ලේ සුවිශේෂ හස්ත රේඛා සලකුණු වී ඇත. මීළඟට රෙක්ස් මහතාගේ ජන්ම පත්‍රයෙහි තිබෙන යෝග හා ඔහුගේ ජීවිතයට කෙසේ බලපා ඇත්දැයි විමසා බලමු. එතුමා ඉපදී ඇත්තේ 1938.10.06 දින රාත්‍රි 09.20 ට පමණ බදුල්ලේදී බව මා සමඟ කියා ඇත. රූප සටහන බලන්න. ඔහුගේ ජන්ම ලග්නය වන්නේ සිකුරු හිමි වෘෂභ ලග්නයයි. නවාංශකය වී ඇත්තේ කුජ හිමි මේෂ නවාංශකයයි. මියයන විට එතුමා ගත කළ මහදශාව හා අන්තර් දශාව වූයේ රවි දශාවේ ගුරු අන්තරයයි. ගුරු අංශක 29 කලා 39 ගත වී ඇති බැවින් ආලෝක ග්‍රහයා වී ඇත්තේ ගුරුය. මේ කේන්දරේ ගුරු හා ශනි අතර පරිවර්තනය වීමෙන් පරිවර්තන යෝගයන් යෙදේ. මීට අමතරව රවි බුධ යෝගය , බුධ ආදිත්‍ය යෝගය, චන්ද්‍ර මංගල යෝගය, ලග්නාධි යෝගය, ධුරා ධුර යෝගය වැනි උසස් යෝග යෙදී තිබුණ අතර ලග්නයේ ත්‍රිකෝණ ස්ථානයන් බලවත්ව යෙදීමෙන් සුවිශේෂ වූ රංගවේදියකු වීමට මේ හේතු බලවත් විය. වයස අවු. 21,22 වන විට ඔහු යෝගකාරකයාගේ දශාව ලබා දීමෙන් ඉතා අඩු වයසින්ම සිනමාව ජය ගැනීමට හැකියාව ලබා තිබුණි. මේ කේන්ද්‍රයේ ලග්න ස්ඵුටය අංශක 13. කලා 35 වූ බැවින් (22) වැනි දෙර්කාණාධිපති (7) වැන්න අධිපතියා නිසාත් කුජ සිකුරු හා ශනි දැකීමෙන් මෙතුමාගේ බිරිය කලින් මියැදීමට හේතු විය. මෙතුමාගේ බාධක ග්‍රහයා ශනි වන අතර (64) වන නවාංශකාධිපති වනුයේ සඳුය. සියාවස නැකතේ (4) සිවුවැනි පාදයෙන් උපන් ඔහු මියයන විට සඳු සිටි රාශියේ සෙනසුරු, ගමන් කිරීම ජම්ම ඒරාෂ්ටකයක් ගත වෙමින් තිබුණි. වෘෂභ ලග්නයට පාපියා ගුරු වන අතර ගුරුගේ අන්තරය තුළදී රෙක්ස්ගේ ජීවිතය අවසන් විය. උපන් සත්වයා කෙසේ හෝ මරණයට පත්වීම ස්වභාවික වුවත් ඡ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව උපන් නැකතින් (7) හත්වන දශාව වධ තැනකට අයත් වීමත් විශේෂයෙන් ජන්ම ඒරාෂ්ටකයක් ගත වීමෙන් පාපී ගුරු ගේ අන්තරය ගතවෙමින් තිබීමෙන් මේ ජ්‍යෙෂ්ඨ රංගවේදියාගේ මරණයට හේතු වූ ඡ්‍යොතිෂ කරුණු බව ජන්ම පත්‍රය අපූරුවට පෙන්වා දී ඇත.

 

ඡ්‍යොතිෂවේදී නන්දසේන වීරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.