සෞන්දර්යයට කැමැති පුනාවස නැකැත් හිමියෝ

අප්‍රේල් 12, 2024

 

කෙනකු පුනාවස නැකතින් උපත ලද්දේ නම් ඔහු මිහිරි වදන් පවසන සංගීතය, චිත්‍ර, නාට්‍ය වැනි අංශයන්ට සමත් මෙන්ම ආදායම් මාර්ගයන්ට ද කලාව යොදා ගනී. දාර්ශනික නුවණකින් හෙබි ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩකරන බුද්ධිමතෙකු වේ. ලෞකික වශයෙන් විශාලම දියුණුවක් ද හිමිකර ගනී. තවද විවිධ විෂය ධාරාවන්ට සමත් වේ. භාෂාවන් ප්‍රගුණ කර ඒ සඳහා ලැබෙන උසස් සම්මානයන් ද හිමිකර ගැනීමේ වාසනාව ලබා ඇත. ලෞකික වශයෙන් දියුණු වේ.ආර්ථිකමය, මූල්‍යමය සම්පත් හිමි වේ.

කුඩා කල සිටම විවිධ විෂයයන්ට දක්ෂකම් දක්වනසුලු ය. ඉවසනසුලු ඉතාම කාරුණික කෙනෙකි. සමාජශීලිය. ඕනෑම අයෙකු සෑම විටම තමා වෙත ආකර්ෂණය කර ගැනීමට සමත්ය. සමාජයේ කැපී පෙනෙන චරිතයකි.

ප්‍රසන්න පෙනුමත් කතාවත් හරි අපූරුය. කුඩා වියේ හුරුබුහුටි දරුවෙකි. කා අතරත් පි‍්‍රය වේ. වැඩිහිටියන්ගේ ආදරයට ලක්වේ. ඉගෙනීමේ ද අති දක්ෂයෙකු වේ. විවිධ භාෂාවන් ද අධ්‍යයනය කරයි. බාල වියේ බොහෝවිට රෝගවලින් පීඩා විඳී. තරුණ වියේ නිරෝගී වේ. මහලු කාලයේ ද තදබල අසනීප ගති වැලඳේ. සිතත් ගතත් වඩාත් නිරෝගීය. බොහෝ නිරෝගී තැනැත්තෙකු ලෙස ද හැඳින්විය හැකිය. රාජ්‍ය තනතුරු දරයි. පෞද්ගලික අංශයේ උපදේශන තනතුරවලට හිමිකම් ඇත. කෙසේ වෙතත් රාජ්‍ය, පෞද්ගලික අංශවල උපදේශනාත්මක තනතුරුවලට පෙලඹේ. විදේශගතවීම්වලට ද විශේෂයෙන්ම විදේශගත සබඳතා දියුණු කර ගැනීමේ වාසනාව ද ඇත. කලක් විදේශගත වී සිටීමට ද කාලය පෑදෙනු ඇත.

උසස් අධ්‍යාපනයක් ලබා රජයේ හෝ පෞද්ගලික අංශයේ තනතුරු දරනු ඇත. එකී තනතුරු දරන කාලයේ අනික් අයට වඩා පහසුවෙන් පදවියේ උසස්වීම්වලට වාසනාව පෑදේ.

නමුත් මුදල් අංශයෙන් රාජකාරි කරන්නේ නම් වඩාත් බුද්ධිමත් විය යුතු වේ. සරප් වැනි තනතුරුවලදී අගරු චෙක්පත්වලින් සමහරවිට ගැටලු පැන නඟී. ණයට දීමෙන් ගැටලු පැන නඟී. ආපසු ගැනීමේදී ප්‍රශ්න රැසකටම මුහුණදීමට සිදු වේ. නැති සතුරන් ඇති වේ. එම නිසා පුනාවස නැකත් හිමියන් නිතරම මුදල් ගනුදෙනුවලදී ප්‍රවේසම් වීම මැනවි.

වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලට ද යහපත්ය. ජලය ආශි‍්‍රත, ලෝහ වර්ග, යානවාහන, ඉඩකඩම්, රසකැවිලි, කෘෂ ආම්පන්න, ඖෂධ හා කුළුබඩු වර්ග ආදී ව්‍යාපාරවලට යහපත්ය. ඒ මඟින් විශාල ලෙස මුදල් උපයා ගත හැකි වේ. පාඩු සිදු නොවේ. ගුරු හෙවත් බ්‍රහස්පතිගේ බලපෑම් සහිතයි. පුනාවස නැකත් හිමියන්ට සෞරග්‍රහ මණ්ඩලයේ අහස් වියනේ විශාල පරිමාවකට ගුරුගේ තාරකා පන්තිය පැතිර පවති. ආධ්‍යාත්මික පැතිකඩක් ද නියෝජනය කරනු ඇත. ගුරු කේන්දරයක 7 වැන්නේ සුබව හෝ සමව සිටි විට වයස 42න් පසු විවාහ වී ඇත්නම් යුගදිවියේ නීරස බව වැඩියෙන් වටහා ගැනීමේ ප්‍රවණතාව අධිකය. එනිසා තපස් දිවියක් ගත කිරීමට සැලසුම් කිරීමේදී සහකරුගේ සහකාරියගේ ගැටලු සහගත තත්ත්වයක් ඇතිවේ. පුනාවස නැකත නම් වඩාත් ඍණ පැතිකඩක් නියෝජනය කරනු ඇත. පුනාවස නැකත් හිමියන්ට පුෂ, අස්විද, උත්‍රපල්, සිත, සියාවස වැනි නැකත් සුබ තත්ත්වයක් ගනී. අස්ලිස, බෙරණ, රෙහෙණ අසුබයි.

පුනාවස නැකැත් හිමියන්ගේ යුග දිවිය රසාස්වාදනීය වේ. සෞන්දර්යාත්මක පැතිකඩක් නිර්මාණය වේ. ස්ත්‍රි සයනේ වෛශ්‍යානම් කියන වැකියට අනුව හැසිරේ. ගිතෙල් කළයක් ළඟ තැබූ ගින්දර හා සමානව සහකාරිය හැසිරේ. යුගදිවියේ ඇතුළු පැත්තේ යථාර්ථය හරිහැටි හඳුනාගෙන ක්‍රියාකරන කෙනෙකි.

එම නිසා යුගදිවියේ ගැටලු ඇති කර නොගනී. සමගිය, සමාදානය සහ යහපැවැත්ම ගැන උදාර අදහස්වලින් පිරිපුන් මනසක් හිමිවන නැකත් හිමියෙකි. (පුනාවස) දාරක සම්පත් හිමි වේ. සිය දූ දරුවන් මනාව අධ්‍යාපනයක් ලබා රජයේ හෝ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු ලබයි. ජානමය රෝගයන් ද පුනාවස නැකත් හිමියන්ට අඩුය. නිරෝගී සිරුරක් තිබේ. කාන්තාවක් පුනාවස නැකතින් උපන්නේ නම් ඇය විනීත ගතිපැවතුම් ඇති ලද දෙයින් සතුටුවන අයෙකි. ආගම පැත්තට වැඩි නැඹුරුවක් දක්වයි. සිරුරේ භාෂාව හරහා ඇය ගැන නිරීක්ෂණය කිරීමේදී වඩාත් පැහැදිලි වන්නේ ඇය චරිතයට මුල්තැන දෙන බවකි. ආත්ම ගෞරවයෙන් යුතුව කිසිම දිනක තමාගේ චරිතයට හානි නොවන ආකාරයට ජීවත්වීමට වගබලා ගනී.

පින්වත් දරුවන් ලැබීමේ මහා වාසනාගුණය ඇත්තීය. පංච මහා සම්පත් හිමි දරුඵල ඇත්තීය. තවද හැඩරුව ඇති ආරෝහ පරිණාහයෙන් යුක්ත කඩවසම් තරුණයකු සමඟ අතිනත ගන්නීය. පුනාවසින් මල්වර වුණ දැරිය ඉතාම වාසනාවන්තයි. සැපසම්පත් ලැබේ. යුගදිවිය සාර්ථක වේ. මවුපියන්ගේ දියුණුූව ඇති වේ. උසස් ඉගෙනීමක් ලබයි. වාසනාවන්ත දිවියක් ගෙවීමට පුනාවස නැකත ඉතාම ශක්තිමත් වේ.

විශේෂයෙන් බ්‍රහස්පතින්දා දිනෙක ගුරු හෝරාවෙන් මල්වර වී නම් ඉතාම ශ්‍රේෂ්ඨ කාන්තා රත්නයක් බවට පත්වන්නීය. අහස් සිතියමේ ගුරු ග්‍රහයා විශාල ප්‍රමාණයක් තරු වැල් වසා සිටී.

පුනාවස නැකතට ගුරුගේ බලශක්තියෙන් කිරණ කාන්දුවීමත් නිතැතින්ම සිදුවන නිසා බ්‍රහස්පතිගෙන් ලැබෙන ධනාත්මක කරුණු ඉතාම සුබවාදීව පුනාවස නැකත් හිමියාට ලැබේ.

පුනාවස නැකතේ 01 වැනි පාදයෙන් උපන්නේ නම් ඉතාම වාසනාවන්ත අයෙකි. මැදිවිය ආසන්න වන විට මිල මුදල් යහමින් අතට ලැබේ. විදේශගතවීම්වලින් වැඩි ආදායමක් උපයා ගනී.

2. පාදයෙන් උපන්නේ නම් උසස් ඉගෙනීමක් ලබා කලට වේලාවට යහපත් රැකියාවක් ලැබෙනු ඇත. යුගදිවිය ඉතාම සාර්ථක වේ. වාසනාවන්ත දූපුතුන් ලැබේ. මැදිවියේදී අතමිටට මිල මුදල් යහමින් ලැබෙනු ඇත.

3 පාදයෙන් නම් ලොතරැයි දිනුම්වලට ද මඟ පෑදේ. අන්සතු ධනයක් හෝ මිල මුදල් ලැබේ. පාරම්පරික දේපළ, ඉඩකඩම් අත් පත්වේ.

4. පාදයෙන් ජානගත ලෙඩරෝගවලට බලපෑම් ඇත. තුන්දොස් කිපෙන ව්‍යාධි හට ගනී. වයස්ගත වත්ම ව්‍යාධිවල බලපෑම අධික වේ. රෝගාබාධ වැඩි වේ.

පුනාවස නැකත හිමිව උපන් ස්ත්‍රී - පුරුෂ දෙදෙනාම සහජයෙන්ම වාසනාවන්ත වේ. පෙර භවයන්හි කුසල් කර ඇති බැව් පෙනේ.

ලග්නය මෙන්ම උපත ලැබූ නැකත ද ඉතාම ප්‍රබල වන්නේය. සමහරවිට ඒ ඒ ලග්න හිමියන් එකිනෙකාට වෙනස්ය. නැකත් හිමියන් ද මේ ගණයට අයත් වේ. උපදින විට අහස් සිතියමේ සනිටුහන් වන නැකත්වලින් ජන්මියාගේ ජීවන තොරතුරු මනාව හෙළිකර ගැනීමට හැකි වන්නේ ඒ ගැන ගැඹුරින් නිරීක්ෂණය කිරීමෙනි. නැකත් 27තුළට සුබ සහ අසුබ සම්මිශ්‍රණය වී තිබේ. ලග්නයක් තුළ ගැබ්වී ඇති විවිධ චරිතාංග හා ජීවන හැසිරීම් රටාව මෙන්ම නැකත් තුළ ද සුවිශේෂි කරුණු රාශියක්ම අන්තර්ගත වී ඇත්තේය. එය සියුම් ලෙස අනාවරණය කරගත යුතුවේ. ඉතාම ප්‍රබල නැකතක් උදා වූ මොහොතේදී කේන්දර හිමියාගේ ග්‍රහ හැසිරීම් රටාවට අනුගතව අනපේක්ෂිත අන්දමට අතට මිලමුදල් ලැබීමේ මහා වාසනාව පෑදෙන බැව් ඇත්තකි.

විශේෂයෙන්ම පුනාවස නැකත් හිමියන්ට නොසිතූ අන්දමට මිල මුදල් ලැබීමේ වාසනාව පෑදෙන නැකත් හා යෝග උදාවේ. ගෝදූළි මුහුර්තියත් විජය යෝගයත් ඊට හොඳම උදාහරණයන්ය. පුනාවස නැකතින් නිවාස ඉදිකිරීමෙන් සැප සම්පත්, යස ඉසුරු ලැබේ. අනපේක්ෂිත අන්දමට, ලොතරැයි දිනුම් ද හිමිවන බැව් පෙනේ.

 

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.