රාජ්‍ය නායකත්වයට මඟ සලසන ඒරාෂ්ටකය

අප්‍රේල් 19, 2024

අද දිනයේ දී ද ප්‍රසිද්ධ උදාහරණයක් සහ පෞද්ගලික උදාහරණයක් ඇසුරින් ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවල ඇති කළ සුබ පල කිහිපයක් පිළිබඳව කතාබහ කරන්නට බලාපොරොත්තු වෙමි.

ප්‍රසිද්ධ උදාහරණ ඇසුරින් කේන්ද්‍ර සටහනක ප්‍රතිඵල විග්‍රහ කිරීම තුළින්, අදාළ පුද්ගලයාට සිදු වූ සිදුවීම් මුළු රටම දන්නා බැවින් ඉදිරිපත් කර සිද්ධාන්තවල නිවැරැදි බව ඉතා විශ්වසනීය ලෙස තහවුරු වෙයි. මේ අදහස මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඡ්‍යොතිෂය පර්යේෂකයෙකුව සිටි අභාවප්‍රාප්ත අතුල මංචනායක මහතා විසිනි.

අද දිනයේ දී මුලින්ම කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකවේ ප්‍රථම විධායක ජනාධිපතිතුමියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහන පිළිබඳවය.

එතුමියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය ‘කටක’ වන අතර චන්ද්‍රයා 7 වැන භාවය තුළ තැන්පත්ව ඇත. එතුමිය, සිහිනෙන්වත් නොසිතූ මොහොතක ක්‍රියාකාරී දේශපාලනයට පිවිස, 1993 මැයි 21 වනදා මෙරට බස්නාහිර පළාතේ දෙවැනි මහඇමැතිවරිය බවට පත් වන විට එතුමියගේ කේන්ද්‍ර සටහනේ ප්‍රබල අෂ්ඨම ඒරාෂ්ටකයක් සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වෙමින් තිබුණි. මීළඟට එතුමිය වාර්තාගත ජනවරමක් ලබා ගනිමින්, 1994 අගෝස්තු 19 වැනිදා මෙරට 11 වැනි අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලබන විට ලග්න අෂ්ටම ඒරාෂ්ටකය සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කරමින් සිට ඇත. එමෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ලබා ගත හැකි ඉහළම තනතුර වන මෙරට සිවුවැනි විධායක ජනාධිපති තනතුරට එතුමිය නොබිඳුණ 62% ක වාර්තාගත ජනවරමකින් පත් වූ 1994 වසරෙහි නොවැම්බර් 12 වැනි දා වද්දී ශනි ග්‍රහයා කුම්භ රාශිය තුළ ගෝචර වූ අතර ඒ අනුව එතුමියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනේ ශනි ග්‍රහයා 8 වැනි භාවය තුළ ගෝචර වෙමින් පැවතුණි. ඒ අනුව පැහැදිලි වන්නේ එතුමිය මෙරට රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලබන විටද එතුමියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහන තුළ ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත වී ඇති බවය. 1993 වසරෙහි මැයි 1 වැනි දා, එවකට රාජ්‍ය නායකයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතනය, එතුමිය දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීම සඳහා බෙහෙවින් බලපාන්නට ඇති අතර ඒ වන විටද එතුªමිය ලග්න අෂ්ඨම ඒරාෂ්ටකය සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කරමින් සිට ඇත. එමෙන්ම එවකට දේශපාලන ක්ෂේත්‍රයේ පතාක යෝධයන්ව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ගාමිණී දිසානායක මහතා ඝාතනය වීම, එතුමියට රාජ්‍ය නායකත්වය කරා ළඟා වීම පහසු කළ බවට දේශපාලන විචාරකයින්ගේ මතයයි. ඒ වන විට ද එතුමිය අති ප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් සහ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කරමින් සිට ඇත. ඒ අනුව එතුමියට රාජ්‍ය නායකත්වය කරා පියමනින්නට පාර කපා ඇත්තේ අතිප්‍රබල ඒරාෂ්ටක කාල වකවාණු බව මොනවට පැහැදිලි වෙයි.

මාගේ ඉතා තදබල ඒරාෂ්ටක කාලවකවානු තුළ මා හට ද බොහෝ සුබ පල ලැබුණු අතර ඉන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි. මාගේ ලග්නය මීන වන අතර 7 වැනි භාවය තුළ චන්ද්‍රයා තැන්පත්ව ඇත. ඒ අනුව මා හට වෛද්‍ය ශිෂ්‍යාවක පිළිබඳ මංගල යෝජනාවක් ලැබී එය ස්ථිර වූ 2010 වසරෙහි ජනවාරි 2 වැනිදා වද්දී ශනි ග්‍රහයා කන්‍යා රාශිය තුළ ගෝචර වූ අතර ඒ වන විට මා හට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වී මාස හතරක්වත් ගත වී නොතිබුණි. මෙහි විශේෂත්වය වන්නේ මේ තදබල ඒරාෂ්ටකය ක්‍රියාත්මක වූයේ මාගේ කේන්ද්‍ර සටහනේ විවාහකස්ථානය තුළම වීමය. දැනට කෘතීන් හතරක් ජනගත කර ඇති මා 2010 වසරේ දී මගේ පළමු කෘතිය ලෙස ලියා මුද්‍රණය කළ ප්ලේන්ටිය කෙටි කතා සංග්‍රහය ජනගත කරද්දීද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් පැවතුණි. තවද මෙහි විශේෂත්වය වන්නේ 2010 වසරෙහි ජූලි මාසයේ දී මා මගේ ප්‍රථම මෝටර් රථය මිලදී ගනිද්දී ද ශනි ග්‍රහයා කන්‍යා රාශිය තුළ ගෝචර වීමය. එනම් ඒ මොහොත වන විට ද මා හට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබුණි. මීට අමතර ලෙස 2006 වසරේදී මා මුල්වරට ජාතික මට්ටමේ ගුවන්විදුලි නාළිකාවක සති පතා විකාශනය වූ පැය 2ක ඡ්‍යොතිෂය වැඩසටහන වෙනුවෙන් සහභාගි වීම ආරම්භ කරද්දී ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ආරම්භ වීමට පැවතියේ සති කිහිපයක් පමණි. එමෙන්ම මුද්‍රිත මාධ්‍ය ඡ්‍යොතිෂය පුවත්පතක මාගේ පළමු ලිපිය පළ වූයේ ද මා ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ගත කරද්දීය. මීට අමතර ලෙස, මුද්‍රිත මාධ්‍ය ඡ්‍යොතිෂ පුවත්පතක මුල් පිටුවෙහි ප්‍රධාන සිරස්තලය ලෙස මුල් වරට මගේ ලිපියක් පළ වූයේද මා ජන්ම ඒරාෂ්ටකයේ පළමු අවස්ථාව ගත කරමින් සිටියදීය. මාගේ මුල්ම රූපවාහිනී වැඩසටහනට මා සහභාගි වද්දී ද මා ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ගත කරමින් සිටියෙමි. එමෙන්ම සති අන්ත ජාතික පුවත්පතකට ආන්දෝලනාත්මක ඡ්‍යොතිෂය ලිපි පෙළක් ලිවීම සඳහා මා හට මුල් වරට අවස්ථාව ලැබෙන්නේ මා ඉතා තදබල ඒරාෂ්ටක දෙකක් ගත කරමින් සිටියදීය. මෙසේ බලන කල ඒරාෂ්ටක යනු බිය විය යුතු කරුණකට වඩා පල දෙන කරුණක් ලෙස සැලකීම සුබවාදීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.