යහපත් පිරිමියකු හඳුනාගත හැකි දේහ ලක්ෂණ

මැයි 17, 2024

 

සිනාවෙන් හෝ කතාවෙන් හඳුනාගත නොහැකි මිනිසාගේ දේහ ලක්ෂණ අනුව ඔහුගේ චරිතය පිළිබඳව අනාවැකි හෙළිකර ගැනීමට අපේ පැරණි ඍෂිවරු සමත් වූහ. ඒ බැව් අපේ පැරණි දේහ ලක්ෂණ විද්‍යාව පිළිබඳව වූ පොත්පත්වලින් මනාව පැහැදිලි වෙයි.

පිරිමියකුගේ දේහ ලක්ෂණ විමසා බැලීමේදි හිසේ හැඩය හිසකෙස්, මුහුණ, නළල, නාසය, ඇහිබැම, ඇස්දෙක, නිකට, දෙකන් පෙති, උරහිස්, රැවුල, උදර ප්‍රදේශයද ඊට අමතරව කටහඬ හා ගමන් විලාසයද වැදගත්ය.

තද කළු පැහැති ඍජු කෙස් හිස පුරා ඝනව වැවී ඇති පුරුෂයා ඉතා උසස් අධ්‍යාපනයක් ලබන අදීන පුද්ගලයෙක් වෙයි. නිදහස හැමවිටම පි‍්‍රයකරන ඔහු ගුණවත්කමින් ද යුක්තය. ස්ව උත්සාහයෙන් දියුණු වීමට පි‍්‍රයකරන අයෙකි. සාධාරණත්වය හැමවිටම අගය කරන මොවුහු අසාධාරණය ඉදිරියේ දැඩි ලෙස කෝප වෙති. මෙවැන්නෝ වයස් ගත වන විට මහා උගතුන් ලෙස ප්‍රසිද්ධ වෙති. වාද විවාදවලට වැඩි කැමැත්තක් නොදක්වන මොවුහු තම අදීන නිවහල් අදහස් ප්‍රකාශ කිරීමට මැළි නොවෙති. රැලි හිසකෙස් ඇති පුරුෂයෝ කලා අංශයට වැඩි නැඹුරුතාවයක් දක්වති. දැඩි ස්ත්‍රී ලෝලත්වයෙන් හෙබි මොවුන් පරාර්ථකාමී බවින්ද යුක්තය. අනුන්ගෙන් තමන්ට යමක් ලැබුණත් තමන්ගෙන් කිසිවක් අන් අයට දීමට මැළි වෙති. සිත් ගන්නා කඩවසම් පෙනුමක් ඇති බැවින් ස්ත්‍රීහු බොහෝ විට මොවුන්ගේ ඇසුරට යොමු වෙති.

ඉදිරිපස කෙස් ගැලවී ගොස් තට්ටය පෑදුණ පුද්ගලයන් ඔබ ද කොතෙකුත් දැක ඇති. කපටි කමින් අනූන එවැනි පුද්ගලයෝ තමන්ගේ සිතැඟි හෝ අදහස් තම සමීප හිතවතෙකුට හෝ ප්‍රකාශ නොකරති. සැඟවුණ රහස් මොවුන් තුළ බහුලව පවතී. පිටතට පෙන්වන ගති ලක්ෂණ හදවත තුළ නොමැත. තද ඊර්ෂ්‍යාවද මොවුන් තුළින් කැපී පෙනෙයි. අන් අය තමන් අභිබවා යනවා දැකීමට අකමැතිය. තම මිතුරාගේ තබා තම සහෝදරාදීන්ගේ පවා දියුණුව වෙනුවෙන් උදවු කිරීමට මැළිවෙති. හිසෙහි පසුපස කෙස් ගැලවී ඇති අය මෝඩ බවක් පෙන්නුම් කරනු ඇත. මෙවැනි පුද්ගලයෝ කීර්තිය හා නම්බුනාමවලට ආශා කරති. ගැහැනු අයගේ මායම්වලට රැවටී ඇතැම් අය අප්‍රමාදව විවාහ වූවත් පවුල් ජීවිතයක් ගත නොකරති. හිත මිතුරන්ට ළැදි නමුත් ඔවුන්ගෙන් තමන්ට පල ප්‍රයෝජන අඩුවේ. මොවුන් හට දියවැඩියාව, හෘදයාබාධ, අංශභාගය වැනි රෝග ජීවිතයේ අවසාන දශකය තුළදී වැලඳිය හැකිය.

ඇහි බැමි එකට යාවී ඇති පුරුෂයෝ නිහඬ ජීවිත ගත කරන්නෝ වෙති. ඔවුහු බොහෝ දේවල් රහසිගතව කිරීමට උත්සාහ ගනිති. තමන් ළඟ ඇති දේට වඩා වැඩි දෙයක් ඇති බව හුවා දැක්වීම ඔවුන්ගේ විශේෂ ලක්ෂණයකි.

කන්දෙක පිහිටා ඇති ආකාරය අනුව ද අනාවරණය කර ගත හැකි තොරතුරු අපමණය. උසස් නිලතල ගෞරව සම්මානයන්ගෙන් පුද ලබන පුද්ගලයන්ට පස්සට පැන ගිය ආකාරයේ කන් පිහිටන බව දේහ ලක්ෂණ විද්‍යා පොත්වල සඳහන්ව ඇත. හැසිරීමෙන් හා කතා විලාශයෙන් අන් අය තමන් වෙත නම්මවා ගැනීමේ පුදුම හැකියාවක් ඔවුන් තුළ සහජයෙන්ම පිහිටා ඇත. නිදසුනක් ලෙස රාජ්‍ය නායකයන් දැක්විය හැකිය. මොවුන් තුළින් එවන් කර්ණ ලක්ෂණයන් විද්‍යමාන වෙයි. ඉදිරියට නෙරාවිත් පිහිටන කන් දෙකින් කියාපාන්නේ අනුන්ගේ දේ කඩා වඩාගෙන තම බඩ වඩා ගන්නා පුද්ගලයකු බවය. වහා වෙනස්වනසුලු අදහස් දරන මෙවැන්නෝ තමා එල්බගත් මතයේම එල්බ ගෙන සිටිති. මෙැනි අය ප්‍රවේශමෙන් ඇසුරු කළ යුතුය.

යම් පුද්ගලයකුගේ කන්වල රෝම පිහිටා තිබේ නම් එය සුබ ලක්ෂණයකි. අයුක්තිය, අසාධාරණය හමුවේ වහා නැඟී සිටින එවන් පුද්ගලයෝ නීතිය අකුරටම පිළිපදිති. මනා හැදියාවකින් හා ඉතා සංවර විනීත ගතිපැවතුම්වලින් යුතු වේ. අනුන්ගේ දුකේදී මහත්සේ කම්පාවෙන හදවතක් ඔවුන් සතුය.

දික් වූ මහත් වූ මනා ලෙස පිහිටි නාසය උදාරත්වයේත්, සෞභාග්‍යයේත් සංකේතයක් බඳුය. ඔවුහු සංවිධානයෙහි දක්ෂයෝය. එසේම කාර්යශූරය. ඇසු දුටු ඕනෑම දෙයක් පිළිබඳව ක්ෂණික අවබෝධයක් ලබාගන්නා එවැනි අය කුමන අංශයක හෝ කැපී පෙනෙන පුද්ගලයෝය. ජනාදරයට පත් දේශපාලකයන් සම්භාවනීය රාජ්‍ය නායකයන් වැනි අයට බොහෝවිට මේ නාසිකා ලක්ෂණ පිහිටා තිබෙනු දැකිය හැක. ඉතා කුඩා නාසයෙන් පෙන්නුම් කරන්නේ ආඩම්බර කාරයෙකු බවයි. තමන්ගේ ශක්තියෙන් යමක් ඉදිරිපත් කිරීමට ඔවුන් අදක්ෂය. අලසකම ඔවුන්ට උපතින්ම ලැබුණ දායාදයකි. අනුන්ගේ යටතේ හෝ අනුන්ගේ මඟ පෙන්වීම යටතේ කරන රැකියා ඔවුන්ට සුදුසු වෙයි. අනුන්ගේ දුකේදී කම්පා වන හදවතක් ඇති ඔවුහු ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරන අවස්ථාද ඇත.

මැදින් උඩට නෙරන ලද මොලොක් නාසයක් ඇති පුද්ගලයන්ද ඔබ දැක ඇති. සිත්වූ පරිදි කාම සම්පත් භුක්ති විඳින එවැන්නෝ දීර්ඝායුෂ විඳින්නෝය. අටලෝදහමින් කම්පා නොවන එවැනි අය සාර්ථක ලෙස ජීවිතයට මුහුණ දෙති.

නාසය අග ගිරා හොටක් මෙන් නැමී තිබීම සුබ ලක්ෂණයක් වේ. නොයෙකුත් විදියේ බව භෝග සම්පත් ලැබීමේ වාසනාවන්තයෝ වන ඔවුහු තර්කානුකූලව කතා කිරීමට දක්ෂයෝ වෙති. සාමකාමී ජීවිතයක් අගය කරන එවැන්නෝ නම්බුවට හා ප්‍රසිද්ධියට ඉමහත් ආශාවක් දක්වන්නාහ.

පිරිමියෙකුට විශාල නාස්පුඩු පිහිටීම බලවත් බවේ ලක්ෂණයක් බව පවසන දේහ ලක්ෂණ විද්‍යාඥයෝ නාස් පුඩු දෙක දෙවිදියකට පිහිටීම දිලිඳු බවේ ලක්ෂණයක් බව පවසා ඇත. දුක් කම්කටොලුවලට මුහුණ දෙන පුද්ගලයා කුඩා නාස් සිදුරුවලින් හඳුනාගත හැකිය.

යම් පුරුෂයකුගේ නළලෙහි රේඛා තුනක් පිහිටියේ නම් හෙතෙම දීර්ඝායුෂ ලබන්නෙක් වෙයි. රේඛා හතරක් පිහිටියේ නම් ජනප්‍රධානීන්ගේ රාජ්‍ය නායකයන්ගේ ගෞරව සම්මාන ලබන්නේය. ජීවත්වීමට ඇවැසි මිල මුදල් නිරායාසයෙන්ම ලබන්නේය. එළු රැවුලක් ඇති පපුවේ රෝම නැති පිරිමි රූපයෙන් ලස්සන නමුත් පිටතට පෙන්වන තැන්පත්කම හෝ නිහතමානී බව හදවතේ ඇත්තේම නැත. කතාවට ඉතාමත් දක්ෂය. නමුත් ක්‍රියාකාරීබව කතාවට පටහැණි අන්දමින් වේ. දැඩි ආත්මාර්ථකාමී බවින් යුක්තය. චිත්‍ර කලාව, මූර්ති කලාව ආදියට දක්ෂයෝය.

උදරයෙහි රැලි හෙවත් නැමි දෙකක් ඇති පුරුෂයා බොහෝ ආයුෂ ලබයි. රැලි තුනක් ඇති පුරුෂයා උගත්කමින් යුතු වාසනාවන්තයෙකි. නමුත් මේ රැලි වමේ සිට දකුණට ඍජු ලෙසම විය යුතුය. ඛණ්ඩනය වූ හෝ ඇද වූ රැලි අයහපත්ය. උදර ප්‍රදේශය මහත්වූ පුද්ගලයා වෙහෙසක් නොමැතිවම මුදල් උපයා ගනී. යම් පුරුෂයෙකුගේ පාද තලයෙහි මත්ස්‍ය කොඩි, පියුම්, චක්‍රය වැනි සලකුණු පිහිටියේ නම් දීඝායු ලැබ සියලු සැප සම්පත් ලබන්නේය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.