සරාගී බවේ කැඩපත සිකුරු මණ්ඩලය

මැයි 17, 2024

 

මෙලොව ජීවත් වන මිනිස් ජීවින් වන ඔබ අප සියලු දෙනාම වගේම සතා සිවුපාවුන් ට ද ආදරය අත්‍යවශ්‍ය කාරණයක් බව කිව යුතුවේ. නමුත් ආදරයේ ස්වභාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාරයේ ස්වරූපයන් ගන්නා බව සමාජය හොඳින් නිරීක්ෂණය කිරීමෙන් අපට වැටහේ. ආදරය යන්නට නොයෙක් අර්ථකතයන් දිය හැකි වුවත් ඕනෑම පුද්ගලයකුගේ ආදරයේ ස්වභාවයන් ඉතා නිශ්චිතව හස්ත රේඛා පරික්ෂාවේදි සිකුරු මණ්ඩලය පරික්ෂාකිරීමෙන් අවබෝධ කරගත හැකි වේ. අත්ලක සිකුරු මණ්ඩලය පිහිටා ඇත්තේ අත්ලේ මැණික් කටු සීමාවේ සිට ඉහළට ඇති ජීවන රේඛාවෙන් වට වූ කොටසේය.

එය ප්‍රමාණාත්මකව සහ ලක්ෂණ අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ අනුව පුද්ගලයෙකු පංච කාම සම්පත් කෙරේ ඇති ආශාවන් ඔහු සරාගී පුද්ගලයකුද නැතිද, ගිහි ජීවිතය සැපවත්ද නැතිද ආදි කෙනකුගේ ලෞකික ජීවිතය ගැන අවබෝධයක් සිකුරු මණ්ඩලය පිරික්සීමෙන් ලබා ගත හැකිය. ප්‍රධාන වශයෙන්ම පුද්ගලයකුගේ ආදරය, අනුකම්පාව, සෙනෙහස, ආකර්ෂණීයත්වය, සුඛෝපභෝගිත්වය ආදි කරුණු සිකුරු මණ්ඩලයෙන් නිවේදනය වේ.

ඔබේ අත්ලේ ප්‍රබල සිකුරු මණ්ඩලයක් පිහිටා ඇත්නම් ඔබ ලස්සන ආකර්ෂණීය ආදරබර සහ කැපකිරිම්වලින් යුක්ත ජීවිතයක් ගත කරයි. ඔබ භාග්‍යවන්තයෙක් බව කිව යුතු අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඔබට උරුමය. එසේම මනා පෞරුෂයෙකින් හෙබි ආකර්ෂණීය පෙනුමක් සහිත පුද්ගලයෙන් වන අතර සංගීතය, නැටුම්, කවි, ගීත ආදි කලා කටයුතු සම්බන්ධයෙන් ඔබට ඉදිරියට යා හැකිය. ගීත, චිත්‍ර, මූර්ති ආදි නිර්මාණයන් ඔබ අතින් බිහිවේ. නමුත් ඔබ සුඛෝපභෝගි ජීවිතයට නැඹුරුවන අතර ගති පැවතුම් ශනිගේ ගතිවලට විරුද්ධ වේ. එම නිසා දේව විශ්වාසයෙන් බැහැර වේ. සෑමවිටම ප්‍රීතියෙන් ජීවත් වේ. ලිංගික ජීවිතය ප්‍රිය කරයි. නමුත් සල්ලාලයෙක් ලෙස ඔබව හැඳින්විය නොහැකිය.

හැඩිදැඩි පුරුෂ ගති නොපෙන්වන අතර ලලනාවන්ගේ සුකොමළ ගතිය උපතින්ම උරුම කරගෙන ඇත. විවාහ දිවියට කැමැතිය. ඔබ ඉක්මනින් විවාහ වන අතර සහකාරිය හැඩ වැඩ ඇතිව ලස්සනට ඉන්නවාට කැමතිය. දරුවන් ගොඩාක් අපේක්ෂා කරයි. ගෙදර සහ දරුවන් තමාගේ එකම සම්පත ලෙස සලකා කටයුතු කරනු ඇත. එමෙන්ම ඔබ මිල මුදල් රැස් කරන්නේ නැත. එම නිසා ආර්ථිකය එතරම් යහපත් නොමැත. එහෙත් ඔබට මුදල් ලැබීමේ වාසනා ගුණය ඇත. රැකියාව වශයෙන් කලාවට සම්බන්ධ රැකියාවක් සුදුසුය.

ඔබ සිකුරු මණ්ඩලය ප්‍රබල කාන්තාවක් නම් උපතින්ම පුරුෂයන් ආකර්ෂණය කර ගැනීමට දක්ෂය. ගෙදර දොර අලංකාරවත් ලෙස තබා ගන්නවා ඇත. ඔබ රූමත්ය. අයෙක් වරක් දුටුවොත් නැවතත් ඇය දෙස බැලීමට පසුබට නොවේ. ආදරය සහ මනුෂ්‍යත්වය දැඩි සේ අගය කරන බැවින් මිතුරු මිතුරියන් රැසක් ඔබට සිටිති. කුමන බාධක ආවත් විවාහ දිවිය දිගටම පවත්වාගෙන යාමට හැකි සෑම උත්සාහයක්ම ගනි. කැපවීමෙන් කටයුතු කරන ආදර බර බිරිඳකි. එසේම ඔබ දරුවන්ට හොඳ මවක් සේම ගෙදර දොර කටයුතු ආශාවෙන් කරන හොඳ ගෘහණියකි.

නමුත් අති ප්‍රබල ලෙස සිකුරු මණ්ඩලය පිහිටා ඇත්නම් ඔබ කාම ආශාවකින් යුක්තය ලිංගික ක්‍රියා, ලස්සන, සුඛෝපබෝගි බව ජීවිතය කර ගැනීම ඔබගේ ක්‍රමය වේ. ඔබ සමාජ සම්මතය ඉක්මවා ගමන් කරන අතර, අත්මාර්ථකාමි මෙන්ම නපුරු පුද්ගලයන් බවට පත් වේ. මාපට ඇඟිල්ලේ පළමු පුරුකද දෙවැනි පුරුකට වඩා දිගනම් සිකුරු මණ්ඩලය කුජ මණ්ඩලයට නැඹුරු නම් ස්ත්‍රි දූෂකයෙන් බිහිවීමට ඉඩ ඇත.එම පිහිටීම කාන්තාවක්ගේ අත්ලෙහි නම් දුරාචාරයේ යෙදින්නියක බිහි වේ.

එසේම ඔබගේ අත්ලේ සිකුරු මණ්ඩලය දුර්වල එබුණු ස්වභාවයෙන් යුත්ත නම් මුළු ජීවිත කාලයම කරදරවලින් පිරුණු එකක් වේ. පුරුෂයෙක් නම් ස්ත්‍රීන් ප්‍රිය නොකරයි. ස්ත්‍රියක් නම් තමාට තමාම බරක් සේ සිතන්නේය. ආකර්ෂණීය පෙනුම නැත. සෞඛ්‍ය්‍ය, ජීව බලය, ආදර සම්බන්ධතා යන යහපත් සියලු දේ විරුද්ධ ප්‍රථිපල දැකිය හැකිය. ලිංගික රෝගවලට ගොදුරු වේ. මණ්ඩලය කුජ දෙසට නැඹුරුනම් අශිෂ්ටත්වයට හේතු වේ. මණ්ඩලයේ බර මාපට ඇඟිල්ළ දෙසට නම් කාමුකත්වයට පෙළඹීම පාලනය වේ. සිකුරු මණ්ඩලය චන්ද්‍ර මණ්ඩලය දෙසට දෙසට නැඹුරු නම් කාමුක හැඟීම් වැඩි වේ.

එසේම සිකුරු මණ්ඩලය මත මධ්‍යයේ තරු සලකුණක් ඇත්නම් ආදර සම්බන්ධතා සපල කරන පිහිටීමකි. තරුව පිහිටා ඇත්තේ මාපට ඇඟිල්ලට ආසන්නයේ නම් උසස් පුද්ගලයකු සමඟ ආදර සම්බන්ධතාවයක් ඇතිවේ. තරුව පිහිටා ඇත්තේ ජීවන රේඛාව ආසන්නයේ නම් එම ආදර සම්බන්ධතාවලට විරෝධ එල්ල නොවේ. කතිරය ලකුණක් මේ මණ්ඩලය මත විශාලව පිහිටියේ නම් තරමක් යහපත්ය. එසේ නොමැතිව කතිරය කුඩාවට හුදකලා පිහිටියේ නම් නඩු මඟට හෝ මරණය ගෙන දෙන කාරණයකි. සිකුරු මණ්ඩලය මත කතිර සලකුණ ජීවන රේඛාවේ ස්පර්ෂ වේ නම් ඥාතීන් නිසා කරදරකාරි තත්ත්වයන් ඇතිවේ. කතිර රාශියක් සිකුරු මණ්ඩලය මත නම් විරුද්ධ ලිංගිකයා තෘප්තිමත් කිරීමට හැකියාවක් නොමැත. ත්‍රිකෝණයක් මේ මණ්ඩලයේ පිහිටීම ආදරය, කරුණාව අනුකම්පාව ආදි මේ මණ්ඩලයේ ගුණාංග මඟින් තමාගේ දියුණුව සකසාගත හැකි බව පෙන්වන සලකුණකි. නමුත් ත්‍රිකෝණයේ පාද ඇද නම් හෝ විකෘති නම් සම්බන්ධතාවය දිගටම පවත්වා ගෙන යාමට නොහැකි බව පෙන්වන ලක්ෂණයකි. නැතහොත් එකවර සම්බන්ධතා දෙකක් පවත්වා යන ලක්ෂණයකි.

තවද අන් ස්ත්‍රී සේවනය නිසා සමාජ තත්ත්වය විවාහය නැතිකර ගැනීම මේ මණ්ඩලයේදුපත් සලකුණක් පිහිටීමෙන් පෙන්වන අතර එසේම මෙහි පිහිටි දුපතකින් රේඛාවක් විවාහ රේඛාව දක්වා ගියොත් දික්කසාදය සිදුවන බව පෙන්වයි. ඒවගේම එලෙසම රේඛාවක් හෘද රේඛාවට ගියොත් ප්‍රේම සම්බන්ධ නිසා තමාට හානි හෝ විවාහ වීමට අවස්ථාව නොලැබීම පෙන්වයි. තනි රේඛාවක් මහාපට ඇඟිල්ළේ දෙවැනි පුරුකේ සිට ජීවන රේඛාවට ගියොත් කරදර සහිත විවාහ දිවියක් පෙන්වන ලක්ෂණයකි.

එමෙන්ම ඔබේ සිකුරු මණ්ඩලය සහ ගුරු මණ්ඩලය ප්‍රබල නම් සිකුරුගෙන් නිපැයෙන ගීත, චිත්‍ර මූර්ති ආදි කලා නිර්මාණයන් සඳහා ගුරුගෙන් ලැබෙන ආධ්‍යාත්මික බලයත් එකතු වීමෙන් එය උසස් නිර්මාණයක් බවට පත් කර ගත හැකිය. සිනමා ශාලා, කාන්තා විලාසිතා ආයතනවල තනතුරු දරන්නෝ් මේ මණ්ඩල බලවත් වූවෝය. සිකුරු සහ ශනි මණ්ඩල යහපත්ව පිහිටා ඇත්නම් ලස්සන පිළිබඳ හැඟීම අඩු වේ. මුදල්වල වටිනාකම අවබෝධ වන හෙයින් රැකියාවලට උනන්දුවේ. ආදර සම්බන්ධතාවලදී බුද්ධිමත් වේ.

මණ්ඩල දෙකේම අයහපත් ගතිගුණ එකතු වීමෙන් කපටි අනුවණ අපරාධකාරයකු වීමට ඉඩ තිබේ. සිකුරු සහ රවි මණ්ඩල ප්‍රබලනම් ඔබ කලාත්මක කටයුතු වලදි වඩාත් දක්ෂතා පෙන්වයි. අනුන් වශිකරණ නව නිර්මාණ ඔබ අතින් බිහි වේ. ඔබගේ දිවිමග යහපත් වේ.එමෙන්ම සිකුරු මණ්ඩලය සහ බුධ මණ්ඩලය යහපත් නම් එකිනෙකට වෙනස් ගතිගුණ ඇති මණ්ඩල දෙකක් බැවින් සිකුරුගේ කලාව දක්ෂතාවයට එකතු කරමින් කලාව මුදල් ඉපයීමට යොදා ගැනීම සිදු වේ. තවද සිකුරු මණ්ඩලය සහ චන්ද්‍ර මණ්ඩලය බලවත් වීමෙන් සිකුරුගේ කලා නිර්මාණ බොහෝ දුරට යථාර්ථයෙන් ඈත් වේ. තම නිර්මාණ අන් අය අතර ජනප්‍රිය වීම ගැන එතරම් තැකීමක් නොකරන පිහිටීමකි. තවද කුජ මණ්ඩලය සහ සිකුරු මණ්ඩලය යහපත්ව පිහිටා ඇත්නම් ආදර සම්බන්ධතාවලට කරදර ඇතිවේ.

මේ ආකාරයට අත්ලේ ඇති මණ්ඩල, රේඛා සහ අනෙකුත් ලක්ෂණ මඟින් පුද්ගල චරිත ස්වභාවය ගැඔුරින් විමසීමට ලක්කල හැකිය. සොබා දිනිතිය අරමුණක් සහිතව අත්ල මත රේඛා පිහිටුවා තිබේ. මේ රේඛා කියවීමෙන් අනාගතයේ මතුවන දුෂ්කරතාවයන් සෑහෙන දුරට විසඳා යහපත් අතට යොමු කළ හැකිය. එම නිසා අපගේ සිතුවිලිවල සුබවාදි අසුබවාදි භාවය වටහාගෙන කටයුතු කිරීමෙන් අනාගතයේදි සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවකාශ සැලසෙනු ඇත.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.