බෙරණ නැකැතේ තෙවැනි පාදය උදාවේ සිදු වූ අඹ ගස මුල විප්ලවය

ජුනි 21, 2024

බුද්ධ වර්ෂ 236 වැන්නේ ලක් ධරණී තලයේ මිස්සක පව්වේදී දෙවැනිපෑතිස් රජුගේ 40,000ක සේනාවක් හා මිහිඳු මහරහතන් වහන්සේ සමඟ පැමිණි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිව්නමත්, ෂඩ් අභිඥාලා සුවණ සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමි උපාසකත් ඇතුළු දෙපිරිස මැදමිහිඳු මහරහතන් වහන්සේ හා දෙවනපෑතිස් රජතුමා අතර සිදු වූ ද්වන්ධ සංවාදමය ධර්ම දේශනාවෙන් ධර්මය විජයග්‍රහණය කළේය.

එදා සිට මේ දක්වා වර්ෂ 2332ක් ගත වුවද එම විජයග්‍රහණය අද දක්වාත් ඉදිරියට තවත් බොහෝ කාලයක් අඛණ්ඩව පවතිනු ඇත. එම නිසාම රාජාණ්ඩුක්‍රම අභාවයට ගොස් අද පවතින පාලන ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීමට පත්වන සෑම ආණ්ඩුවක්ම බැඳී සිටී යනුවෙන් වගන්තියක් ඇතුළත් කොට ඇත්තේය.

දෙවනපෑතිස් රජතුමාගේ සිට මෙරට පාලනය කළ අවසාන රජු දක්වාත් ඉන්පසු පෘතුගිසී ලන්දේසී ඉංගී‍්‍රසි පාලකයන් මෙරට යටත් කරගෙන සිටි කාලවලදීත් එසේම නොයෙකුත් ස්වභාවික විපත් පැවති කාලවලදීත් පැවිදි ගිහි දෙපාර්ශ්වයම ලංකාවේ බුද්ධ ශාසනය සුරක්ෂා කර ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇත. මේ වන විට ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව ලක්වාසීන් සෑම කෙනෙකුම මිහිඳු මහරහතන් වහන්සේ හා සංඝමිත්තා මහරහත් තෙරණියද ධර්මාශෝක රජතුමාද එක්ව සිදුකළ උත්කෘෂ්ඨ ධර්ම විජයග්‍රහණය පිළිගැනීම අඛණ්ඩව පවතින අතර එය යටපත් කරන්නට කිසිදු බලවේගයකට නොහැකි වී ඇත.

බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුර පසළොස්වක දිනය තරම් වටිනා ජාතික දිනයක් ද ස්වභාවිකව සැදුම්ලත් මිස්සක පව්ව තරම් අගනා ස්මාරකයක්ද ලක්වැසි ජනතාවට නොමැත. පස් හා පාෂාණ මිශ්‍ර වූ පර්වතයක් නිසා මිස්සක පව්ව ලෙස හැඳින් වූ බව සඳහන් වේ. මිහිඳු මහරහතන් වහන්සේ හා දෙවනපෑතිස් රජතුමා සම්මුඛ වූ මොහොතේ බෙරණ නැකත උදාවී පොසොන් පුර පසළොස්වක තිථිය පැවති බව කර්තෘ අවිනිශ්චිත පුරාණ තල්පතක ලියූ කවියක් ඇත.

පොසොන් පුර සඳ නුඹ ගැබේ සිට ටිකින් ටික මතු වෙමින් තිබුණා

බෙරණ නැකතේ තෙවැනි පාදය රැගත් නරපති මතු වුණා

රත්නයක් වන මිහිඳු බුදු පුතු තිස්ස නිරිඳුන් හමු වුණා

කල්පයක් ගත වුවද මිතු දම සදා මතුවට පවතිනා

එදා බරණැස ඉසිපතනාරාමයේ මුවන්ට අභයදානය සඳහා වෙන්වුණ මිගදායේදී බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් උදෙසා ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරමින් දස සහස්සී ලෝකධාතූන් පුරා ධර්මචක්‍රය පැතිරීය. මෙදා බුද්ධ වර්ෂ 236ක් වූ පොසොන් මස පුර පසළොස්වක දා බෙරණ නැකත උදා වී පැවතියදී මුවෙකු පසුපස හඹායන දෙවනපෑතිස් රජතුමා හා 40,000ක පිරිසක් උදෙසා මිහිඳු මා හිමියන් චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක් ධරණීතලය පුරා ධර්මය ප්‍රචාරය කරලීමේ මංගල දේශනාව සිදු කල සේක. එදා සිට අදවනතුරා බුදුදහම සංස්කෘතිය ලක්වැසි ජනතාවගේ ඇට ලේ සම් මස් නහර පුරා කා වැදී ඇත.

ධර්මාශෝක අධිරාජ්‍යයා යුද සංග්‍රාම තුළින් රාජ්‍යයන් යටත් කර ගැනීමට යාමෙන් සිදුවන විපත් දැක කාලිංග දේශය යටත් කර ගැනීමෙන් පසු දිග්විජය ප්‍රතිපත්තිය අත්හැර ඒ වෙනුවට ධර්මයෙන් රටවල් දිනාගැනීමේ සංකල්පයක් ක්‍රියාවට නංවමින් රටවල් නවයකට ධර්ම දූතයන් පිටත් කරලීය. ඒ රටවල් නවය අතුරින් බුදුදහම හා සංස්කෘතිය වෙනස් නොවී මෙරට පැවතීමට එදින පැවති තිථිය හා නැකත ද අදෘෂ්‍යමාන හේතුවක් වන්නට ඇත. ඡ්‍යොතිෂ විද්‍යාව ගැඹුරින් හැදෑරූ සුබසෙත ආරම්භක කර්තෘතුමන් හා වියත් මඬුල්ල බෙරණ නැකතින් සුබසෙත පත්‍ර ආරම්භ කරන්නට ඇත්තේද එබැවින් යැයි සිතේ.

ප්‍රඥාවන්තයන්ට ගෝචර වන්නා වූ බුද්ධ දේශනාවන් වටහා ගැනීමට හැකි මානසික හැකියාවන් රජතුමා ඇතුළු මෙරට වැසියන්ට තිබේද නැද්ද යන්න පරීක්ෂා කර බැලීම මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රථම කාර්යය විය. මේ අවස්ථාව ලෝක ඉතිහාසයේ සඳහන් වන ප්‍රථම බුද්ධි පරීක්ෂාව ලෙස සලකනු ලබයි.

දෙවනපෑතිස් රජතුමාට දහම් අවබෝධය ඇතිකරලීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදය රජුගේ සිත පිළිබඳව කළ පර්යේෂණයකි. තමන් වහන්සේ දේශනා කරන්නට යන ධර්මයට රජුගේ විචක්ෂණ හා විචාරශීලි හැකියාව තිබේද යන්න මෙතුළින් මැන බැලීය. අඹරුක් උපමාවෙන් හා ඥාති උපමාවෙන් රජුගේ නුවණ මෙන්ම විමර්ශනශීලීත්වය ඉහළම කුසලතාවයකින් යුක්තව පැවති බව පෙනේ.

කුඩා ළමයකුට යමක් ඉගැන්වීමට පෙර තේරවිල්ලක් ඇසූ විට එම දරුවා තුළ විමර්ශනශීලීත්වය හා සිතේ එකඟතාවයක් ඇතිකරලිය හැකිය. අපේ අතීත අධ්‍යාපනයේ සෑම විෂය ධාරාවක් තුළම තේරවිලි සම්ප්‍රදායක්, පවතී. වෙදගැට මාලය, දහම් ගැට මාලය, මඟුල් තහංචි ආදී මංගල චාරිත්‍ර හෙල වෙද පොත්, නක්ෂත්‍ර පොත්, දහම් පොත් ආදී රාශියක් තේරවිලි සම්ප්‍රදායෙන් ලියවී ඇති නිසා ඒවා ලේසියෙන් මතකයේ තබා ගත හැකිය.

මිහිඳු මාහිමියන් හා දෙවනපෑතිස් රජතුමා අතර සංවාදය සිදු වුණේ අඹගසක් සෙවණේ නිසා මෙය බුද්ධ, වර්ෂ 236දී සිදුවූ අඹගහමුල විප්ලවය ලෙස හැඳින්විය හැකිය. “මහරජ මේ ගසේ නම කුමක් දැයි ළඟම තිබුණු අඹගස පෙන්වා මිහිඳු හිමියන් රජුගෙන් ඇසීය.

රජතුමා - මෙය අඹගසෙකැ’යි පැවසීය.

මිහිඳු මා හිමි - මේ හැර තවත් අඹගස් තිබේද?

රජු - එසේය, ස්වාමීනි බොහෝ අඹගස් ඇත.

මිහිඳු මා හිමි - මේ අඹගසත් ඒ අඹගසුත් හැර තවත් ගස් තිබේද?

රජතුමා - ස්වාමීනි බොහෝ ගස් ඇත. එහෙත් ඒ අඹගස් නොවේ.

මිහිඳු මා හිමි - මහරජ ඒ අඹත් නොඅඹත් හැර තවත් ගස් තිබේද

රජතුමා - ඇයි ස්වාමීනී මේ අඹ ගස

මිහිඳු මා හිමි - මහරජ ඔබ පණ්ඩිත වෙයි.

මිහිඳු මා හිමි - මහරජ ඔබට නෑයෝ සිටිත්ද?

රජතුමා - එසේය ස්වාමීනි බොහෝ නෑයෝ

සිටිති.

මිහිඳු මා හිමි - මහරජ තොපට නොනෑයෝ සිටිත්ද

රජතුමා - එසේය ස්වාමීනි බොහෝ නොනෑයෝ සිටිති.

මිහිඳු මාහිමි - ඒ නෑයොත් නොනෑයොත් හැර තවත් අය සිටිත්ද

රජතුමා - ඇයි ස්වාමීනී මේ මම

මිහිඳු මා හිමි - මහරජ ඔබ පණ්ඩිතයෙකි.

මිහිඳු මහරහතන් වහන්සේ විමසූ පැනයන්ට දෙවනපෑතිස් නිරිඳු ක්ෂණිකව දුන් පිළිතුරු තුළින් රජතුමාගේ ස්ථානෝචිත ප්‍රඥාව ප්‍රකට වේ. මෙහිදී මිහිඳු මාහිමියන් රජතුමාගෙන් ප්‍රශ්න අහන්නට පෙර රජතුමා මිහිඳු හිමියන්ගෙන් ඇසූ පැනයන්ද රාජ්‍ය පාලකයෙකු සතුව පැවතිය යුතු විචාරාත්මක ගති ප්‍රකට කරවයි. තිස්ස, තිස්ස මෙහි එන්න යනුවෙන් හඬක් ඇසෙන විට රජතුමා මිහිඳු හිමියන්ගේ හඬ අසා මවිත විය. රජෙකුට නමින් ඇමතීමට තරම් බලවතෙක් කවුද? මෙසේ විමසමින් බලන විට ශාන්ත වූ කසාවතින් බබළන ශ්‍රමණ රූපය දැක තම රාජ තේජස මවාපාමින් ඔබ කවරෙක්’දැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් මිහිඳු හිමියෝ

සමනාමයං මහා රාජ

ධම්ම රාජස්ස ශ්‍රාවකා

තමේව අනුකම්පාය

ජම්බුදීපො ඉධාගථා

යනුවෙන් මහරජ අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබට අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණියම්හයි වදාළහ. මෙයින් රජුගේ සැකයන් දුරු වුවද හතළිස් දහසක සේනාවක් සිටියදී ඒ කිසිවෙකුගේ ඇසට නොපෙනී මෙතනට ආවේ කොහොමද යන ගැටලුව ඇති විය. එම නිසා ඔබ වහන්සේලා මෙතනට වැඩියේ කෙසේ දැයි ඇසීය. මිහිඳු හිමියෝ මහරජ ගොඩින් හෝ දියෙන් හෝ නො ආමිහයි ප්‍රකාශ කළහ. එසේ නම් අහසින් වැඩි නිසා දකින්නට නොහැකි වී ඇති බව රජතුමා වටහා ගත්තේ ය.

තම මිතුරු රාජ්‍ය නායකයා වූ ධර්මාශෝක රජු කලින්ම මේ ධර්මදූත මෙහෙවර ගැන කරුණු සැල කර තිබුණ නිසා දෙවනපෑතිස් රජතුමාගේ සියලුම සැක සංකා දුරු වී ධර්මදූතයන් වහන්සේලා රාජ්‍ය ගරුබුහුමන් දක්වා පිළිගත්තේය. ධර්මාශෝක අධිරාජ්‍යයා තම පුතා හා මුනුපුරාද දෙවැනුව දියණිය වූ සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවද සහිතව මෙරටට වැඩමවා ආගමික, සංස්කෘතික, ආර්ථික, ශිල්ප ශාස්ත්‍ර යන සෑම අංශයකින්ම රට සංවර්ධන කිරීමට ආධාර උපකාර කළේ කිසිදු ප්‍රතිලාභයක් ලබාගැනීමේ අරමුණෙන් තොරව කොන්දේසි විරහිතවය.

වර්තමානයේ බලවත් රාජ්‍යයන් වෙනත් රටක රජයට බොහෝවිට ආධාර උපකාර කරන්නේ ප්‍රතිලාභ හා නොයෙකුත් යටි අරමුණු ඇතිව නිසා එය නව යටත් විජිත සංකල්පය ලෙස හඳුන්වනු ලබයි. අශෝක අධිරාජ්‍යයාගේ ධර්ම විජය සංකල්පය බුදුදහමේ මූලික හරය වූ ශීල, සමාධි, ප්‍රඥා සංකල්පවලට අනුකූලව මානව දයාව හා අනුකම්පාව පදනම් කරගෙන සැකසී ඇත. “මහරජ අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබට අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණියෙමු” යැයි වදාළේ එම නිසා ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.