මුත්‍රා රෝග ඇති කරන ග්‍රහ පිහිටීම්

අප්‍රේල් 21, 2023

වර්තමාන සමාජයේ මුත්‍රා රෝගවලින් පීඩා විඳින ජන සංඛ්‍යාව ඉහළය. මුත්‍රා පරීක්ෂණය සඳහා රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව මඟින් එහි සත්‍යතාවය තහවුරු වන්නේය. ඒ අනුව ස්ත්‍රීන් හා පුරුෂයන් අතරින් ස්ත්‍රීන්ට මුත්‍රා රෝග වැලඳීමේ ප්‍රවණතාවය ඉතා ඉහළය. එයට හේතුව පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ගේ මුත්‍රා මාර්ගය කෙටි වීමයි.

ඡ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව මුත්‍රා රෝග වැලඳීමට හේතු භූත වන ග්‍රහ බලපෑම් ගැන කරුණු පරීක්ෂා කර බැලීමේදී ලග්න කේන්දරය මෞත්‍ර ලිංගික පද්ධතිය, නිවේදනය කෙරෙන 7 වැන්න, එහි අධිපතිගේ බල දුබලතාවයන් ගැනත්, විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ කාල පුරුෂ න්‍යායට අනුව මිනිස් සිරුරේ අවයව කොටස් 12කට බෙදා වෙන් කළ විට විශ්ව කේන්දරයේ මෞත්‍ර ලිංගික පද්ධතිය නිවේදනය කෙරෙන 7 වැන්න වූ තුලා රාශියත් එහි අධිපති සිකුරුගේ බල දුබලතා ගැනත් පරීක්ෂා කර බැලිය යුතු වන අතර, ඒ අනුව යට කී භාවයන් සහ එහි අධිපතියන්, සහජ පාපීන් වැඩි දෙනෙකු දෘෂ්ටියෙන් සංයෝගයෙන් සහ 6,8,12 යන දුෂ්ට භාවාධිපතියන්ගේ දෘෂ්ඨියට, සංයෝගයට ලක්ව පීඩාවූ කල එවන් ග්‍රහ බලයක් ඇති ජන්මියා මුත්‍රා රෝගියකු බවට පත් වන්නේය. මෙහිදී ලග්නයත් ලග්නාධිපති පීඩා වී ඇත්නම් එකී රෝගි තත්ත්වය දෛනික ජීවිතයට බාධා අවහිරතා ඇති කරන රෝගයක් බවට පත් වන්නේය. ඉහත විග්‍රහ කළ කරුණු ගැන නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට පහත දැක්වෙන වෘෂභ ලග්න කේන්දරය අධ්‍යයනය කරමු.

ඉහත වෘෂභ ලග්න කේන්දර හිමියා මුත්‍රාශයේ ගල් ඇතිවීම හේතු කොට ගෙන කලකට ඉහතදී වෛද්‍ය ප්‍රතිකාර ලැබ සුවය ලැබ නැවත නැවත මුත්‍රා රෝග වැලඳීම හේතු කොටගෙන වෛද්‍ය ප්‍රතිකාර ගත් කෙනෙකි. ඒ පිළිබඳව ඉහත කේන්දරයට අනුව කරුණුූ පරීක්ෂා කර බැලීමේදී මූත්‍රා රෝග වැලඳීමට හේතු වන භාවයක් වන 7 වැන්නේ 5 අධිපති බුධ සිටීම එම බුධ 7 වැන්නාධිපති කුජ සමඟ මහා පරිවර්තන රාජ යෝගයක් උදා කර තිබීම ශුභ යැයි පෙනුණද මහා පරිවර්තන යෝගයට සම්බන්ධ වෘෂභ ලග්නයට 7 -12 පාපීන් වීමත් 7 වැන්නෙහි පතිත බුධට 6 වැන්නෙහි නීච රවි, සතුරු 8 අධිපති ගුරු, ස්වක්ෂේත්‍රව නමුත් වක්‍ර නිසා දුර්වල වූ සිකුරු සිටීමත් එලෙස සිකුරුගෙන්, ගුරුගෙන් රාහුගෙන් පීඩා වූ නීච රවිගේ පූර්ණ දෘෂ්ටියක් මෙන්ම පාපී කේතුගේ පූර්ණ දෘෂ්ටියත් 7 වැන්නේ 2 වැන්න වූ 8 වැන්න වැටීමෙන් 7 වැන්න සහ එහි පතිත බුධ බලවත් පාප කර්තරීහ යෝගයකට මැදිව පීඩා වී ඇත.

ඒ මෞත්‍ර ලිංග පද්ධතිය නිවේදන කෙරෙන තවත් භාවයක් වන තුලාව ලග්නයෙන් 6 වැන්න හෙවත් රෝග ස්ථානයට වැටි එහි සිටින නීච රවි සහ 8 අධිපති සතුරු ගුරු එහි අධිපති ස්වක්ෂේත්‍ර නමුත් වක්‍ර නිසා දුර්වල වූ සිකුරුට පීඩා කිරීමත්, 10 වැන්නේ සිටින රාහුගේ පූර්ණ දෘෂ්ඨිය එම සිකුරුට වැටීමෙන් සිකුරු බෙහෙවින්ම පීඩා වීම ඉහත වෘෂභ ලග්න කේන්දර හිමියා මුත්‍රා රෝගියෙක් බවට පත්වීමට හේතු වී ඇති බව අපට අවසාන වශයෙන් නිගමනය කළ හැකි වන්නේය.

 

ඡ්‍යෝතිෂවේදී උදම් පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.