වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
නවීන විද්‍යාත්මක පර්යේෂණ අනුව හෙළිවන සම්බුද්ධත්වයට සහය දුන් නොපෙනෙන බලවේග
ගුරු හාමී ඇද වැටුණයි කකුළු වලේ
හඳ හාමී බඩු කිරුවයි වෙළෙඳ සැලේ
රතු හාමී දබර කරයි මෝර වලේ
කළු හාමී නොන්ඩි ගසා වැටුණි කලේ
මනමාලයා මාළු ගොඩක තනි වෙච්චී
නැණවති දිනෙස් එළු ගාලට මැදි වෙච්චී
සල් උයනේ දෙව් බඹු සැම රැස් වෙච්චී
ගෝතම කුමරු මහ පෝයට ඉපදිච්චී
මේ ගැටපදයට අනුව ගුරු කටකයේද, සඳු තුලාවේද, කුජ මකරයේද, ශනි කුම්භයේද, සිකුරු මීනයේ හා රවි, බුධ මේෂයේ සිටියදී සිදුහත් උපත සිදු වූයේ යැයි කියැවේ. ඉහත ගැටපදය 1956 වසරේ පමණ පැළෑනේ වජිරඥාන හිමියන් සමඟ කළ ධර්ම කාව්‍ය විවරණයක දී අනාවරණය වූ බව හෙළ හවුලේ පඬිවරයකු වූ නැසීගිය සඳදස් කෝපරහේවා මහතා වරෙක සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට අනාවරණය කර තිබුණ අතර අදහස එකම වුවද එය ජනශෘතියේ පදවලින් වෙනස් වී ඇත. සිද්ධාර්ථ කුමරුගේ උත්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් පිළිබඳ යම් යම් මතවාද තිබුණද වැඩිදෙනා පිළිගන්නේ උන්වහන්සේ කටක ලග්නයේ විසා නැකතින් උපත ලද බවයි. පොදුවේ ගත් කල පිළිගැනෙන තත්කාල ග්‍රහ පිහිටුම ජනශෘතියේ දැක්වූයේ ඉහත පරිදිය.
මෙවන් ග්‍රහචාරයක් සහිත සිදුහත් තවුසාණෝ සියලු කෙලෙස් මැඩ සම්බුද්ධත්වයට පත්වීමේදී පුර පසළොස්වක චන්ද්‍රයා මෙන්ම උන්වහන්සේ සමවත්ව වැඩ සිටි පරිසරයේ පැවැති සාධක ද උපකාර වූ බව ආචාර්ය හර්ෂ විජයවර්ධන සහ ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න යන මහත්වරු නූතන සංකල්ප ඔස්සේ ගෙනහැර පාති.
ආචාර්ය හර්ෂ විජයවර්ධනට අනුව පුර පසළොස්වක පෝය දිනයක් යනු චන්ද්‍රයාගේ බලපෑම උපරිමයෙන් සිදුවන අවස්ථාවකි. චන්ද්‍ර චාරය අනුව අයන ගෝලයේ වෙනස්කම් සිදුවන අතර එය මොළයේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවටත්, මනුෂ්‍ය ශරීරයේ රුධිර සංසරණය ඉතා හොඳීන් සිදුවීමටත් හේතු වෙයි. එසේම චන්ද්‍රයා මෙන්ම විශාල ගෝලීය ස්කන්ධ වන අනෙක් ග්‍රහයන්ගේ කෝණික හැසිරීම අනුව ඇතිවන ගුරුත්වය හා විකිරණවල බලපෑම අපට නොදැනුණද විශ්වයේ අපගේ හැඳුණුම්පත සකස් කිරීමට හේතු වේ. ඒ විකිරණවල බලපෑමේ වෙනස අනුව එක් එක් මිනිසාගේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රතික්‍රියා දැක්වීමේ ස්වභාවය වෙනස් වෙයි. මෙය සංකීර්ණ ගණිත ක්‍රමයක් ඔස්සේ පැහැදිලි කළ යුතු බවද ආචාර්ය හර්ෂ විජයවර්ධන මහතා පෙන්වා දෙයි.
පුර චන්ද්‍රයාගේ බලපෑම අනුව වඩදිය ඇතිවීමත්, ඇදුම වැනි රෝග මෙන්ම මානසික රෝග උත්සන්න වීමත්, කකුළුවන්ගේ මස් දියවීම වැනි දේ සිදුවීමත් මඟින් සොබාදහමට චන්ද්‍රයා එල්ල කරන බලපෑම අවබෝධ කරගත හැකි බව සිවිල් ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න පවසයි. සඳ කිරණ මිනිත්තු එකහමාරකදී පමණ පොළොවට ළඟා වන බව පැවසෙන අතර සඳු සිතිවිලවලට බලපාන ග්‍රහයා බැවින් බුද්ධත්වය හා පූර්ණ චන්ද්‍රයාගේ බලපෑම අතර අන්තර්සම්බන්ධයක් පැවතීම ස්වභාවික බව ඔහු පෙන්වා දෙයි. එසේම බෝගස යනු අපගේ සිරුර වටා ඇති ඕරාවට යහපත් බලපෑමක් වැඩියෙන්ම එල්ල කළ හැකි වැඩි ඍණ අයන සාන්ද්‍රණයක් සහිත ශාකය ලෙස සැලකෙයි. බෝ පත්‍රයේ දිගු තුඩු නිසා මේ ඍණ අයන නිපදවෙන අතර වෙනත් පත්‍රවල නොමැති තරම් දිගු නටුව නිසා අතු වෙනුවට පත්‍ර සුළඟට සෙළවීම නිසා අවට වායුගෝලය වේගයෙන් අයණීකරණයට ලක්ව ඍණ අයන සාන්ද්‍රණය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හේතු වන බව ද ඔහු පෙන්වා දෙයි.
එසේම දිය බිඳීති වේගයෙන් විසිර යන ගංගා, මුහුද, දියඇලි වැනි ස්ථානවල ද කඳුකර පෙදෙස්වලද වැඩි ඍණ අයන සාන්ද්‍රණයක් පවතී. නේරංජනා නදිය අසබඩ බෝ රුකක් තෝරා ගැනීමෙන් වැඩි ඍණ අයන සාන්ද්‍රණයක් සහිත පරිසරයකට සිදුහත් තවුසාණන් නිරාවරණය වී ඇති බව පැහැදිලි වේ. තවද කුස තණ යනු ශරීර ක්‍රියාකාරීත්වය වර්ධනයට බලපාන ශාකයක් ලෙස ගැනෙන බැවින් මූලාධාර චක්‍රය අවදි වීමට කුස තණ අටමිට මත බවුන් වැඩීම උපකාර වන්නට ඇති බව ඔහුගේ මතයයි.
බුද්ධත්වයට පත්වන විට සිදුහත් තවුසාණන් වැඩ සිටියේ පද්මාසනයෙන් වන අතර එමඟින් සිරුරේ පිරමිඩාකාර හැඩයක් දැක්වීමත්, පිරමිඩාකාර හැඩය අන්තරීක්ෂ ශක්තිය ආකර්ෂණය කිරීමට හේතුවන බවත් නූතන පර්යේෂණ මඟින් තහවුරු කර ඇති බවද ප්‍රියන්ත දයාරත්න මහතා පෙන්වා දෙයි.
මේ අනුව සිදුහත් තෙමඟුල සැමරෙන වෙසක් දිනයේ බුද්ධත්වය ලැබීම සඳහාම ගැළපුණු පියවි ඇසට නොපෙනෙන පරිසර තත්ත්ව රැසක් පැවතුණු බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ.