සෙල්ලක්කාර සිකුරු කටකයේ සතුරු වෙයි

මැයි 26, 2023

පාසල් දරුවන් දඩබ්බර වන කාලයක්

වසංගත රෝග වේගයෙන් ව්‍යාප්ත වෙයි

සෞඛ්‍ය, අධ්‍යාපන අංශවල ව්‍යාකූලතා

ජලාශ්‍රිත අනතුරු බහුල වේ

මැයි මස 30 වැනිදා අඟහරුවාදා රාත්‍රී 7.40 ට සෙල්ලක්කාර සිකුරු ග්‍රහයා චන්ද්‍රයා හිමි සතුරු කටක රාශියට සංක්‍රමණය වෙයි. ඒ අවස්ථාවේ නැඟෙනහිර ක්ෂිතිජයේ බ්‍රහස්පතිට හිමි ධනු රාශිය උදාව පවතින අතර ප්ලූටෝ හෙවත් යමයා දෙවැන්න වූ ධනස්ථානයේ සතුරුව ද, සෙනසුරු තෙවැන්න වූ වික්‍රමස්ථානයේ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව ද නැප්චූන් හෙවත් වරුණ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව සිවුවැන්නේද බුධ යුරේනස් සමවත්, ගුරු මිත්‍රශීලීවත්, රාහු සතුරුවත් පස්වැන්නේ ද රාජ්‍යකාරක රවි හය වැන්නේ හෙවත් රෝගස්ථානගතව ද සිකුරු සතුරුව සහ අඟහරු නීචව අටවැන්නේ හෙවත් මාරකස්ථානයේ ද සඳු මිත්‍රශීලීව දස වැන්න වූ කර්මස්ථානයේද කේතු සතුරුව අයස්ථානය වූ එකොළොස්වැන්නේද ගෝචර ගමනේ යෙදෙයි. සිකුරු ග්‍රහයා ජූලි 07 වැනිදා දක්වා කටක රාශිගතව පවතී.

මේ සංක්‍රමණ මොහොතේ උදා රැස වන ධනු රාශයේ 6,8,12 යන ස්ථාන දැඩිලෙස දුර්වල වී යෑම සහ රෝගස්ථානයේ රවිගේ දුර්වලතාවත් කර්මස්ථානයේ චන්ද්‍රයා පීඩාවට ලක්වීමත් නිසා අමිහිරි සිදුවීම් පිළිබඳ අසන්නට ලැබෙන කාලයක් උදා වනු ඇත. මාරකස්ථානයේ කුජ සිකුරු සංයෝගය ශාරීරික මෙන්ම මානසික වශයෙන් සිත් තැවුල් ඇති කරවන පිහිටීමකි. එයට හේතු වන්නේ තරාතිරම නොසලකා ලෝකවාසී සියලු දෙනා අධිකාමභෝගී සිතිවිලිවලට නතු වීම නිසා විපරීත වූ තරගකාරී මානසිකත්වයක් ගෙනෙන ආකාරයේ ප්‍රවණතාවක් නිර්මාණය වීමයි.

ශ්‍රී ලංකා ජනරජ කේන්ද්‍රයට අයත් වන්නේ උදා රැස වූ ධනුවෙන් නව වැන්න හිමි සිංහ රාශිය වන අතර විශ්ව කේන්ද්‍රය පස්වැන්න වූ අඟහරුට අයත් මේෂ රාශිය හිමි වේ. ඒ රාශිවල ගෝචර ග්‍රහ පිහිටීම් අනුව ද මැයි මස අවසානයේ සිට සෞඛ්‍ය, අධ්‍යාපන හා රාජ්‍ය අංශයේ ආකූල ව්‍යාකූල සිදුවීම් පෙන්නුම් කරයි. මිනිසුන් අතර මෙන්ම සත්ත්ව කොටස් අතර ද විවිධ ආරවුල් සහගත ගති පෙන්නුම් කෙරෙනු ඇත. ජලයෙන් පීඩා ගෙනෙන බැවින් ගංගා වැව් පොකුණු ආදී ජලාශ්‍රිත ස්ථානවල ආශ්‍රිත අනතුරු බහුල විය හැකිය. එබැවින් විනෝද චාරිකා ආදියේදී එම අනතුරුදායක ස්ථානවල ස්නානය කිරීම් ආදියෙන් වැලකී සිටීම නුවණට හුරුය. මී උණ, කුරුලු උණ, ඩෙංගු, දෙවියන්ගේ ලෙඩ, කොරෝනා වැනි වසංගත රෝග මෙන්ම සමාජ රෝග රට පුරාත් දේශ දේශාන්තරවත් වේගයෙන් පැතිර යන කාලයක් වන බැවින් පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු කාලයකි. රිලා වඳුරු වැනි සතුන්ගෙන් වන හානිවල ද වැඩි වීමක් පෙන්නුම් කෙරේ.

විශේෂයෙන් පාසල් වයසේ දරුවන්ගේ දඩබ්බර හැසිරීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන කාලයක් විය හැකි බැවින් ගුරු දෙගුරුන් කල්පනාවෙන් කටයුතු කිරීම සුබයි. චිත්ත ඒකාග්‍රතාව අහිමිව යන බවක් පෙන්නුම් කරන බැවින් නිරන්තර සාමකාමීව සහජීවනයෙන් වෙසෙන්නට උත්සාහ කිරීම සමාජයේ සුබවාදී පැවැත්මට හේතු වනු ඇත.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.