චීන ජ්‍යොතිෂයෙන්.... හාවාගේ වසර මීයන්ට කොහොමද?

මැයි 26, 2023

චීන රාශි චක්‍රයේ රාශි සතුන්ගෙන් සංඛේතවත් වේ. ඒ අනුව එහි පළමු වැනි රාශිය වන්නේ මීයා ය. මීයාගේ වසරක උපන් අය මීයාගේ රාශියට අයත් වේ. 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020 යන වසරවල උපන් ඔබ මීයාගේ රාශියට අයත්ය. මීයාගේ රාශියේ පුද්ගලයන් දක්ෂ, බුද්ධිමත්, ශක්තිමත් අය වේ. මොවුන් තියුණු නිරීක්ෂණයකින් වඩා දූරදර්ශීව කටයුතු කරන, බුද්ධියකින් යුතු අය වේ. දීප්තිමත් හා සුබවාදී පෞරුෂයක් හිමි බැවින් ඕනෑම පරිසරයක වෙනස්කම්වලට අනුවර්තනය වීමටත් අන් අයගේ උදවු පහසුවෙන් ලබා ගැනීමටත් හැකියාව ඇත. කෙසේ වුවත් වෘත්තීය ජීවිතය තුළ මොවුන් ඉලක්ක හඹා ගියද මුරණ්ඩුකම හා සංවේදනයත්, නිහතමානීකම නොමැති වීමත් නිසා ඔවුන් නායකයන් වීමට සුදුසුකම් නොලබයි.

2023 යනු හාවාගේ වසරකි. හාවාගේ රාශිය 4 වැනි රාශිය වන නිසාත් මීයා පළමු රාශිය වන නිසාත් මොවුන් එකිනෙකා හඹා යාමට උත්සාහ දරයි. එමනිසා මීයාගේ වසරේ උපන් අයට 2023 දී බොහෝ දුෂ්කර, කරදර ආදියට මුහුණ දීමට සිදුවනු ඇති අතර ඔබේ සමස්ත කේන්දරය උච්ඡාවචනයන්ගෙන් යුතුය. මීයාගේ රාශියේ උපන් අය මේ වසරේ දී තමාගේ ක්‍රියාවන්හිදී ප්‍රවේශම් විය යුතු අතර ආවේගශීලී නොවිය යුතුය.

2023 වසරට පිවිසීමේ දී ඔබේ වෘත්තීය වාසනාව සාමාන්‍යයෙන් යහපත් වේ. නමුත් ඔබට යම් යම් බාධාවලට මුහුණ දීමට සිදු වේ. මේ වසරේ දී ඔබේ රැකියාස්ථානයේ බොහෝ කරදරකාරී දේවල් සිදු විය හැකියි. සිතේ කලබලකාරී ගතිය නිසා ද වැරැදි සිදු විය හැකි අතර ඔබට නායකයන්ගේ දෝෂාරෝපණ සහ සගයන්ගෙන් පැමිණිලි ලැබීමට හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න

ඔබේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් මේ වසරේ දී ඔබේ හවුල්කරුවන් සමඟ හොඳ සබඳතාවක් පවත්වා ගැනීමට ඉගෙන ගත යුතුය. ඔබේ සහකරු සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට උනන්දු වන්න. විශේෂ අවස්ථා සඳහා සුබ පැතීම ආදිය ඔබ හිතනවාට වඩා සබඳතා ශක්තිමත් කරගැනීමට රුකුලක් වන බැවින් එවැනි අවස්ථා මඟ නොහරින්න. ඔබ රැකියාවක හෝ ස්වයං රැකියාවක නියුතු අයකු නම් නොබියව ඉදිරියට ගොස් දුෂ්කරතාවලට මුහුණ දෙන්න. එවිට ඔබගේ දුෂ්කරතාවලින් මිදී ඔබේ වෘත්තීය ජීවිතය තුළ විසල් ප්‍රගතියක් අත්කර ගත හැකි වේ.

අවිවාහකයන්ගේ විවාහ සිහිනය මේ වසරේ දීත් සිහිනයක්ව පවතිනු ඇත. ඔබට මල් පිපෙන සබඳතා කිහිපයක් හමු වුවද කල්යාමේ දී ඒවා ඇඹුල් මිදි බවට පත්වනු ඇත. ඔබ කැමැති පුද්ගලයකු ඔබට මුණගැසුණත් ඔහු හෝ ඇය ඔබට අවංකව නොසලකන බව පසුව ඔබට පැහැදිලි විය හැකිය.

මියාගේ රාශියේ උපන් ඔබ මෘදු චරිතයක් වුවද තීරණ ගැනීමේ දී පසුගාමී ය. ඔබ සන්සුන් විය යුතුය. තීරණාත්මකව කටයුතු කළ යුතුය. ඔබේ පෞරුෂය යහපත් ලෙස දියුණු වූ පසුව ආදරය බොහෝ දුර සිට වුවද ඔබව කැඳවනු ඇති. දැනටමත් සහකරුවකු සිටින අයට 2023 ඉතා කටුක වසරක් විය හැකිය. මේ වසරේ දී බොහෝ විට ඔබේ සහකරු සමඟ සුළු සුළු කාරණා සම්බන්ධයෙන් වාද විවාද ඇතිවන අතර ඔබේ සබඳතාවට තුන්වන පාර්ශ්වයක අවදානම ගැනද සැලකිලිමත් වන්න. සීතල යුද්ධ සබඳතාවකට ඉතා හානිකර වන බැවින් මේ කාලයෙහි දී වෙනත් කෙනකු ආකර්ෂණීයව පෙනීමට ද හැකියාව ඇත. එමනිසා ඔබ සහකරු/සහකාරිය කෙරෙහි වඩාත් සෙනෙහසින් කටයුතු කරන්න. ඔහුට හෝ ඇයට අවංක වන්න. ඔබේ සබඳතාවේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා දෙදෙනා අතර සන්නිවේදනය හොඳීන් පවත්වා ගන්න.

ඔබේ මූල්‍ය තත්ත්වය සමස්තයක් ලෙස ඉහළ යන ප්‍රවණතාවක් ඇත. පාඩු ලැබීමේ අවදානමක් පවතී. එහෙත් වාසනාවකට මෙන් ඔබ සම්පත් දායකයෙක් වනු නිසා ඔබේ කුසලතා මත විශ්වාසය තැබීමෙන් කරදරවලින් මිදී සම්පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. විවිධ ආයෝජන සහ මූල්‍ය අවස්ථාවන්ට මුහුණදෙන විට, ඔබ පෙරට වඩා කල්පනාකාරී ප්‍රවේශයක් ගත යුතුය. ඔබ කිසිම දෙයක් නොසොයා නොබලා ආයෝජන කරන්නේ නම් පාඩුව අයකර ගැනීම දුෂ්කර වේ. මීට අමතරව මූල්‍ය වියදම් අනුව පසුගිය වසරේ වියදම් හා සසඳන විට වියදම් බොහෝ සේ වැඩි වනු ඇත. මේ වසරේ ඔබට අනවශ්‍ය වියදම් රාශියක් ඇතිවන අතර එමඟින් ගලා යන ජලය මෙන් මුදල් වියදම් කිරීමට සිදු විය හැකිය.

මේ වසරේ දී මූල්‍ය සැලසුම් කිහිපයක් සිදු කිරීම, ඔබේ වියදම් සතිපතා පරීක්ෂා කිරීම සහ අනවශ්‍ය වියදම් මඟහරවා ගැනීමට උත්සාහ කිරීම සුදුසුය. එවිට ආදායමට අනුකූලව වියදම් තබා ගැනීමටත්, හදිසි අවස්ථා සඳහා මුදල් ඉතිරිකර ගැනීමටත් හැකියාව ලැබේ.

ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඔබට යම් අසනීප ස්වභාවක් දැනේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. ඔබේ ශාරීරික යෝග්‍යතාව ගැන සිතා කටයුතු කරන්න. ඒ සඳහා නිසා ආහාර පුරුදු ඇතිකර ගැනීමට හා ව්‍යායාම සිදු කිරීමට උනන්දු වන්න. දැනටමත් නිදන්ගත රෝග හෝ පැරැණි රෝගවලින් පෙළෙන අයකු නම් ඒ ගැන අවධානයෙන් සිටිය යුතු අතර නිති පතා වෛද්‍ය උපදෙස්, වෛද්‍ය පරීක්ෂණ ආදියට යොමු වීමෙන් හා නියමිත වෙලාවට බෙහෙත් ලබා ගැනීමෙන් සෞඛ්‍ය රැක ගැනීමට හැකි වේ.

ඔබගේ වාසනාවන්ත වර්ණ වන්නේ, රන් පැහැය, නිල් හා කොළ වර්ණයි.

වාසනාවන්ත අංක වන්නේ, අංක 2 හා3 යි. ලිලී හා අප්‍රිකානු වයලට් මල් ඔබට වාසනාව කැඳවන මල් ලෙස පැවසිය හැකිය.

ඔබට අවාසනාව කැඳවන වර්ණ ලෙස කහ හා දුඹුරු වර්ණ සඳහන් වන අතර අවාසනාවන්ත අංක ලෙස අංක 5 හා 9 සඳහන් වේ.

මීයාගේ රාශියේ ඔබට ඇසුරට වඩාත් ගැළපෙන පුද්ගලයන් වන්නේ මීයාගේ රාශියේ පුද්ගලයන් හා ගවයා, මකරා, වඳුරා යන රාශිවල පුද්ගලයන්ය.

 

අයන්ති උඩුගම්පල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.