කාලසර්ප යෝගය කියන තරම් විෂද?

මැයි 26, 2023

කාලසර්ප යෝගය ගැන වැඩිපුරම කතා බහ කරන්නට හා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට මේ රටේ ජනයා පෙලඹුණේ ඡ්‍යොතිෂ පුවත්පත් ආරම්භ වීමත් සමඟ බව පැහැදිලි වේ. 60 දශකයේ මේ මාතෘකාව ගැන වැඩි අවධානයකට යොමු වුණේ ඉරණම ඡ්‍යොතිෂ සති සංග්‍රහය ඔස්සේය.

 

මේ යෝගයට විශේෂයෙන් “සර්ප” යන වචනය යෙදීම නිසා විෂ යෝගයක් ලෙස හඳුන්වා දීමට පෙලඹී සිටි බැව් නොරහසකි. ඉපැරණි ග්‍රන්ථවල මෙම යෝගය ගැන තොරතුරු බහුල වශයෙන් දක්නට නොලැබිණි. කෙසේ වුවත් කාල සර්ප යෝගය පිළිබඳව විමසා බැලීම වත්මන් සමාජයට කිසියම් ප්‍රයෝජනයක් වේවි.

විවාහ වීමට පොරොන්දම් බැලීමේ දී කේන්ද්‍රයක කාල සර්ප යෝගයක් තිබුණ නිසාම එක්වරම එකී කේන්ද්‍රය ප්‍රතික්ෂේප කරනු ඇත. හතර කේන්ද්‍රය පාළුවීම ද මේ තත්ත්වයට පත්වී තිබේ.

මේ යෝගයෙන් ලැබෙන ප්‍රතිඵල විවිධාකාරය. මෙතරම් සංකීර්ණ වූ යෝගයක් පිළිබඳව ඇතැම්හු ඉතාම සරල ලෙස කරුණු හුවා දක්වති. වෙනත් යෝග සිය ගණනක් අතර කාල සර්ප යෝගය ගැනද කරුණු අනාවරණය කළ යුත්තේ වඩාත් පුළුල් ලෙස නිරීක්ෂණය කිරීමෙනි.

රාහු කේතු දෙදෙනාට මැදිවී කාල සර්ප යෝගය උදාවේ. රාහු කේතු දෙදෙනාගෙන් කිසිම ග්‍රහයකු පිට නොපැන සිටීමයි කාල සර්ප යෝගය ලෙස හඳුන්වන්නේ. මෙය මහා අවාසනාවන්ත යෝගයක් බව තවත් මතයකි. ලෝ පතළ ප්‍රකට ජන නායකයින්ගේ කේන්ද්‍රවල පවා කාල සර්ප යෝගය යෙදී ඇති අයුරු දක්නට තිබේ.

නිසි කළමනාකාරිත්වයකින් උත්සාහයෙන් සිය වැඩකටයුතු කරන සමාජයේ කැපී පෙනෙන චරිතයක් නිර්මාණය වේ. ධන බලය පිරිස් බලය, නායකත්වය පිරිහෙන තත්ත්වයක් නොමැත.

ඇතැම් කේන්ද්‍ර හිමියන්ට කිසියම් භාවයක ග්‍රහයකු තැන්පත්ව සිටිනවාට වඩා සුබ ප්‍රබලතම ග්‍රහ දෘෂ්ටි ලැබීම හරහා ඉතාම සුබ පල ගෙන දී ඇති බැව් අත්දැක ඇත්තෙමු. කවුරු කෙසේ පැවසුවත් කාල සර්ප යෝගය ඔය කියනතරම් අවාසනාවන්ත යෝගයක් නොවේ.

ජීවිතය සෑම අංශයකින්ම සාර්ථක කරගත් පුද්ගලයින් විවිධ තරාතිරම්වලට අයත් අයගේ කේන්ද්‍රවල කාල සර්ප යෝගය යෙදී තිබිණ. කෝටිපති ව්‍යාපාරිකයෝ ද මේ අතර සිටිති. අනන්ත කාල සර්ප යෝගය. කුලිකා වාසුකි, මහා පද්ම, තක්ෂ, විෂ්ධර, ඝටක්, කර්කොටක් ආදී කාල සර්පයෝග විශාල සංඛ්‍යාවක් තිබේ. මේ ගැන දීර්ඝතම විස්තරයක් ඇති නිසාත් කාල සර්ප යෝගය ජන්ම පත්‍රයේ අශුභපල හිමිකරදෙන ලෙසට යෙදී ඇත්නම් පහත දැක්වෙන වත්පිළිවෙත් හා ශාන්ති කර්ම කිරීමෙන් අපල තත්ත්වය සමනය වී ශාන්තියක් සැලසෙනු ඇත. කාල සර්පයෝගය කේන්ද්‍රයේ යෙදී ඇතත් සිය වයස 42න් පසු එහි අසුබ තත්ත්වයන් මඟ හැරෙන බවද තවත් මතයකි.

ඒ කෙසේ වෙතත් පහත සඳහන් ග්‍රහ පුද පූජා කිරීමෙන් ඔබට කායික හා මානසික සුවයක් ලැබෙනු ඇත.

තඹ බෝ පත්‍ර මහා පූජාව, එළඟිතෙල් පහන් 9ක්, පාට මල් වර්ග නවයක්, බෝධියකට පූජා කිරීම, ශිව දේවාලයකදී ස්තෝත්‍ර ජප මන්ත්‍ර කියැවීම, ගම්බාර දෙවියන්ට පූජාවන් තැබීම, නාග රූප හැඩැති මුදුවකට ගෝමේද ගලක් අල්ලා පැලඳීම, පිත්තල තඹ, රිදී ආදී ලෝහ නාග රූප ශිව දෙවොලකට පූජා කිරීම හැකිනම් කෝනේෂ්වරම් දෙවොලට පූජා තැබීම ඉතාම සුබ දායක වේ.

කාලසර්ප යෝගයට බිය නොවන්න. එය ඔය කියන තරම් අසුබ විපාක ගෙන නොදේ.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.